Friday, December 26, 2014

මට රැය විතරයි අයිති නොරිකො සං






හීතලට දත් එකට වදිනවා "කට කට ගාල " 
ඇඳලා ඉන්න ජැකට් එක හරහාත් සීතල එනවා වගේ.. 
හීතල වායුගෝලයට කටින් උණුසුම් සුසුම් පිඹ පිඹ ඇවිදගෙන යනවා ඉස්සරහට... 
තියන අඩියක් අඩියක් ගානේ පරිස්සමින් තිබ්බේ මම....ලිස්සුවොත්....
මේ දෙසැම්බරය.... 

Wednesday, December 17, 2014

නොබා සොඳුරිය අරිනු මැන දොර...............



සිහින් ඉකිබිඳුමක් ඇහෙනවා....
හිත ගැස්සෙනවා තමයි....
ඒත් ...මේ මගේ දෛවය ......
මහා රාවණා පරපුරේ තල්පතින් හැමදෙයක්ම ලැබුන තමයි...ඒත් .....කල කර්ම විපාක දෙන්නත් එපැයි .....
ඇතින් ඇහෙනවා ඝෝෂාව......මිනිස්සුන්ගේ කෑගැසීම්....හ්ම්...
තව දුරටත් මාලිගාවට වෙලා ඉන්නේ කොහොමද.....

Wednesday, December 10, 2014

රජවරු තව බයයි දස්කොන් කිවිදුන්ට......



ටික දවසක ඉඳල ලියන්න කියල හිතන් හිටියට වෙලාවක් තිබ්බේ නෑ. මම මගේ බ්ලොග් එකේ තනි පුද්ගලයින් වෙනුවෙන් දීර්ඝ ලිපි ලියල තියෙන්නේ තුනයි. අද ලියන්න යන්නෙත් කලින් ලියපු කෙනෙක් ගැනයි.....මේ නැවත වරක් මම ලියන්නේ ඔහු මගේ මිතුරෙක් නිසා නෙමෙයි....

Tuesday, November 25, 2014

මිරිවැඩි සඟලක සලකුණු.....

                                     (සේයාරුව: මගේ පුතා බිනුල සහ මගේ සෙරෙප්පු කුට්ටම)

ඒ අනූ අට අවුරුද්ද... 
මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ...
 ඉස්කෝලේ යනකොට කොච්චර කම්මැලි උනත් මේ කාලේ එක එක හේතු වලට අපි ඉස්කෝලේ ගියා... 
 ඔන්න ඔහොම යද්දී අපි හයදෙනෙකුට පොඩි චාන්ස් එකක් හම්බ උණා

Wednesday, November 5, 2014

තාත්තාට දුක හිතුණා..............



අනුරාධපුරේට නා කපන වැස්ස උදේ ඉඳන්..
යන්තන් තුරල්කෙරුව නමය විතර වෙද්දි ...
රතුපාට ත්‍රී වීලර් එකක් ගේට්ටුවෙන් ඇතුල් වෙලා ඇවිත් නැවැත්තුව

Saturday, October 25, 2014

විඳිමි දඬුවම් ......





හූ හඬක් ඇහුන...පොඩ්ඩක් විතර ගැස්සුනා....

එච්චරයි...අඟුරු කකා වතුර බිබී නෙමේනේ දැන් කොච්චි යන්නේ.... ජනේලේ ළඟ එහාපැත්තෙන් ඇය වාඩිවෙලා ඉන්නවා...ජනේලෙන් එපිට බලාගෙන.....

Monday, October 6, 2014

සුදු නෙළුම් මල දෑස පිය වී ...



ඉල් මාසේ ආකාසේ අඬනවා .....

