Friday, September 19, 2014

ප්‍රදීපාගාරයක හිඳ... සඳ එළියෙන් දිය සිඳි විල... දුටු ඔහු හිණිපෙත පාමුල... හමුවෙමු

ඒ දෙදාස් දෙක අවුරුද්ද....මම කැම්පස් එකට ගිය අවුරුද්ද...ඔව්....හන්තාන අඩවියට.....
මම කලිනුත් දවසක කිව්වා වගේ...මුල් දවස් වල හරිම බයෙන් තමයි කැන්ටිමට යන්නේ....ඇයි රැග් එක තියනවනේ....
මට මතක විදිහට අපි කැම්පස් ගිහින් දෙවෙනි දවස.....
ස්ථානය පේරාදෙණිය වෛද්‍ය පීඨයේ කැන්ටිම..... 
මම බයෙන් බයෙන් වාඩි වෙලා ඉන්නවා මේසෙක.....
අපි ඉතින් මුළු බැච් එකේම විස්තර කට පාඩමින් කියන්න ඕනැ. නම,ගම,පවුලේ විස්තර...ඉස්කෝලේ...ආදිය .....
ඔන්න ජේෂ්ටයෙක් කට හඬ අවදි කරනවා.....වහලේ ෂීට් උඩයන තරම් හය්යෙන්.....

"ඒයි බකමූණා.....කියාපිය අරූගේ විස්තරේ....."

මම ජේෂ්ටයා අත දික්කරපු පැත්ත බැලුව...මේසේ එහා කෙලවරේ ඉන්නවා....ටිකක් කෙට්ටු හාදයෙක්. අදමයි දැක්කේ මම.... මට වචන නැහැ.... මොනවා කරන්නද.....කට වහගෙන හිටිය.....බැනුම් කෝටියයි.....


"හරි එහෙනම් උඹ කියපන් මුගේ විස්තරේ...."
අභියෝගය ඔහුට.....
මෙන්න මූ මගේ විස්තරේ කියාගෙන කියාගෙන යනවා......


එදා ම පාඩම් කරගත්ත උගේ විස්තරේ....පහුවදාට කියන්න එපා යැ


ඔන්න ඊළඟ දවස....මගෙන් ඇහුව කලින් දවසේ ප්‍රශ්නෙම......මම කියාගෙන කියාගෙන යනවා


"මේ ඉන්නේ පොඩි ක....., නම නුවන් තොටවත්ත .... ආවෙ මාතලෙන්....බ්ලා බ්ලා ....."


ඔන්න ඔහොමයි මට නුවන් මුලින්ම හම්බ වුනේ....එදා ඉඳන් හන්තාන වෙද බිමේ කලා අතේ වැඩක් සෙට් වෙන හැම වෙලාවකම ඔහු එතන හිටිය.......
ඉස්සර තොටුපොල කියන්නේ වෛද්යපීට කැන්ටිමේ තිබ්බ සම්ප්‍රදායික බිත්ති පුවත්පත.....
නුවන් ඒකට එකතු උනාට පස්සේ වැඩ කෝටියයි.... හනසු....මටුළු..රොඩු බොඩු ..පත්තර කැලි .....උණබට එකතු කරලා එක එක විච්චූරණ........
සාහිත්‍යධරයෙක්....චිත්‍ර ශිල්පියෙක් .... ආදී ආදී වශයෙන් සම්පූර්ණයෙන්ම කලා සාගරයක්...... වෙලාවකට හිතෙනවා මූ වැරදිලා මෙඩිකල් ෆැකල්ටි ආව එකෙක්ද කියල.....


'කොහොමෙන් කොහොමෙන් හරි අපි කැම්පස් අවුට් වෙලා කාලයක් ගත වුනා.... 
නුවන් එහෙම නැත්නම් අපේ ආදරණීය තොටියා.....ෆොටෝ එක්ෂිබිෂන් කීපයක් තිබ්බ....කවි පොත් දෙකකුත් ලිව්වා....ඒත් ඒ එකකටවත් මට යන්න බැරි උනා.....
කැම්පස් අවුට් උනාට පස්සේ හැබැහින් හමු නොවුනට මට නුවන් තොටවත්ත ගොඩක් දවස් වලට හමුවුනා....පාරේ තොටේදී....පොලේ කඩපිලේදී...බස් එකේදී...කෝච්චියේදී ....ඉස්පිරිතලේදී.....අවුරුද්දට....වෙසක් එකට.....නත්තලට.....ඒ හැම තැනම ඔහු හිටිය......අසරණ මිනිස්සුන්ගේ මුහුණු වල ඔහුගේ කවි මට හමුවුනා

