Tuesday, January 9, 2018

පුතු තනි කරලා පන්තියෙ තියලා....





කලුපාට ගේට්ටුවෙන් එලියට ආව නෙමේ එවුනා... 
අනිත් අම්මල තාත්තලත් එක්ක...
පුතා පන්තියේ දොර ගාවට ඇවිත් බලාගෙන ඉන්න කොට 
කොහොමද අනිත් පැත්ත හැරිල යන්නෙ... 
පිටිපස්ස බල බල ඇවිදින්න ගිහින් තවපොඩ්ඩෙන් කානුවේ... 
හ්ම්... 
පුංචි ඇස් දෙක දිලෙසෙනව මම යන්තමින් දැක්ක... 
කටත් පොඩ්ඩක් ඇද උනා.... 
කොල්ල අඬාවිද.... 
හ්ම්... 
මගේ හිතත් බර වෙනවා.....
අවුරුදු තිස් ගානකට කලින් මම මුලින්ම ඉස්කෝලෙ ගිය දවස මතක් කරගන්න හැදුව මම... 
ඒත්... ගුරුවරියක් වෙච්ච අම්මා උගන්නපු ඉස්කෝලේටම ගිය නිසාද මන්දා මට කිසිම විශේෂ දෙයක් මතක් වෙන්නෙ නැති හැටි....
මම ආයෙත් එනව පියවි ලෝකෙට....
හිත කීරිගැහෙනවා.... මට ආපහු යන්න හිතෙන්නෙ නෑ.... ඔන්න ඔහේ ඉන්නව ඉස්කෝලෙ ඇරෙනකම්....

මීටර සීයක් විතර එහායින් නවත්තල ආපු වාහනේට ගිහින් ඉඳගෙන ඉන්නද.... 
ම්හ්.... ඒකට හිත එකලාසයක් කර ගන්න බෑ....
මම වටපිට බලනවා... 
තවත් අම්මලා තාත්තලා තාප්පෙ අයිනේ... 
ගේට්ටුව අස්සෙන් එබීගෙන.... 
කාටවත් දාලයන්න බැරුවා වගේ.....
පුතා අඬාවිද.... 
හ්ම්
ටිකෙන් ටික අව්ව එනව..... 
තව ටිකකින් කොළඹ අහස.... ගිනියම් වේවි.... ඔන්න ඔහෙ කමක් නෑ කියල මම තාප්පෙ අයිනෙන්ම ඉන්නවා....
මම දන්නව මේක හැමදාම කරන්න බැරි විත්තිය.... මගේ දෙමවුපියෝ මාව මුලින්ම එක වසරට බාර දුන්නා වගේ මම අද මගේ පුතාව බාරදෙනවා.... තව අවුරුදු තිස් ගනනකින් මගේ දරුවනුත් ඔවුන්ගේ දරුවන් ඉස්කෝලෙට බාර දේවි..
 ඊට පස්සෙ ඔවුන්ගේ දරුවනුත්...හ්ම්.... 
සංසාර චක්කරේ..... 
මොන තරම් බන මතක් කරන්න හැදුවත්... හිත දුකින්...
 හැබැයි... මීට අවුරුදු ගානකට කලින් ඇන්ජලීන් ගුනතිලක කියන අම්මා අපිට කියල දුන්නා දුක තුනී කරගන්න මේ වගේ වෙලාවක..... ධර්මසිරි ගමගේ පද රචනා කරල... ක්ලැරන්ස් විජේවර්ධනයන් සංගීතවත් කරල දීල තිබ්බා....


පුංචි පුතා මගේ ඉස්කෝලේ ගියමුල්ම දවස අද වේ.. //
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනිකළ මොහොතේ..//

අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතින් පැතුම් පතාලා
ඔහු පන්තියේ තියලා
මා වෙන් කළ මොහොතේ
පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක්
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට

සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිමවි පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි ලස්සන මුහුනයි


අද සිට හොඳින් ඉගෙනගෙන.... මතුයම් දවසක... රටට දැයට සමයට වැඩදායක පුරවැසියෙක් වේවා කියල හිතාගෙන... මම ආයෙත් මහා විසාල කලුපාට ගේට්ටුවෙන් ඇතුලට නෙත් යොමුකලා....හ්ම්...




No comments:

Post a Comment