විදුලි අකුණු ,මන්දාරමට උඩින්.... අවුරුද්දේ වැඩි කාලයක් ඉරිතැලිලා කරකුට්ටන් වෙලා තියන පොළව වැහි දියෙන් ඔද වැඩිලද නැත්නම් හෙම්බත් වෙලාද කියල මම දන්නේ නැහැ..... 
තැනින් තැන සිමෙන්ති ගැලවෙලා ගිහින් මැටි මතුවුන පන්තිකාමරේ දකුණු පැත්තේ කෙලවරේ ඇය ඉන්නවා ....
සුදු ඇඳුම පඬුපාට වෙලා හෝදලම ...... 

Saturday, October 4, 2014

ඔබේ හදින් මා දෙස බැලුවා.............



සුන්දර යුවතියක් පාර මාරු වෙනවා. රතු පාට ගවුමක් ඇඳලා හරියට රෝස මලක් වගේ...ඇගේ අතින් අල්ලාගෙන තරුණයෙක් පාර පැන්න .... ඔහු නම් එච්චර කඩවසම් තරුණයෙක් නෙමේ.....
අර මොකක්ද ඇගේ අතේ තියෙන්නේ....සුදු සැරයටියක්......හ්ම්........
එහෙනම් මේ තරුණිය අන්ධයි.......හ්ම්

Saturday, September 27, 2014

අපහාස ඇයට නැඟුනා...........



"අනේ ...... සීවරන් දෙයි හාමුදුරුවනේ......මගේ කෙල්ලට වෙච්චි දේ..... අනේ උඩ ඉන්න දෙය්යෝවත් බැලුවේ නැත්තේ ඇයි දෙය්යනේ.........."
හ්ම්..........
ඈතින් ඇහෙනවා විලාපයක්........... මවකගේ විලාපය.............
හ්ම්.......

Monday, September 22, 2014

මගෙ ඇදුම් ඔබෙ අතට ....................



ගිනි ගහන අව්වේ පාර අයිනෙන් නවත්තපු කොළ පාට පළාත් සභා මොඩල් පැජරෝ එකෙන් පිම්මට බිමට පැන්න ඔහු...
ඉස්සරහ වීදුරුවේ පොල් ගෙඩි අකුරින් ලියල තියනවා ප්‍රාදේශීය ලේකම් කියල. 
වෙඩින් එක ඉවර වෙලා දවස් තුනක් ගෙවිල ගියාට අහස උසට වැඩ රාජකාරි... 
ඒකයි මෙච්චර ඉක්මනටම ඔෆිස් යන්නේ. 

Friday, September 19, 2014

ප්‍රදීපාගාරයක හිඳ... සඳ එළියෙන් දිය සිඳි විල... දුටු ඔහු හිණිපෙත පාමුල... හමුවෙමු

ඒ දෙදාස් දෙක අවුරුද්ද....මම කැම්පස් එකට ගිය අවුරුද්ද...ඔව්....හන්තාන අඩවියට.....
මම කලිනුත් දවසක කිව්වා වගේ...මුල් දවස් වල හරිම බයෙන් තමයි කැන්ටිමට යන්නේ....ඇයි රැග් එක තියනවනේ....
මට මතක විදිහට අපි කැම්පස් ගිහින් දෙවෙනි දවස.....
ස්ථානය පේරාදෙණිය වෛද්‍ය පීඨයේ කැන්ටිම..... 
මම බයෙන් බයෙන් වාඩි වෙලා ඉන්නවා මේසෙක.....

Wednesday, September 10, 2014

සුමනෝ...උඹ ඇයි නැත්තේ..

මිහින්තලේ හංදිය පහුකරගෙන තිරිකුණාමලේ පාර දිගේ ගියා මම....
ටිකදුරක් යනකොට මහකනදරාව වැව.... පාර දෙපැත්තේම .... 
මගේ පපුවේ හීං වේදනාවක්.... 
මම වාහනය අයින් කරලා නැවැත්තුව. 
දකුණු පැත්තේ වැවට එපිටින් පන්සලක් පේනවා.....මම ඇස් දෙක පියා ගත්ත.... මම දශක කීපයක් අතීතයට ගියා......