මම මහා ලොකු කවියෙක් වත් කවි විචාරකයෙක් වත් නෙමේ.....සාමාන්‍ය මනුස්සයෙක්......නුවන්ගේ බැචෙක් .....
ඒත් මගේ දැනීමේ හැටියට මොකක්දෝ අමුතු රහක් තිබ්බ ඒ කවි වල......

 කවි වලින් මහජනයා ඈත් වෙන කාලෙක.....කවිය අරන් උඩුගං බලා පිහිනන...... කාර්යබහුල අපේ සහුර්දයින්ව...කවි කියවන උන් බවට පත් කරපු නුවන් ඔහුගේ දෙවන කවි පොත වන සඳ එලිය සහ දිය සිඳී විලේ කියන කතාව මම ඔබට කියන්නද......


බැඳුනු කවියට සොඳුරු කවිසිත් අඩුවයන මුත් දිනපතා
මිදුණු සිත් යලි සසල කලයුතු යදින කවියෙහි රස පතා
බිඳුණු ලොව සරසන තුරා විල් දියෙන් නැඟී කිරණින් ගොතා
සිඳුණු දිය ඇති විලට ඉහලින් නැගෙමි දිය බිඳුවක් පතා


දිය සිඳී විලට එබෙන සඳ එලිය ඔහුම නොවේද..........


ඔහුගේ කවි සමහර විටක සේකරගේ කවි මගේ ලක්ෂණ පෙන්නනවා.....තවත් විටක ප්‍රේමකීර්ති කවි රටාව පෙන්වනවා......ඊටත් වඩා ඔහු ඔහුගේම සම්ප්‍රදායක් අනුගමනය කරනවා.....
බොළඳ ප්‍රේමය වෙනුවට ඔහු යථාර්තය දකින්නේ මෙහෙම.......

යථාර්තය

සඳ ළඟ රැඳුනු තරු කැටයක් දුටුවාම
තරුවත් සමඟ සඳ යන මුත් උදයේම
පොලවට තනිකමක් දැනුනත් හැමදාම
තරුවට නොවෙයි සඳ ළඟ පොලවට තාම


ඔහු කලාකරුවෙකුගේ අගය ඔහුගේම විදිහකට කියන්නේ මෙහෙම .

හොර වෙදැදුරන් හොර ඇදුරන් ඇති රටක
හොර ඇමතියන් හොර වෙළඳුන් ඇති රටක
හොර නිල දරන නිලදරුවන් ඇතිරටක
හොර සිත්තරෙකු විය හැකි ජගතෙකු ඇතිද


සමහර වෙලාවකට උපහාස රසයෙන් ඔහු ජීවිතයේ තිත්ත ඇත්ත කියනවා මෙහෙම......


තිබුනත් නේක රසමසවුළු නිවන විඩා
බැලුවොත් වේය ගන්නට ගෙල දෙකට කඩා
නොවෙනා නිසා පසුවට වැළපෙන්න හඬා
තනිකඩ කම හොඳයි මී කතුරකට වඩා


ඔහු ඔහුගේ කවි වලින් අපූරු පර්යේෂණ කරනවා......"වෙනස " නම් මාතෘකාවෙන් ලියපු මේ කවි දෙකේ වෙනස එක අකුරක් විතරයි....එත් තේරුම...හිතල බලන්න ඔබ.....මේ මුහුකුරා ගිය කවීත්වයේ ලක්ෂණ නොවේද.....

වියැළුණු කතර දිය බිඳුවක් සොයන විට
සමුදුර පතුල වෙරළට පෙම් බඳින විට
බිම්මල් යාය මල් සුවඳක් පතන විට
හිරු නැති ලොවක තරුවක් හමුවෙලා මට..

වියැළුණු කතර දිය බිඳුවක් සොයන විට
සමුදුර පතුල වෙරළට පෙම් බඳින විට
බිම්මල් යාය මල් සුවඳක් පතන විට
හිරු නැඟී ලොවක තරුවක් හමුවෙලා මට..


