Saturday, January 31, 2015

මේ ලොව යම් කිසිවෙකු... මා හට පෙම් කල බව.....

ජනවාරිය ඉවර වෙන්නත් යන්නේ....
ඊට කලින් ලියන්න එපැයි ඔහු ගැන...
කොහෙන්ද ඉතින් වෙලාවක් .... ඒත් ඉතින් ලියන්න එපැයි ......
අවුරුදු තිස් අටකට ඉස්සර ජනවාරි දාසය.....වියළුණු පන්හිඳක් ගැන.......



ඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්.

වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරීගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට ඇත මට කවියක්.

එසේ වුව සොයුරනි!
ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව දනිමි.

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව දනිමි..


..................................
ඔව්...එහෙම කිව්වේ ඔහු......සේකර.....මහගම සේකර


සේකරගේ ප්‍රබුද්ධ මගේ අතේ.... පෙරලුව පොත අහඹු ලෙස.......
තියනවා මෙහෙම


"සැණකෙළි බිමෙහි සිට
ආ දන අවන්හල වෙත
බොත් සුරා ඇති පදමට
මහත් අසහනයෙන් මිදීමට.

බනිති මැති ඇමතින්ට රජයට;
කියත් ගී ගසමින් මේසයට;
නිදත් නෙක සුබ සිහින දැක දැක
හඬත් උන් හිටි ගමන් ඇස හැර.

වැඩිවිය අවන්හලෙහි කරච්චලය;
වැඩි විය වර්ෂාවද;
දැන් කිසිවක් පැහැදිලි නැත.
ඔක්කොම එක රොත්තට
ඇත්තම කතා කරති;
කිසිවක් පැහිදිලි නැති ඒ නිසාය.

ප්රබුද්ධ
ස්ටේසම වෙත යනවිට
දෙගොඩහරිය පසුවෙලාය.

‘අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරුෂය !
අත දමා කුණු බාල්දියකට
අවුස්සා කරදාසි පොලිතින් හා කෙසෙල් කොල
කුමක්දෝ ඔබ සොයන සත්යය’

‘සොයන්නෙමි මම බත් උළක්
පාන් පෙත්තක්, මාළු කටුවක්
අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරිසානන් රකින්නට’

කොවුලෙකු අඬනු ඇසුයෙන්
ඒ දෙස බැළුවෙමි මම්;
කිමෙක්ද මා දුටුවේ?
අලුයම් අහසෙහි පරවුන සඳ පමණය'
.......................................


ඊළඟ පිටුවේ මෙහෙම..........


.......................................
"ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහි
වහල යට කොටුවේ ස්ටේසමෙහි
මූණ ලා බිත්තියට
පත්තර කඩදාසි මත

ගුලි ගැසී කඩමාලු වැරහැලි තුල
තබාගෙන තම අතම තම හිසට.

සිහින් අත්ගොබ තියුණු නෙත් යුග
රැළි වැටුනු දෙකොපුල් නළල් තල;
උස්ය ඉදු කය;
ළය රෝඹු සුදුවන්ය;
තැනින් තැන ඉරී ගිය
පෙරෙවි දළ කඩ දුඹුරුය.
පැසුණු රැළි රැළි ගැසුණු දැලි රැවුල
ඉස බැඳුණු කෙහෙමඩුලු
උපසාන්තය
මුහුණ සන්සුන්ය.

‘නිදුකාණෙනි! කියනු මැනව!
ඔබ කවුරු ද?
ඔබ බුදුබව ලද කෙනෙක්ද?
ඔබගේ වැනි තැන්පත් සුවපත් බව
කවදා කෙලෙසක මට ලැබිය හැකිද?’

සිඟන්නා සිනා සිණ,
මද සිනා සඳ රැසින් පෙරී එන.

‘කතා කරන්නෝ නො දනිති.
දන්නෝ කතා නොකරති.
එසේ වූ පසේ බුදු කෙනෙකි ඔබ,
සිතමි මම.."





ඔහු 'මක්නිසාද යත්..."හි ලියන්නේ මෙහෙම.....

“මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි”යි
කවියා සමාජයට කීය.

එබසට සමාජයට හිනා ගියේය.

“මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි” යි
සමාජය කවියාට කීය.


ගම්පෙරළියේ නන්දාට ඔහු ආමන්ත්‍රණය කරන අපූරුව......මේ බලන්න


නන්දාවතී, උඹත් වරෙන් කොලඹ
වලව්ව දැන් ඇද වැටිලා
වීදුරු ගෙයක් හදල පියල් කොලඹ.
වතුර පොම්ප
විදුලි බුබුළු
ඇස්බැස්ටෝස් තහඩු
ඇමරිකානු පැටන් එකට

ගමයෙක් නොවෙයි පියල්
ඌ ඇවිල්ල කොලඹ එකෙක්
ඉස්සර හිත බැඳුණු කමට
පෙරැත්ත කරනවා මිසක

දාහක් හොයා ගන්න බැරියැ මෙහෙං
වයිවාරන්න එවුන්.
සිනමා හෝල් ඇතුලෙ
විහාර මහ දේවි උයනෙ
ගෝල්පේස් පිට්ටනියෙදි
ලක්සැලේදි
සාප්පු - කන්තෝරු වලදි..


මේ තවත් අපූරු කවියක්...ඔහු ලියු......

ලයනල් පොත කියවයි
ඇඳේ ඇලව.
ප්රේමවතී ඔහු අසලින් හිඳගෙන….
ඔහු අත ගෙන
සෙමින් සෙමින් පිරිමදිමින්
නොකියා සිටි යමක්
‘මේ……’
හදිසි ආලෝකයක්
පහළ වූ කලක මෙන්
මොහොතකින් ඔහු මුහුණ එකලු විය.
ඒ එළියෙන් ඔහුට පෙනිණ
ප්රේමවතී නොකියූ දෙය.
සතුට පෙරෙන ආදරයෙන්
ඇයගේ නළලත සිඹ
ඔහු ඈ වැළඳ ගනී..

‘පුතෙක් නම් ප්‍රියන්ත යි
දුවෙක්නම් ප්‍රියන්තා …’

වර්තමාන සමාජ යථාර්තය සේකර කවි ඇස දුටුවේ මෙහෙම......

නොදකින්
කාලකන්නි…!
වෙලාවකට මට හිතෙනව
මේ ඔක්කොම දමලා ගෙදර යන්ඩ.
පුපුරන එවුන් මිසක ඉරිසියාවෙ
මෙහේ කොහෙද ළෙන්ගතු අය?
ඉබේට කටින් හැලෙන
ගුඩීවිනිං
ගුඩ් මෝනිං
පරඬල් වචන මිසක.

ජයවික්රම මැරුණා
අල්ලපු ගෙදර එවුන් ඒක දන්නෙ
පහුවෙනිදා සොහොනට ගිනියනකොට
ගමේ ඔහොම දෙයක් උණොත්
හැමෝම එකතුවෙලා
මග තොට මිනී පිටිය කොඩි ඇදලා
වළ කපලා
කර ගහගෙන
පස් වහලා
මුලු දවසම ඒ වැඩේට.
මෙහෙ?
පෙනිල යනව, සුදු පාටට

උඹෙත් මගෙත්
හැම මිනිහගෙම යටි හිත හැම තිස්සෙම
තව තව ඉහළ යන්ඩ.
එතන තමයි තරඟෙට මුල.
ඒ තරඟය අතහැර
උඹට බැරිය ගමට යන්ඩ..."

සේකරගේ කවි ගැන ලියන්න මම කොච්චර පුංචිද.... හෙළ කලාකෙත නම් මහා සයුරේ මහා තල්මහෙක් දිහා බලන් ඉන්නවා වගේ මම බලන් ඉන්නවා.....

සේකරගේ කලාව කවියට සීමා වෙන්නේ නැහැ..... කවි, ගීත, නවකතා, චිත්‍ර, බතික් නිර්මාණ, එම්බ්‍රොයිඩර් නිර්මාණ ආදී මෙකී නොකී අතු ගංගාවල් වලින් සේකර ගඟ පෝෂණය වෙනවා.....