Thursday, September 4, 2014

ස්ත්‍රීත්වය ගණිකා වුර්තියේ යෙදවීම...............

යුවතියක් නැග්ග බස් එකකට... 
බස් එකේ හිස් සීට් ගොඩක් තිබ්බ හින්ද වාඩි උනා ජනේලයක් අයිනෙනේ...ඇය ඉස්සරහ බැලුව....
රියදුරු අසුනට උඩින් බුදු හාමුදුරුවොයි, සීවලී හාමුදුරුවොයි, ගණ දෙයියොයි වැඩ ඉන්නවා. 
ආ ... මේ සරස්වතී දේවීන් වහන්සේත් වැඩ ඉන්නේ.... 

Tuesday, September 2, 2014

හන්තාන අඩවියේ පිය සටහන් - අවසන් කොටස "Heaven will be no heaven to me if I do not meet my wife there"




නහයත් චුරුස් බුරුස් ගානවා වැස්සට තෙමිලා...
ඒත් ඉතින් ඉරිදට පේරාදෙණි යන්න එපැයි ... 
තව හත් අට වතාවක් බෑ කියල අහගන්න තියනවනේ...
පුරුදු විදිහට හවස එකයි හතලිස් පහ වෙද්දී මම කුරුණෑගල මාර්කට් එක ගාවට ආවා . 
බස් වලට හරියට සෙනග....

Sunday, August 31, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 8 - "මටම හිමිවෙලා ...මා ළඟ ඉන්න සදා ...."



ගිණි ගහන මද්දහන...... දාඩිය මුගුරු කඩා හැලෙනවා.. 
ඇතුගල උඩ ඉඳන් ඉර ඔච්චම් කරනවා..
ඒ දවස් වල නුවර ඉන්ටර්සිටි බස් නැවැත්තුවේ කුරුණෑගල මාර්කට් එක ගාව..
මම වෙලාව බලනවා......තුන හමාරයි .....හවස.....
ඇය සාමාන්‍යයෙන් දෙක හමාරේ බස් එකේ යනවා, අද තාම නැහැ....

Friday, August 29, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 7 - "A part of me will always be with you"



වෙනද වගේ නෙමේ අද මම කතාව පටන් ගන්නේ පහුගීය කොටසේ අන්තිම හරියෙන්....ඒ ටික ආයෙමත් ලියන්නම් මෙහෙම......


......මම පේරාදෙණි පාලම උඩට වෙලා ඒ බොර වතුර දිහා බලාගෙන ඉන්නවා. පාලම පටු හින්ද පිටිපස්සෙන් යන වාහන නිකන් ඇඟ උඩින් යනවා වගේ දැනෙන්නේ.....මට හිතෙනවා මේ බොර වතුර මට අතවනනවා වගේ කියල.... හිත හොඳටම රිදෙනවා....මේ සිසිල් බොර දියේ පහස ලබන්න.....මගේ හිත බොළඳ උනා......
පාලම මගෙන් වේගෙන් ඈත් උනා... මම ඇස් දෙක තද කරලා පියා ගත්තා. බොර වතුර කඳේ සීතල මට දැනුන.......කවුදෝ කෑගහනවා හීනෙන් වගේ මතකයි........හ්ම්.....

Wednesday, August 27, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 6 - "අඳුරේ කලාගාරේ රැඟුමන් බලනු බෑ"

සරසවියේ තවත් දවසක්....
එහෙන් නවක වදය ..තවත් පැත්තකින් ඇය ....
ඒක නෙමේ ලොකුම ප්‍රශ්නේ ඇය තවමත් කියන්නේ "බෑ " කියල....හ්ම්....

Saturday, August 23, 2014

ආදර සුවඳක දූවිලි අතරින්...