ඒ එක පර්යේෂණයක්.....මෙන්න තව එකක්....ඔහු මට කිව්ව විදිහට මේ කවියට ඔහුට මාතෘකා දෙකක් තියනවා..... පළමුවැන්න " විවාහය" දෙවැන්න " දික්කසාදය".. ඔබ ඔබට කැමති මාතෘකාවක් දාල කියවල බලන්න ....

ජීවිතය අඳුරුයි
අඳුරු වන මුත් සොඳුරුයි
සොඳුරු බව රුදුරුයි
රුදුරු බව නැති දිනය නුදුරුයි



විවාහය සහ දික්කසාදය ගැන ලියවෙච්ච පොත් බොහොමයි.....විචාර බොහොමයි.....ටී.වී., රේඩියෝ වලට එන පඬියෝ පැය ගණන් කියන දේවල් බොහොමයි...ඒත් නුවන් තොටවත්ත ලියන්නේ පද පේලි හතරයි......මාතෘකා දෙකයි...... මට කියා ගන්න බෑ ......ඔබ කියවල තේරුම් ගන්න.....


මේ තවත් කවියක් විවාහය ගැන.....


එකම සුරතින්
වමත් දෙකකට
පලඳවා ලූ
බොහෝ රන් මුදු

උකස් කඩවල
අගුලු ලා ඇති
ලාච්චුව තුල
උනුන් හමුවෙත්..



රිදෙන තැනට රිදෙන්ට පහර දෙන්න ඔහු තරම් දක්ෂයෙක් මම දැකල නැහැ....සමහර පේලි හතරේ කවියක් කියෙව්වම.... නවකතා පොතක් කියෙව්වා වගේ ...."සඳ එලිය සහ දිය සිඳී විල " කෘතියේ "කන්‍යාවක් පතමි " යන මාතෘකාවෙන් ඔහු ලියනවා මෙහෙම....


තුනපහ සැර වැදී හොද්දේ උඩ පනින
සුදු නෙතු සඟල මාලුවෙකුට ලොව පෙනුන
ගිජු ලෙස ගිලදමා ඉන්පසු තලුමරන
අතරේ යදිමි දෑසක් බෝ දුර පෙනෙන


ඒ පොතේම "සොරකම" කියන මාතෘකාවෙන් ලියන්නේ මෙහෙම...

උලා වත්සුණු උවනත
ගල්වා අඳුන් දෙනයන
අමුණා නීල වරලක්,
කෙටි වරලස අගට
ගෙලලා මාලයක්
පැහැයෙන් පමණක් රන්වන්
දියණිය කැටුව ආ මව,
අකමැති වීය මනාලයාට
වරක් ඔහු
රැකියාවක් ලබාගැනුම උදෙසා
හොර සහතිකයක්
ඉදිරිපත් කල වග
දැනගත් නිසාවෙන්


"සුදු වතින් සැරසී පැමිණෙන්න" බෝඩ් එකක් දැක්කම ඔබට කවදාවත් මෙහෙම හිතිලා තියනවද......

විලි වසන්නට සලු පොටක් නැති කලෙක බණ පද රැවුදෙනා
බෝ ගසින් බැස එන්න බැරි සලු ඇගේ දුක දැක වැළපුණා
" සුදුවතින් පැමිනෙන්න " පුවරුව සමච්චලයට හිනැහුනා
එදැක දෙවුරම් වෙහෙර දොර ලඟ පටාචාරා නැවතුනා



සමාජයේ අනිත් අය නොදකින පැති ඔහුගේ පන්හිඳට හසුවෙන්නේ මෙහෙම.....පන්හිඳට නෙමේ.... දහඩිය ගෑවුන බස් ටිකට් එකක ඉවර වෙන්න ළඟ බෝල්පොයින්ට් පෑනකින් .......
මෙහි මාතෘකාව "නිළියකට සැමියෙක්ව "


නොම හිඳ පොලොව මත අන් සාවුන් විලසා
අතහැර තණ පලස ඇති මල් පෙති ගවසා
ලොවටම පෙනෙන සඳ සාවෙකු වීම නිසා
උඳුපියලියත් අහිමිව ඉමි දුක ඉවසා


"සුපිරි වෙළඳසල් සහ පාරිභෝගිකයා " ඔහු දකින්නේ මෙහෙම....

