Tuesday, February 16, 2016

මන්නාරම් මුතු වෙරළේ ශාන්තිනී



ඒ දෙදාස් දහතුන අවුරුද්ද...
මන්නාරම නගරයේ ඉඳන් තලේමන්නාරම පැත්තට යන වාහනයක ඉදිරිපස අසුනේ ඉඳන් මම දෑස් දල්වා බලාගෙන ඉන්නවා...
ඇස් කෙවෙණි රිඳුම් දෙනවා තමයි...අව්වේ සැරට. 
වටේටම තියෙන්නේ කටු පඳුරු සහිත කැලෑ රොදවල්..... 
ලංකාවේ මන්නාරම සහ හම්බන්තොට කියන්නේ දේශගුණික ශුෂ්ක කලාපීය ලක්ෂණ දරණ ප්‍රදේශ...
අඩි කෝදුවක් තියල ඇඳලා වගේ තනි කෙලින් පාර..... 
වාහනයත් වේගයෙන් ධාවනය වෙනවා..... 
වාහනයේ වායු සමීකරණයෙන් එන සිහිල් වායු ධාරා වලට මගේ ගතට වෙලෙන්නට ඉඩ නොදී කවුළුවේ වීදුරුව හරහා එන චණ්ඩ හිරු රැස් මගේ ගත උණුසුම් කරනවා..... 
හරියට මේ වීදුරුවෙන් එහා ඉන්න මිනිස්සු විඳින දුක් මට කියන්න වගේ..... 
ජන ශූන්‍ය පෙදෙස් පහුකරලා ඔන්න ගෙවල් එක දෙක තියන පෙදෙසක්... තවත් ටිකකින් ජනාකීර්ණ පෙදෙසක්.....මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගහපු තඩිම තඩි බෝඩ් එකක් පහුවුනා...... 

පේසාලෙයි.......

මම වටපිට බැලුව...ඔව් මේ තියෙන්නේ පේසාලේ හන්දිය......
සුප්‍රසිද්ධ පේසාලේ හන්දිය...
මම ටිකක් ඉස්සරහටත් නැමිලා විපරම් කරමින් යනවා.....
මොකටද..... 
අර රශ්මි සංගීතා කියන කණේරු මල්ගහ පාමුළ වැටිච්ච ඔහුගේ මළකඳ හොයන්නද....නැහැ...
මම හොයන්නේ මයිල්වාහනම් කඩේ.......

ඒ මොකටද......

ඒ කතාව කියන්න මට යන්න සිද්ධවෙනවා හැත්තෑව දශකයේ මුලට.....
ගාල්ලේ ප්‍රසිද්ධ ප්‍රිමි පාසලකින් උසස්පෙළ ලියපු තරුණයෙක් හිටිය...විද්‍යා විෂය ධාරාවෙන්...ඔහුට අපි විජේසිංහ කියල කියමු... විජේසිංහ උසස්පෙළ ලියල ප්‍රැක්ටිකල් කෝල් කරනකම් හිටියේ... ප්‍රැක්ටිකල් තියෙන්නේ තියරි පේපර්ස් තියල මාස කීපයකට පස්සේ.... මේ කාලේ විජේසිංහ තරුණයා යනවා මන්නාරමට... 

ඔහුගේ නෑදෑයෝ කට්ටියක් ඉන්නවා එහේ ......

ඉතින් මේ තරුණයා මන්නාරමේ නතර වෙලා එහෙ මෙහෙ ඇවිදින්න යනවා... නුහුරු නුපුරුදු පලාතක්නේ බලන්න දේවල් බොහොමයි.... 
කම්මැලි කම යවාගන්නත් එක්ක ඉංග්‍රීසි පන්තියකටත් ගියා.... 