ඉර පායනවා.... බැසයනවා .....ආයෙත් පායනවා.....
ත්......ඇය ......
ඇය කාමරේ දොර අගුළු දාගෙන
ඇය ළඟ තියන අළු පාටට හුරු ගමන් මල්ල අතට ගත්ත..... 
මේක කොච්ච‍ර ලස්සනද...
අළුපාට රෙද්දෙන් මහල රිදී පාට ගාන්චුවක් අල්ලපු ගමන් මල්ල...
ඒත් ...

Wednesday, August 20, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 5 - "කවුරුන්ද මල්වයසෙ මගෙ යහන ගිනිබත් කලේ.."

පහුගිය දවසක හන්තාන අඩවියේ පිය සටහන් 4 කොටසින් මම කිව්වා හා හා පුරා කියල ප්‍රේමය ප්‍රකාශ කරලා වෙච්ච වැඩේ....
හ්ම්
හීතල පේරාදෙණියේ උනත් හිත කරකුට්ටන් වෙලා ගියා ඉඩෝරෙට 
ඉරි තැලුණු වැව් පිටියක් වගේ....
ඒත් අර කවුදෝ කියල තිබ්බ try and try ....one day you can fly කියන එක මතක් කරලා දුන්න අපේ group එකේ හිටපු අමිලා .....
හ්ම් ...කොල්ල ඔන්න ඒ උපදෙස හොඳට හිතට ගත්ත....
දැන් ඉගිලෙන්නයි කල්පනාව.....

Monday, August 18, 2014

ලිංගික අසහනයට ලක් වූ මානසික රෝගීන් (පසුවදනක්)

මුලින්ම කියන්න ඕනැ ගොඩක් පින් මගේ සුව දුක් අහපු අයට. 
ගොඩක් දෙනෙක් අහපු හින්ද කියන්නම් මොකක්ද මට උන අනතුර කියල. 
මේක උනේ මගේ මිතුරෙකුගේ ගෙදරදී.. 
ඔහුගේ ගෙදර ඉන්නවා බල්ලෙක්.. ඌ නිකන්ම නිකන් වල් බල්ලෙක්..දඩාවතේ යනකොට කෑම දෙන්න පුරුදු වෙලා.. 

Sunday, August 17, 2014

අප්පච්චී......................

රජ මැති සබා මැද
පහන් සිල වී දිලෙන්නට..........
දිවි දුන් ගිණිකූර නුඹ
අප්පච්චී......................

Thursday, August 14, 2014

දෝණි ඔබටයි


සිසි වත උවන නෙත කැලුමන් සැලේයා
මුතු වන් දසන් හිනැහෙන සඳ දිලේයා
කෙහෙරැල සුලං වැද දඟ කර නටායා
හිනැහෙන දිගැස අවිහිංසක ලෙසේයා

ලිංගික අසහනයට ලක්වූ මානසික රෝගීන් .........



ලියන්න කියල ඉඳගත්ත....ටික දවසකින් ලිව්වෙත් නැහැනේ...ඒත්....
ටික දවසකට කලින් උන පුංචි අනතුරක් නිසා කඳුළු ගලන... පෙනීමත් ටිකක් විතර වෙනස් වෙච්ච වම් ඇහැ ..... දකුණු ඇහැට ඉඩ දෙන්නෙම නැහැ ලියන්න....

මොනවා උනත් බ්ලොග් එක පාලුවට තියන්න බැහැනේ.....මොනවා උනත් පහුගිය දවසක වුනු එක සිද්දියක් ගැන ලියල මේ සින්දුව ගැන කියන්නයි හිටියේ....

Friday, August 8, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 4........;"ඒ සිහින කුමරි ඔබ නම්"



හීං වැහි පොදක් වැටෙනව...
පේරාදෙණියට 
හැමදාම වැටෙනවා නොවැ ඔහොම වැසි...
ගලහ හන්දියෙන් කැම්පස් එක ඇතුලට යන ගලහ පාර දිගේ ගස් වල කහමල් නම් පිපිලා නැහැ...
ඒත් මෙහාට හැමදාමත් වසන්තය ඇති වග පෙන්නන්න වගේ ටැබුබියා ගස් රෝසපාට පොරෝගෙන...