සුදු පෙන නග නගා උතුරන පිටවාන
දුටු කල සිනහ වනමුත් තුරුලිය සෑම
දැක සිත බඳිනු මිස දිය ලබනුද කෝම
හරිනා තුරු සොරොව් දිය පිටතට ගේන


"ජනතාව" ගැන ඔහු කියන්නේ මෙහෙම.....

ඔසුවකින් සුවව
දෙවියනට තුති පුදන

කලට වැසි ලද කල
පාලකයිනට ඡන්දය දෙන



කෘර නිරුවත් සමාජයෙන් ගැලවෙන්නට යුවතියක් ගබ්සාවක් කරගනී නම් බොහෝ දෙනා දකින්නේ නූපන් දරුවන්ගේ අයිතිවාසිකම් මිස අර යුවතිය ගැන නොවේ..... නූතන මද්දුම බණ්ඩාර ගැන ඔහු කියන මේ කතාව අසා නුවන් අග කඳුළු නොපිසදා සිටිය හැකිද ඔබට


............එක් අතීත කතාවක්...................
මේ අඳුරු කුස සොයා
ඇදෙන එළියක අරුම
නව ලොවක හිරු කිරණ
නොවේමැයි මා සොයුර

ඒ එළිය තුළින් එන
ලේ පිපාසිත සැතක
වියරු බව දැනේ මට
නොඉපදුණු දිවි යදින

මාරයාගෙන් නොවේ
සමාජයකින් අරුම
ජීවිතය යදින්නී
අප දරන මිනිස් දුව

මාරයා ගත් පසුව
දිවිය අප හට උරුම
සමාජය දෙති ඇයට
සොඳුරු දිවියක වරම

මේ අඳුරු මිනිස් කුස
ගෙවූ සිව් මස් සමය
අඳුරු මුත් සුන්දරය
සොයුර නුඹ මා දෙදෙන

නූපදින නමුත් අප
මරණයක් උරුම වෙත
ඉඳින් තව ටික දුරයි
කියන්නෙමි මා නුඹට

අයියන්ඩිය බිය නොවන්න
මැරෙනා සැටි මම පෙන්වන්නම්



ඔහුගේ කවි රචනා අතර මගේ දෑස් තෙත් කල කවියක් හමුවුනා.....ඒ කවි රචනාවේ නමත් "රචනාව "


වළඳා අමුර්තය
අම්මා ගෙනදුන්
කුණුබක්කියෙන් සොයා
නීදිවරා, ලියන මේසය ළඟ
පහන් කණුවක් යට ලෑලි පෙට්ටියකින් තැනූ
උගත්තෙමි ශිල්ප
ජයගනු රිසින් ශිෂ්‍යත්වය
ලැබුන දා ප්‍රශ්න පත්‍රය
ලියාගෙන ගියෙමි සීරුවට
එකදු ප්‍රශ්නයක්වත් මග නොහැර
දකිනා තුරු රචනා මාතෘකාව
සිත කියූ මුත් පලා යාමට
දැඩිකොට සවිය මා සිත
ලියූවෙමි ඊයේ දිනය ගැන
බිඳුවක්වත් මඟ නොහැර
වූයෙන් රචනා මාතෘකාව
"සිඟන්නාගේ දවසක් "

"මාතෘ පෝෂණය" යන නමින් ඔහු ලියන මේ පද පෙළ කියවද්දී පපුවට හීන් රිදුමක් එනවා... අනේ ඇත්තට අපිත් කොච්චරනම් ලෙඩ්ඩුන්ට කෑම බීම ගැන උපදෙස් දෙනවද....කවදාවත් මෙහෙම හිතිලා තියනවද.....

මහත්තයෝ ලොකු දොස්තර
නෑහුවා නෙවෙයි කියු දෙය
තියාගෙන මෝඩ කමකට
නොකෑවා නෙවෙයි

ලෙඩ බලා පෑන අරගෙන
පෝරමේ ලියන තරමට
බඩේ ගින්න පුරවන එක
ලේසි නෑ හැබැයි

බර වැඩක් නොකර ඉන්නට
කියපු දා හිටන් හෙවුවේ
බර වැඩ නැති කලු ගල්
වැඩපළක් ගැන තමයි

මගේ ගැන නොවේ මට දුක
මම නොකෑ නිසා හරියට
බේබි කාමරේ හිර කල
පොඩි එකා ගැනයි

දියුණු කරන්නට රෝහල
සල්ලි අරන් එන මැතිඳුව
සතුටු කරන්නට දොරකඩ
රතිඤ්ඤා දවයි

අනේ මහතුනේ ඒ හඬ
නවත්තලා දෙනවද මට
කිරිත් නැති අහින්සක ඌ
ඇහැරිලා අඬයි..