ඉතින් මන්නාරමේදී දෙමළ පවුල් කීපයක් ලඟින් ඇසුරු කරන්නත් ලැබෙනවා ඔහුට..... 
මේ පවුලක හිටියා ශාන්තිනී කියලා පහළොස් දැරිවියක්..... 
ඇය ඉගෙනගත්තේ මන්නාරම කොන්වන්ට් එකේ.... ඉස්කෝලේ ඇරෙන වෙලාවට විජේසිංහ තරුණයා එනවා ශාන්තිනි එන පාර දිගේ....ඉංග්‍රීසි පන්තියත් කට් කරලා.... ශාන්තිනි මූණට හම්බ උනාම හොඳට කටපුරා හිනා වෙනවා... විජේසිංහට දෙමළ බෑ ...... ශාන්තිනීට සිංහල බෑ .
කොච්චර අහිංසකද නේද......
ශාන්තිනිලගේ ගෙදර තිබුනේ පේසාලෙයි හන්දියේ මයිවාහනම් කියන කඩේ පිටිපස්සේ...
විජේසිංහ තරුණයා හවසට මේ දමිළ ගෙවල් වලට ගියාම වැඩිපුරම හම්බ වෙන්නේ කිරි කොපි, ඇයි දෙළුම් එහෙමත් හම්බ වෙනවා.... හොඳම දෙළුම් හැදෙන්නේ මන්නාරමේනේ ......
ඔහොම ටික කලක් යනකොට විජේසිංහට ප්‍රැක්ටිකල් කෝල් කරනවා...දැන් ඉතින් ආපහු ගාල්ලට එන්න ඕන.... එන්න කලින් ඔහුගේ ඥාතියාගේ ගෙදරට අර හිත මිතුරු දෙමළ පවුල් වලට ආරාධනා කරනවා රෑ කෑමකට....
ඔන්න ඔතනදි විජේසිංහ තරුණයා පිරිස මැදට ගිහින් සිංහලෙන් කියනවා " මම හෙට ආපහු ගාලු යනවා.... ආපහු මන්නාරම් එන්න ලැබෙන එකක් නෑ " .කියල.... 

අනේ අර සිංහල අකුරක්වත් නොදන්නා ශාන්තිනී ඉකි ගසමින් අඩනවා..... ඔහු හිත තද කරන් ගාලු ඇවිත්...උසස්පෙළ සමත් වෙලා විද්‍යා ගණිත ගුරුවරයෙක් වෙනවා.....
කාලය හෙමින් ගලාගෙන යනවා......
ඔන්න නමසිය අසු තුනේ ජුලි.....කළු ජුලිය.....
මිණී මැරුම්, කොල්ලකෑම් වගේ මනුස්සයෙකු දකින්න නොපතන දේවල් දකින්න සිද්දවෙනවා..... මේ අතර විජේසිංහට මතක් වෙනවා ඇය ...... ශාන්තිනි.....
අනේ ශාන්තිනිට මොනවා වෙලා ඇත්ද...ඔහුගේ සංවේදී සිත වැලපෙනවා.......
ඔහු අකුරු කරනවා මෙහෙම.....
ඒ අකුරු වලට සංගීතය එක්කරනවා විශාරද ගුණදාස කපුගේ.....
හඬ මුසු කරනවා කරුණාරත්න දිවුල්ගනේ......

මම අර විජේසිංහ තරුණයාගේ සම්පූර්ණ නම කියන්නද....

ඔහු තමයි රත්න ශ්‍රී විජේසිංහ.....
ඔබ අහල ඇති මේ කතාව.....

මීට පෙර.....


ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං //

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්...

සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්...

මේ ගැන රත්න ශ්‍රී කරන විග්‍රහයක් තියනවා පහලින්.....



මේ කතාව මෙතනින් ඉවරද......