Monday, August 4, 2014

මගේ දූ තනියම හිනාවෙයි....



වෙලාව හරියටම රෑ දොළහයි....රජරට සේවෙත් නැවතිලා.....සෝ ගාන සද්දේ විතරයි

නිදි දෙව් දුව අහලකවත් නැහැ.....

නිදාගෙන ඉන්න පුංචි පුතාලට ඇහැරෙන්නේ නැති වෙන්න හිමින් සැරේ බැස්ස ඇඳෙන් බිමට මම...... 
ඉස්සරහ දොර ඇරගෙන එලියට බැස්ස...... 

Thursday, July 31, 2014

මට ලියාගන්න බෑ ....



අද ලියන්න පටන් ගත්තට කොතනින් පටන් ගෙන කොතනින් ඉවර කරන්නද කියල හිතා ගන්න බැහැ ..... 
මම මගේ පුංචි කාලෙන්ම පටන් ගන්නම්. ඔන්න එතකොට මට වයස අවුරුදු හයක් හතක් විතර ඇති..
සති අන්තෙට ඉස්කෝලෙත් නැති හින්ද ටිකක් දවල් වෙනකම් නිදාගන්නවා....
එත් ඉරිදා උදේ හතට මට කාමරේට ඇහෙනවා ටීවී එකේ සද්දේ....මෙන්න මේ තේමා ගීතය යනවා....

"සියලු දනහට වාසනාවන්....ආයුබෝවන්...ආයුබෝවන්....."


Monday, July 28, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 3........;"ඇයට බාර දෙනවාමයි මගෙ තනිය..."

කැම්පස් කතා දෙකක් මම කලින් ලිව්වා....මතක ඇති ඔබට....ඉතින් අදත් මේ ලියන්නේ ඒකෙ කොටසක්...., මේ කියන දේවල් ගොඩක් මගේ පුද්ගලික අත්දැකීම් තමයි..... ඒත් ඒවා නැතුව වෙන මොනවා ලියන්නද..... කාලෙකින් තමයි මේ ලියන්නේ.... වැඩ වැඩියි මේ දවස් වල.......

Friday, July 25, 2014

මාර්ග අංක හතර......


දවසේ වැඩ කටයුතු හමාර කරල රෝහල් ගේට්ටුවෙන් එලියට ආව . වෙලාව රෑ අටයි......වාහනේ ගෙදර තියන පැත්තට හරවන්නේ නැතුව අනිත් පැත්තට හැරෙව්වා.
සුපර් මාකට් එක පැත්තට...."ගෙදර යන ගමන් " බඩු ගොඩක් තියනවා අරන් යන්න......
කොහොමින් කොහොමින් හරි බඩුත් අරන් ගෙදර යන්න පිටත් උනා ..... වේගෙන් ආපු බස් එකක් මාව පහුකරන් ගියා .....දැකල පුරුදුයි වගේ බස් එක......

Tuesday, July 22, 2014

ඒ සෙනෙහස යළි ඉල්ලා හඬන්නම්...


කර්කශ බව විතරයි හැමතැනම....හම පිච්චෙනවා වගේ ඉරේ රස්නෙට......
ඉර ගැන ගානක් නෑ ඇයට .......ඉර පෑව්වත් නැතත් ....... හඳ අහසට ආවත් නැතත්....කමක් නැහැ ඇයට .......
ඇගේ ලොවේ සඳ බැස යන්න.....තව මොහොතයි.......
සිව් වසරක අතීතය....ඔබයි මමයි සෙනෙහසින් සිටි අතීතය..............