ප්‍රේමයේ සුන්දරත්වය, විරහව, ඔහු දකින්නේ බොළඳ විදිහට නෙමේ.....මේ කවි දකිද්දී මට හිතෙනවා ප්‍රේමකීර්තිගේ කවි වල සුවඳ මේවගේ තියනවා කියල.....මේ "ප්‍රථම ප්‍රේමය" නුවන්ගේ නුවන් තුලින්

මා සයුරු කැඩපතෙන් අදත් ඇසුවා සඳක්
පුන්චි තරුවද මමද කියන් ලස්සන ගොඩක්
දිදුලනා සඳ රැසින් නොවෙමි මුසපත් මදක්
නොමැත අන් පිළිතුරක් පුන්චි තරුවම මිසක්

ළඟ නැතත් හැකි ලෙසට දෑත දිගු කර නෙළිය
හදට දෙන උණුහුමක් නොහැකියෙන් මැන බැලිය
දකින තුරු පෙණ බුබුළු මත පිපෙන තරු මලිය
රැල්ල මත සතපවා බොඳ කරමි සඳ එළිය

සිතින් අමතක නොවේ කෙළි කවට කම් බොළඳ
අහස් කුස පිරෙන්නට තරු ඇතත් මා නොලද
සඳ එළිය මෙන් නැතත් රන් වලා සළු පැළඳ
එමුදු තරුවෙහි එළිය තවත් ඇත මා වැළඳ


පහත සඳහන් කවි පෙළ ඔහුගේ කූටප්‍රාප්තිය ලෙසයි මම දකින්නේ..... ඔහු විසින් රචිත කවි වල මගේ සිත තදින් බැඳගත් කව් පෙළ මෙයයි......
හ්ම්


පතුල මත වීල් සිඳී වියැලුන
හිරු රැසින් ඉරණමද විසඳුන
විල් මවුන් ළැම තදින් සිප ගෙන
පැලයකිය දායාද ඉල්ලන

මවුනි මා මරණයෙහි බන්දා
කරුණ නුඹ වියැළුණු කුමන්දා
නොහැකි නම් දිය ගන්න රන්දා
කුමට ගති මා ලොවට කැන්දා

බලන් මා පුත අහස මත්තේ
සුදට ඇදෙනා යමෙක් ඇත්තේ
ම'දුන් දිය ගැන මතක නැත්තේ
නුඹය හිමිකම් පැතිය යුත්තේ

පැළය දුක සඟවමින් මදකට
පියාණෙනි කී දෑත දිගුකොට
වලාකුළ පුතු සෙනේ කැටිකොට
සැලී කඳුළක් වැවේ පතුලට

සිහිල් වී ගිය වැවේ හදවත
පුතු තැබී නිල් දිය තලය මත
නොදුටු ඔරුවක රැඳුණු මනු අත
නෙලී එය නැති ලෙස හදේ තෙත

ඉරි තැලී ගිය සියලු විල් මත
කලල් සැඟවූ එක් දෙයක් ඇත
සිතා දායාදයන් ගෙන එත
අහිමි කර ගත් පුතෙකු ගේ වත



කොච්චරක් කියල ලියන්නද....මේ සටහන ඉවර කරන්නත් එපැයි ..... මම මේ සටහන හෙන ගැහැව්වා වගේ එක පාරටම නවත්තනවා..... කමක් නැහැ.....ඒත් ඔහු බලන් ඉන්නවා..... ඔක්තෝබර් දෙක හවස හතරට බොරැල්ල පුංචි තියටර් එකේ....හිණිපෙත පාමුලට වෙලා....
ඔහු කියනවා මෙහෙම


" තනිව හිඳිමි මෙ හිණි මගේ
පාලු අඳුර නැතිය අගේ
ඔබ ආවොත් සඳක් වගේ
ඉහේ මලක් පිපෙයි මගේ "




ඉතින් එදාට ඇවිත් යන්න..... මම වගේ නෙමේ ගීත රචක ලුෂන් බුලත්සිංහල එක්ක රත්න ශ්‍රී විජේසිංහ කිවිඳුන් අගයාවී කවි ලස්සනට......එදාට.......