සේකරගේ හඬ උනේ අමරදේව....
සේකර අමරදේව සුසංයෝගය සුන්දර නිර්මාණ රැසක් එක්කලා හෙළ සුභාවිත ගීතයට.....
මේ ඔහුගේ කව් පෙලක් මනරම් ගීතයක් උන හැටි.......


ඇසේ මතුවන කඳුළු බිදු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන් කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

නොඅදහා බුදු කෙනෙකු දෙවියෙකු
මානයෙන් වල්මත්ව සිටි මම
ගලක් යැයි ඔබ සිතා සිටියෙමි
තෙතක් හෝ කිසි දයාවක් නැති
ගලින් කල ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නො පෙනිණි.

අහිංසක හදවත්හි උපදින
මෙලෙක් සංකල්පනා සිතුවිලි
ගලින් කළ ඔබහටම මිස ලොව
ගලින් කළ අයට නෑඟෙයි

කෙලෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආයෙමි පොළෝ තලයේ
අනෙක් පිහිටක් නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝද බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කොට ඇත

ඔබේ පාමුල බැගෑපත් ලෙස
වැටී අයදිමි අනේ සාමිනි
ජීවිතේ යම් පලක් ඇත්නම්
කිමැයි ඒ මට කියා දුන මැන. ...





මේ තවත් කවි පෙළක් සේකර අමරදේව සුසංයෝගයෙන් ගීයක් උන හැටි.....


පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

ඉර පායා ඉර අවරට ගියාදෝ
හද පායාඅ හඳ අවරට ගියාදෝ
ඇඬූ කඳූළු මුහුදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි ගියාදෝ

එගොඩත් බැලිමි එගොඩත් නුඹ නැතේයා
මෙගොඩත් බැලිමි මෙගොඩත් නුඹ නැතේයා
දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතේයා
සිවුපද කියන මම තනියම පැලේයා

එගොඩ ගොඩේ උල ලේනා අඬන්නේ
මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ
දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ
දෙගොඩ ගොඩින් කොතැන ද නුඹ සිටින්නේ

සීත කරන උඳුවප් මහ දුරුත්තේ
සීතල උහුලන්ඩ මට බැරුවා සත්තේ
කැලේ මදුරු මැසි කරදර තොර නැත්තේ
පැලේ ගින්න විතරයි තනියට ඇත්තේ

උඹේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
උඹේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරවු එනවා පෙර පුරුද්දට

අනේ ගිරවුනේ මා බස අසාපන්
නඟා සිටින තැන කොතැන ද සොයාපන්
පැලේ තනිවම මා ඉඳිතෙයි කියාපන්
හිතේ දුකට නිදි නැතිවා කියාපන්

රෑ තිස්සේ පැල් රැක නිදි මරන්නේ
පාන්දරට යන්තම් ඇස පියෙන්නේ
හේනේ කඩුල්ලට එපිටින් සිටින්නේ
හීනෙන් ඇවිත් නෑනා අත වනන්නේ

උඹයි මායි අපි දෙන්නා එකතු වෙලා
කැලේ කපා වල් කොටලා ගිනි තියලා
වැවූ කුරක්කන් ගොබ දැන් කළු ගැහිලා
මෝරයි බංඩි මඳ සුළඟට නැමීලා

රන් දෑකැති අරන් දෙන්නා දෙපස සිට
බට පොතු පෙට්ටි පුරවා එක පිට එකට
නෑනේ වරෙන් ඒ අස්වනු නෙළන්නට
කුරහන් පැහී මොකටද උඹ නැති දාට

ඔපනැලි යටින් පෙති ගෝමර ඉහෙන නඟේ
ඇඳි සේලේ රැලි සුළඟට නටන නඟේ
බුලත් හපා හප සුළඟට පිඹින නඟේ
කුරහන් කපන්නට හේනට වඩින් නඟේ





මේ තවත් අමරදේව සේකර සුසංයෝගයක්.......


ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලද ලියන්ගේ සීන අතරේ
මැවේ ඒ රූපේ

රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ලමැදේ මුස කරන්නේ
හදේ මෝරණ ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී රත් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ




නමසිය හැට හතේ තිරගත උණු "පරසතු මල්"චිත්‍රපටියට ඔහු ලියනවා අමරණීය ගීයක්..... මේ සුජාතා අත්තනායක......