Saturday, July 19, 2014

කුමටද ඔබ දුන් කවිකම

හීං වැහි කෝඩයක් ඇදන් වැටුන....මහ වැස්සක් නෙමේ ....නිලි වැස්සක්.....අව් කාස්ටකේට ඉරිතැලිලා ගිය හිත ගාව.... නැත්තම් කොහෙද වැහි මේ වන්නිකරේ.... හ්ම්
මිදුලේ කොනක හීං බූටියා පඳුරක උදේ පිපිච්ච මලක් අව්වට කරකුට්ටන් වෙලා තිබුන....මම ඇස් දෙක පියා ගන්නවා.....

Sunday, July 13, 2014

මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

ගීත කියන්නේ මහා පුදුම දේවල්...
මෙහෙම කියන්නේ මම නෙමේ "රෑ ඉරපානේ " බන්දුල නානායක්කාරවසම්....
.ඒක කොච්චරක් ඇත්තද....ගීතයක් අහනකොට මටත් දැන් නිතරම මතක් වෙනවා..... ඒක ......

සමහර ගීතවලට සවන් යොමාගෙන ඉන්නකොට කෙනෙකුට මැවිලා පෙනෙන දේ නෙමෙයි...වෙනත් කෙනෙකුට පෙනෙන්නේ....

මේ ගීතයත් එහෙම තමයි.....

Thursday, July 10, 2014

කාට මේ ගැන කියන්නෙම්.................... මම



මොනවත් ලියන්න හිත දෙන්නෙම නැහැ. 
ලෝකයම හිස් වෙලා වගේ.... 
කවුරු හරි මගේ අතපය හතර කපල පාරක් අයිනේ දමල ගිහිල්ල වගේ....
කිමද මේ අරුමේ.......

Wednesday, July 9, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 2........; නිසසල හදවත සසලව කැළඹෙයි

ඔබට මතක ඇති....පහුගිය දවසක..හරියටම කියනවනම් ජුලි දෙක.....

මම පොස්ට් එකෙන් කිව්වා මම කැම්පස් ගිය හැටි....

හ්ම්...

අන්න ඒ විදිහට හරි සන්තෝසෙන් ගෙවුන පළමු වෙනි දවස......

Saturday, July 5, 2014

මලේ.............................

පුංචි පුතාල දෙන්න එකම ඇඳේ නිදි....
පුංචි පුතා අයියගේ අතිනුත් අල්ලාගෙන...මොනවා තේරෙනවටද ....තාම අවුරුද්දක්වත් නැහැ නොවැ .

සිත් සේ විඳින්න නාලිනී එන්න.....

මා රැගත් වාහනය හැල්මේ දුවනවා තන්තිරිමලේ පාර දිගේ....මීට අවුරුදු දෙක තුනකට කලින් හිටිවනම ආපු සංවර්ධනය නිසා පාරවල් නම් කාපට් තමයි....නමුත් මිනිස්සුන්ගේ ජීවිත වලගොඩැලි පිරුන...ගල් මතු වෙච්ච පාරක් වගේ.....
පාර අයිනේ තිබුන වැව හිඳිලා ගිහින් කොටු කොටු රටා මැවිලා....

Wednesday, July 2, 2014

හන්තාන අඩවියේ පිය සටහන්.......



වයස අවුරුදු දහයක විතර කොලු පැන්චෙක් තාත්තගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා කතන්දර අහනවා..තාත්ත මෙහෙම කතන්දර කියල දෙන්නේ ලයිට් ගිය වෙලාවට(විදුලි බලය ඇනහිටපු වෙලාවට) . අම්මත් පැත්තකට වෙලා හිනා වෙවී අහන් ඉන්නවා.. හැබැයි තාත්ත කියල දුන්නු කතන්දර වෙනස්... තාත්ත කියල දුන්නේ තාත්තයි අම්මයි පේරාදෙනියෙ කැම්පස් එකේ හිටපු කාලේ කතා..

Tuesday, July 1, 2014

කඳවුර ළඟ දූවිලි සුළඟේවත්.....................