මේ නුවන් තොටවත්ත ගීත රචකයෙක් කල ගීය......හඬ කසුන් කල්හාර සමඟ ඉන්ද්‍රචාප ලියනගේ.....


මේ රාත්‍රී යාමේ
සුසුමන් මිදෙන සීතේ
තනිවී අන්ධකාරේ
පතනා උණුහුමයි ඒ
එළියක් සඳ නිසා ඇඳෙනු දකිනෙමි
කළුවන් වළා පරදනා
සුළඟක් වඩින තුරු මග බලා ඉමි
සඳවත දෙනෙත හමුවනා
ඒ සොඳුරු සීතේ
මා පතන ලෝකේ
කෙලෙස
මා සොයමිදෝ සඳවතේ


මේ නිල් ජලාසේ
කුසුමක් සොයන දෑසේ
මිදෙනා කඳුළු අතරේ
පතනා සැනසුමයි ඒ
පරමල් විලක
රොන් රස සොයා යන
මේ දිඟු ගමන නිම වෙනා
මධු රොන් පිරුණු
නුඹේ වත හමුවන
දින ගැන පැතුම් පීදෙනා
මේ අඳුරු යාමේ
මා සැමට රහසේ
ඇදෙමි
ඒ සිත් මලේ
රොන් සොයා


දහසක් කළු වලා අතර මෙතුවක්
හද පැතූ එලිය සැඟවෙනා
සුළඟක් අවැසි උව ඔබව දකිනට
සුළඟක් මවනු කෙලෙස මා



 


11 comments:

  1. ලස්සන කවි ටික....
    එන්න නං ආසයි කැළුම් අය්යෙ...
    ඒත් හවස හතරට ඒකත් බොරැල්ලෙ... හා කමක් නෑ කියමුකො... ඒත් ඇවිත් යන්න විදියක් නෑ නෙව...
    ඇත්තටම මම හරි ආසයි කවි වලට දකින්න ආසයි කවි එළි බහිනඋස්සවයක්... ඒත් එන්න නෑනෙ මට විදියක්..

    ඕන මට ගෙන්න ගන්න කවි පොතක් දෙකක් ඔහුගෙ...
    මේලක් දානවද මට හැටියක් කියල...
    ලිව්ව මෙන්න මම මගෙ ඊය...

    maheshrmx@gmail.com
    එවන්න පුලුවං නං ගොලුබෙල්ලගෙ පිටේ දමන්නං සල්ලි මං බැංකු කැටේ...

    ඔබේ මිතුරාගේ ව්‍යායාමය සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා

    ReplyDelete
    Replies
    1. පොත ගන්න ඇහැක් වෙන්නේ දෙවෙනිදායින් පස්සේ

      Delete
  2. awesome!!!!!! I specially like the "Vivahaya / Dikkasadaya". It's amazing how he could twist the meaning just by changing the topic!!!!!

    ReplyDelete
  3. Chandrika JayasingheSeptember 19, 2014 at 10:34 AM

    Dear kelum, Once upon a time I too believed that Nuwan should have gone to Arts faculty, but may be it is good that he came to do medicine. At a time we see lot of insensitive people becoming doctors, I think people who see through others, who feel for others, who are sensitive to others pain only should become doctors. I wish Nuwan and you both all the best!

    ReplyDelete
  4. මේ කවි ටික හරිම ලස්සනයි කැලුම් අයියෙ.
    පුදුම දක්ෂයො ඉන්නව අපේ දොස්තරලා අතරත්.
    අයියලගෙ ෆැකල්ටි එකේම ප්‍රසාද් වීරසිංහ මල්ලි තව එක්කෙනෙක්

    (අපේ ෆැකල්ටි එකේ නම් හැමෝම දක්ෂයිනෙ......)

    ReplyDelete
  5. අදයි මේක දැක්කේ...

    ඔන්න කවි! කියල වැඩක් නෑ....

    ReplyDelete
  6. ආඩම්බරයි අයියේ වෙන්න ලබුණු එක ඔබේ ජුන්නෙක්

    ReplyDelete
  7. ආඩම්බරයි අයියේ වෙන්න ලබුණු එක ඔබේ ජුන්නෙක්

    ReplyDelete