පරවුණු මල් වල සුවඳ අතීතේ
පරසතු මල් ළඟ විසිර ගියාවේ
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ
එළිය වැටෙන් හෙට දවස උදාවේ....




ලයනල් අල්ගමගේ සංගීතයට.....අමරදේවයන් ගයන්නේ මෙහෙමයි ....පරසතු මල් චිත්‍රපටියට....


අද පමණයි ඉතිරිව පවතින්නේ
හෙට වන විට අප නැත හමුවන්නේ

තොලින් තොලට වෑහෙන ගී සින්දූ
තොලින් තොලට පෑදෙන මී බින්දූ
තොලින් තොලට යාවෙන අම ලන්දූ
මලින් මලට පාවෙන බඹරින්දූ

පිපෙන පිපෙන මල් කැකුලට කොඳුරා
බමරා පවසන රහස මෙයයි
ඔබ තොල් පෙති මට මීවිත වේ නම්
මම ඔබෙ සංගීතය වෙන්නම්

නොපැමිණි දුක් එන මග මල් රඳවා //
සපැමිණි දුක් හැම දුරු කරවා //
ජීවිත සැපතට දොර අරවා - 
මීවිත ගෙන එන් මුවවිට පුරවා




ජීවිතයේ රස ඔහු පවසන්නේ වික්ටර් රත්නායකගේ හඬින් මෙන්න මෙහෙම....වෙස් ගත්තෝ චිත්‍රපටියට ....සෝමදාස ඇල්විටිගලගේ සංගීතයට....


අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්

පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි -ඉගිලී යයි
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
මී විත උතුරා යයි උතුරා....

අවුල් දුහුල් වල සිහිල් පහස් මැද
රඟනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි - සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ...
හෙට දින එය මිය යයි - මිය යයි...






නවසිය හට හයේ වෙසතුරු සිරිත චිත්‍ර පටියේ අමරදේවයන්ගේ සංගීතයෙන්.....නන්දා මාලිනියගේ හඬින් ඇහෙන්නෙත් මේ සේකර සිතුවිලි.......


රුවන් වලා දුහුල් කඩින්
පෙරී සඳේ රිදී කැළුම්
තුෂාර හාර හා එතී ගලා හැලෙනවා
පුතුගෙ සිගිති දෙතොල්වලට සිනා ගෙනෙනවා

අනෝතත්ත නෙළුම විලේ
පාවෙන මල් රේණුවලින්
සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා
සඳුන් සෙමෙර සළා පුතුට පවන් සලනවා

අතු අග මල් කුමාරියන්
බිගු මිණි දැල් සැලෙන හඩින්
නිදන පුතුගෙ කනට මිහිරි කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා

රාජ ඉසුරු බරට වටින
වාසනාව කිරුළු දරන
මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා
සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා



ආදරයයි කරුණාවයි චිත්‍රපටියට අමරදේවගේ සංගීතයෙන් සේකර ලියු පද මේ ගයන්නේ අතුල සෝමසිරි සහ පිරිස.

මලින් මලේ රේණු උරා
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන මදුර වසන්තේ

ජීවිතයේ සැපත උදා කරන විලාසේ
මී බඳුනේ මූණ පෙනී සතුට සිනා සේ
ගී ගයලා මත් වීලා ඔකඳ වෙලා නැලවීලා
සිනහ මුවින් නැගෙන උදම්…






නමසිය හැත්තෑ දෙකේ දී ශ්‍රී ලංකාව ජනරජයක් උන වෙලාවේ ජනරජ ගීතයක අවශ්යතාවය ඇති උනා .. ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කලා ලියන්න....එහෙත් සේකර ලියූ ගීතයට තැනක් ලැබුනේ නැහැ.. අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙලා වෙනත් ගීතයකට මුල් තැන ලැබුන . එහෙත් ඒ ගීතය අද අසන්නට නැත. සේකර පදවැල ජනතා හදවත්හි ලැගුම් ගත්තේ මෙහෙමයි......