හැත්තෑව දශකයේ මුල් කාලේ විජේසිංහ තරුණයා යුද්දයක් ගැන හීනෙකින්වත් නොදැන උන්න තමයි....නමුත් ඊට පස්සේ වෙච්චි දේවල් සලකද්දී යුද්දය කවරදාවත්ම ඉවර නොවේයැයි ඔහු සිතන්නට ඇති...ඔහු මැදි වයසේදී අත්දැකපු දේවල් එක්ක.....යුද්දයේ අතුරුපල දකිද්දී....

ඒත් තිස් වසරකට පස්සේ....විජේසිංහ තරුණයාට වයස අවුරුදු හැට ලංවෙද්දි ඔහු දකිනවා යුද්දය ඉවර වෙනවා.......
හ්ම්....
ශාන්තිනිට මොනවා වෙන්න ඇත්ද....ජීවත් වෙනවද මැරිලද දන්නෙත් නැහැ......
ඔහුගේ පන්හිඳෙන් මෙහෙම ලියවෙනවා.....


අවුරුදු තිහකට විතර ඉස්සර පාන් පැලේ දුම් වැදිලා හඬපු හඳ මඩලමයි තවමත්..අහසේ
අවුරුදු තිහක හැඬුම් එක්ක ගලපු කඳුළු මන්නාරම් වෙරළේ...මුතු පලසක් වගේ...අපට පුළුවන් වෙයිද ඒ කඳුළු නොපාගා හඳ මඩලට යන්න.....


එතකොට ශාන්තිනි කියනවා පාන්තරුව නෙලා නළලේ පලන්දවන්නලු...එතකොට තනියම හිනැහෙන්න පුළුවන්ලු...කරන්න පුළුවන් වැඩද මේවා...ඇරත් දැන් ඔවුන් ඉස්කෝලේ යන ගැටව් නොවෙනකොට........
මුරුගසන් වැස්ස කියන්නේ මේ මහා බද්‍ර කල්පයේදී වහින වැස්ස...එකේදී අහසින් වැටෙන්නේ අවි ආයුද ...... ඉතින් මුරුගසන් වැස්සට තෙමිලා වගේ කරපු යුද්දය දැන් ඉවරවෙලා...දුක්ගින්දරත් නිවිලා.....පේසාලෙයි හන්දිය තවමත් එහෙමමයි....
එත්..කනේරු මල්ගහ පාමුල මල මිණී නැහැ...සුවඳට පිච්ච මලක් පිපිලා.....ඒ මල ශාන්තිනීගේ තනි කරලට ගෙතුව කොන්ඩේ ගහන්න හිතයි...ඒත් .....
වෙච්ච දේවල් වෙලා ඉවරයි...දැන් ඉතින් ඉහිරුන කිරට අඬල මොකටද.....හැමදේම ඉවරයි...හිනාවෙන්න පුලුවන්ද ඔබට මාත් එක්ක....
මන්නාරම් කච්චේරියේ මිදුලේ සෙල් ලිපියත් බිඳිලා ගිහින්....ඉතිහාසේ විතරක් නෙමේ අපේ අහිංසක ස්නේහයේ ඉතිහාසයත් මකල......
අවුරුදු තිහක් තිස්සේ සිංහල දෙමළ හැමෝටම නැතිවුන දේවල්...ආදරය හොයලදෙන්න මට බෑ තමයි...
ඇස් වලට කඳුළු පිරෙනවා.....
ඒත් ...
ශාන්තිනී හිනාවෙනවද....
එක පාරක්........


මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්න
ශාන්තිනී අපට හැකිද හඳ මඬලට යන්න

පාන්තරුව නෙළා මගේ නළලත සරසන්න
කාන්සියට මට පුළුවනි තනියම හිනැහෙන්න
තනියම හිනැහෙන්න

මුරුගසන් වැස්ස නැවතී දුක් ගින්දර නිවිලා
පේසාලෙයි හන්දිය ළඟ පිච්ච මලක් පිපිලා
පිච්ච මලක් පිපිලා

ඉහිරුණු කිරි දෙන්නට බැරි මට වරදක් නොකියා
ඔබට හැකිද හිනාවෙන්න මගේ දිහා නොබලා
මගේ දිහා නොබලා

