Friday, June 6, 2014

ජාතක පුතු වෙයන්

නිමිත්ත: වැන්දඹු මවක් දරුවෙකු බිහිකර සමාජීය ප්‍රශ්න නිසා හඬමින් ළමා නිවාසයකට බාරදෙයි

ඇය මුදු මලකි ගසකින් ගිලිහී වැටුන
කඩා හැලුන තරුවකි අහසින් සැනින
ජාතක පුතුන් රකිමින් රළු වැහි තුහින
කල් ගෙව්වාය හිතයට හිමි නැති සොවින

ගෝර සතුන් වලසුන් පිරි වනේ යා
අසරණ මුව දෙනක් පැටි හා වෙසේ යා
ගෝර සතුන් ඇය හට වින කටී යා
කෙලෙසින් ගැලවෙම්ද සිත ඇගෙ දුකේ යා

කරුවල දිනක අහසින් හෙන අකුණු පනී
තනිවුන මවුන් වටකර ගොර සපුන් පනී
දියත දෙදරවා හද සෝ සුසුම් පනී
හිමි නැති මවුන් නැවතත් මවු පදවි ගනී

මල් මකරන්ද මලකට බර වැඩි වේදෝ
වැලේ හැදුන ගෙඩි වැලකට බර වේදෝ
අහසට පිපුණු තරුමල් බර වැඩි වේදෝ
මවකට කුසින් වැදු දරුවන් වැඩිවේදෝ

අකලට පිපුන මුත් නුඹ මගේ පුතුය අනේ
සිතකින් නුඹව අත් හැරුනිද පුතනුවනේ
රැලකින් හැරුන ඇත් පැටවෙකු විසල් වනේ
ලෙසකින් ළමා නිවසක ලොකු වෙයන් අනේ

සුළඟින් නටන වෙහෙරේ දීපයක් වගේ
සුළඟට සැලෙන නැලැවෙන බෝ පතක් වගේ
දස අත පෙනෙන්නට සෑයේ කොතක් වගේ
ජාතක පුතු වෙයන් මතු මේ සසර මඟේ

No comments:

Post a Comment