රත් වෙච්ච හුළඟත් එක්ක දුවිල්ල කැරකි කැරකි එනවා....
වැලි කාගෙන ඇස් දෙක ඇරන් ඉන්න හැදුවත් දූවිලි හුළඟ මට ජයගන්න දෙන්නෙම නෑ .
 මම ඇස් දෙක පියගන්නවා..... 
ඒත් සුළඟ ජය අරන් ...... කෙවෙන ඇස්දෙක මට කියන්නේ මම පැරදුන කියල........

Sunday, June 29, 2014

ආල වඩන යන තේරුම බෝසත් කම සකි................

කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා. හිතවතුන් හිතවතියන් මතක් කරලා දුන්න ගීත නම් ගොඩයි. ඒත් මේ වැඩත් එක්ක කොහෙන්ද වෙලාවක්. හ්ම්
මේ කියන්න යන කතාව ටිකක් විතර පරණයි.....නමුත් මේක කවදාවත් පරණ නොවන .....සදාකාලික සිතුවිල්ලක්.......
දිනය නමසිය හැත්තෑ හයේ අගෝස්තු විසි හය.., 

ඩබ්.ඒ.බී. ද සිල්වා ගේ අදියුරුවමින් ඔපවුණු බයිස්කෝප් එකක් හෝල් වල දුවන්න ගත්ත.

Tuesday, June 24, 2014

අදයි පුතේ ඔබෙ උපන්දිනේ................



මීට අවුරුදු 2කට ඉස්සර ජුනි මාසේ 22දා......සුපුරුදු විදිහට මම හිටියේ මන්නාරමේ.....
මගේ ආදරණීය බිරිඳ අපේ කුලුදුල් දරු පැටියා කුසේ දරාගෙන දුක් වින්ද අනුරාධපුරේ තනියම.......සාමාන්‍යයෙන් තනියට ඇගේ නංගි ඇවිත් ඉන්නවා.....
කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න එදා නංගි හිටියෙත් නැහැ.....

Friday, June 20, 2014

තල් අරඹට නිළි වැස්සක් ......................................

පුර සඳක් වෙන්න මට දීපාවලී අහස යට
මද නලක් වෙලා එක්වන්නට ඔබගේ සුසුමට
ගීතයක් වෙලා සසර තනුව වයන්න හිටි මට
හීනයක් වගේ සුවඳ පිරුනු යන්න ගියා ඔබ.....

Thursday, June 19, 2014

අතඟිලි වැදුනම බැරිවෙයි මුදු පළඳවන්න....

අහසේ කළු ගැහිච්ච වලාකුළු කැරලි ගැහිලා...වැහි බීරිම හාත්පස කළු කරලා....
කොහොමත් මේ රාත්‍රිය කරුවලයි තමයි...ඒත් පෝය ගෙවිල එක දවසයි .....තවම......
හඳ සැරින් සැරේ කළු වලාකුලක් යට හැංගෙනවා ...... හරියට කෙලින් මූණ බලල කතා කරගන්න බැරි මට වගේ.....

Wednesday, June 18, 2014

නුඹට සාප කරනු බැරී.........................



මන්නාරමින් ඇවිත් දැන් මාස දෙකක් විතර වෙනවා....හරියටම.. ආයෙත් මන්නාරමට පය තිබ්බ.... ඉතිරි වෙලා තිබබ ලියකියවිලි වැඩ වගයක් ඉවරයක් කරන්න.....
ඉස්සර පුරුදු වෙලා තිබ්බ විදිහට...දැන් ටික ටික නුපුරුදු වීගෙන එන විදිහට මගේ වාහනය වේලි මඟ දිගේ ඇවිත් මන්නාරම් දූපතට ඇතුල් උනා ......

Sunday, June 15, 2014

වෙනකෙකු සමඟ අත් අල්ලා යුවති එම............ යනවා දුටිමි ඉවරයි මගෙ පළමු පෙම...........