කච්චේරිය වැලි මිදුලේ සෙල් ලිපියත් බිඳිලා
බොඳවී ගිය ඉතිහාසේ පෙම් කවි පද මැකිලා
පෙම් කවි පද මැකිලා


නැතිවුණු දේ සොයාදෙන්න මට බැරි බව හිතලා
ශාන්තිනී හිනැහෙනවද මගේ කදුළු පිසදා
මගෙත් කඳුළු පිසදා

මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්න
ශාන්තිනී අපට හැකිද හඳ මඬලට යන්න

පාන්තරුව නෙළා මගේ නළලත සරසන්න
කාන්සියට මට පුළුවනි තනියම හිනැහෙන්න
තනියම හිනැහෙන්න


මැදිවියත් පැනපු විජේසිංහ නම් හැත්තෑව දශකයේ තරුණයා එහෙම නැත්නම් රත්න ශ්‍රී විජේසිංහ මේ පද පෙළ දෙනවා විසි එක්වැනි සියවසේ තරුණයෙකුට දර්ශන රුවන් දිසානායකට තනුව හදන්න.... 

ගයන්න ඇරයුම තවත් වියපත් තරුණයෙකුට...
අමරසිරි පීරිස්ට ....
ශාන්තිනීගේ හඬ මවන්නේ නිරෝෂා විරාජිනී....



මම කොච්චර උනන්දුවෙන් හෙව්වත් මට මයිල්වාහනම් කඩේ හොයාගන්න බැරි උනා...ශාන්තිනි හොයාගන්නත් බැරි උනා...සමහර විට ඇය දැන් දරු මුණුපුරු පරපුරක් මිත්තණියක් ව ජීවිත කතරේ කේඩෑරි වී ඇති..... 
සමහරක් විට මෙලොව හැරගිහින් වෙන්නත් පුළුවන්.....
මම තව ටිකක් තදකරල ඇස්දෙක පියාගත්තා....

11 comments:

  1. පළවෙනි කතාවත් ගීතයත් හොදට හුරු පුරුදුයි ඒත් දෙවන කතාවත් ගිතයත් අසා නැති වග නම් කියන්ට ම ඕන.
    දෙවනි පාරත් දිවුලටම දුන්න නං ඕක තාත්වික ලව් ස්ටෝරියක් වෙන්ට තිබ්බ
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  2. අම්මෝ පපුව! හිතට වදින්න ලියලා

    ReplyDelete
  3. ඉස්සර මන්නාරමේ ජිවිතේ මතක් වුණා.
    ස්තුතියි යාළුවා!!

    ReplyDelete
  4. මෙච්චර කාලෙකට කියෙව්ව හොඳම පෝස්ට් එක අයියගෙ. ඇත්තමයි.
    ඊයෙ හවස තමයි මමත් මේ වීඩියෝ එක බැලුවෙ.
    ඒ වෙලාවෙ මටත් හිතුණා මේ කඩේ හොයාගන්න.

    මන්නාරම් මුතු වෙරලේ ගීතය ගැනත් ලියපු එකෙන් , ශාන්තිනී ගීතයට ලොකු සාදාරනත්වයක් වුණා කියල හිතෙනවා.

    (ශාන්තිනීව හම්බුනොත් මම කියන්නම්)

    ReplyDelete
  5. හරිම අපූරුයි,පලවෙනි කථාවනම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති,දෙවෙනි කොටස මමත් ඇහුවෙ අදයි.

    ReplyDelete
  6. jaya wewa harima lassanai

    ReplyDelete
  7. මේ බ්ලොග් එක නැවත ලියන්න කියා ඉල්ලමි.

    ReplyDelete
  8. අදයි මේ පැත්තට ආවේ... හිතට වැදුණා හුඟක්, අපූරුයි.

    ReplyDelete