රත්න දීප ජන්මභූමි
ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ
මාතෘ භූමියයි..

ආදි සිංහලේ
වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ
මාතෘ භූමියයි….

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් - සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හැලූ ලේ කඳයි..

සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි.

ගංඟා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුළෙන් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයන්ගෙ ඒ යශෝ ගීතයයි…






සේකරගේ තුන්මං හන්දිය ඔප වැටුණු ඔහුගේම තේමා ගීතය මේ.....අමරදේවයන්ගේ හඬින්


අතීතයෙන් ගඟ ගලා බසී
සිඳි බිඳී ගල්පර අතරේ
සිනා සිසී සුදු පෙන පොකුරේ
ගලා බසී ගඟ ගලා බසී
පිපී බිඳෙන පෙන බුබුලේ
වලා රොදක දුර ආකාසේ
සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ




නමසිය හට හතරේ ගැටවරයෝ චිත්‍රපටියට........නාරද දිසසේකරට ඔහු ලිව්වා අමරණීය ගීයක්.....මෙහි අමුතු පද යෙදුම් ගීතයේ ජනප්‍රියත්වයට තදින්ම බලපෑවා...


ඈත ගව් ගනන් දුරින්
ලෝකයේ නොයෙක් රටින්...//
පාවෙවී ආ විලාසිතා
දෙව්ලියන් මැවු විලාසිතා

ආරච්චි බෝරිච්චි
කම්බිකුරු බෝල මාල...//
ඒ අතට මේ අතට
අගර දඟර සරුංගෝල...//
ආරච්චි බෝරිච්චි
කම්බිකුරු බෝල මාල.

සරසවාලා හැඩ දමාලා
පාට කරලා මේ බලන්න
ආරච්චි බෝරිච්චි
කම්බිකුරු බෝල මාල...//
ඒ අතට මේ අතට
අගර දඟර සරුංගෝල..

පුංචි ලංකාදීපයේ
පැංචියන් ලවා අපේ
පාවෙවී ආ විලාසිතා‍
දේව්ලියන් මැවු විලාසිතා

පත්තරෙන් ඇවිත් මෙහේ
ඇද්ද යම් කෙනෙක්
ගන්න ගන්න මාගේ රූපේ
මං ෆොටෝ ජෙනික්
නමද ගමද වයස එක්ක
පීංතුරේ විස්තරේ...//
පත්තරේට වැටෙනෙකන් අනේ
රෑට නින්ද යන්නේ නෑ අනේ

ආරච්චි බෝරිච්චි.....




කොච්චරක් ලියන්නද......අබ පියල්ලකින් මුහුද ඉහිනවා වගේ වැඩක්..... මම මේසටහන කරන්නම් සේකරගේ කවියකින්.....ලස්සන ගීතයක් වෙච්ච.........

මා මිය ගිය දවසක
සොහොන් කොතේ
ලියන්න දුක් ගීයක්
නන්නාඳුනනා ඔබගේ අත් අකුරින්..

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
රෑහි නඟන රැවු අතරින්
එතකොට ඒ ගී හඬ මට ඇසේවි.

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කල බව
එතකොට ඒ ගී හඬ මට කියාවි..

4 comments:

  1. අනේ .. බොහොමත්ම ස්තුතියි . පුදුම රසවත් ලිපියක්. සියලු රස කැටි කළ මල් පැණි දෝතක් වගෙයි.

    ReplyDelete
  2. Chandrika JayasingheJanuary 31, 2015 at 5:52 PM

    Absolutely beautiful Kelum, I wish you all the best to write many such verses!

    ReplyDelete
  3. Issara prize giving walata thoranne ewa thamai. sarala e kavi sindu Thamath aluth therum ekka aluthin Hemadama rasa winding puluwan. It's a great loss!

    ReplyDelete
  4. නියමයි කැලුම් නියමට ලියල තියෙනවා,මෙහි තියෙන කරුනු හොයන්නට සෑහෙන වෙහෙසක් දරල තියෙනවා.මේ ගීත ගැන බොහෝ දෙනෙක් දන්නෙවත් නැතිව ඇති.දිගටම කරගෙන යන්න​.ඔබට ජය !

    ReplyDelete