මේ දෙදාස් එක අවුරුද්ද....සෙකන්ඩ් ෂයි එකෙන් උසස්පෙළ කරන්න රිවිෂන් යන කාලේ...මම...
මගෙත් එක්ක සහුර්දයෝ කීප දෙනෙක් හිටිය....අපි කට්ටිය ඔන්න යනව ටියුෂන්..කෙමිස්ට්‍රි...පිසික්ස්...බයෝ.... මමත් ඉස්සර අටට පටන් ගන්න පන්තියට හය හමාර වෙද්දී යනවා....

Thursday, June 12, 2014

ඒ වැව් ඉවුරේ දිනෙක රැයේ ......................

පුරහඳ එලිය වැටිලා තිසා වැවට....වැව පැත්තෙන් එන්නේ හරිම සිසිල් සුළඟක්.....වෙලාව රෑ නමය පහුවුනා විතරයි......මම ඈත බලනවා.....කිරි පාටට බබලන රුවන්වැලි සැයේත් ...

Tuesday, June 10, 2014

ඔබ ගඟක් වගෙයි.............



මේ දවස් වල අනෝරා වැස්ස...හෙන ගෙඩි පුපුරනවා කණ ලඟින් වගේ...පුංචි කඳුළු බිංදු වගේ අහසෙන් වැටිච්ච වැහි බින්දු ගලාගෙන යනවා.... පහත් තැන් හොය හොයා... ආකසෙට වඩා හයියෙන් හෙණ පුපුරනවා..... පුංචි හිතක් ළඟ....

Sunday, June 8, 2014

සංවේගයෙන් දැනුම්දීමයි.............



මිතුරෙක් කතා කලා ...... ඔහු මගෙන් අහනවා....දැන් හුඟක් අය සින්දු වලට තේරුම් ලියනවා නේද කියල.....
ඉතින් හොඳයිනේ.....මම කිව්වා.....

ඒ කියන්නේ සිංහල සුහාවිත ගීත රසවිඳින අය ගොඩක් ඉන්නවා....සතුටුයි....ඇත්තටම.....

Saturday, June 7, 2014

ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා....

ඉර බටු තරුව විතරක් නිරුවත් ආකහේ අතරමං වෙලා ...අහස මල පාලුයි. වෙන එකතරුවක් වත් නැහැ .අද හඳ එකක් නැහැ....අද විතරක් නෙමේ ...............හ්ම්............

අප්පා නැති අපට.....................

පියෙක් විසින් නිල්වලා ගඟට විසිකල දරු පැටවුන් හමුදා සෙබලුන් සිව් දෙනෙක් බේරා ගනී -පුවතක්-

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
නංගියි මමයි මහ වතුරට ආ සැටියා
දැක දැක නොදැක්කා වාගේ ඌ සිටියා

වාංග ......උක්කාරුංග.......

ජීවිතයේ අත්දැකීම් එක්ක අපි කොච්චර දේවල් ඉගෙනගන්නවද..... සමාජයේ ගැටෙද්දී අපිට කොච්චර නම් දෙවල ඉගෙන ගන්න පුලුවන්ද.... ජීවිතයේ අවුරුදු දෙකක් උතුරු පළාතේ....සිංහල වචනයක්වත් ඇහෙන්නේ නැති පැත්තක ගෙවපු මට කොච්චර නම් දේවල් අලුතින් ඉගෙනගන්න ලැබුනද...

මල් පවන මට තාම මතකයි........




මේ පොස්ට් කරලා තියන ෆොටෝ එක ගත්තේ පහුගිය සිංහල අවුරුද්දට ගමේ ගිය වෙලාවේ.....මේ පින්තුරේ ඉන්නේ මගේ පුංචි ලොකු පුතා..... බිනුල
එයාගේ අතේ තියනවා සෙල්ලම් බඩු, එතන හිටගෙන ඉන්නවා මගේ තාත්තා....පුංචි බිනුලගේ කිරි අත්තා....

ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්............ හිතට තුරුළු වෙනවා................

මම මනසින් අතීතයට යනවා. අවුරුදු පහ හයකට, එහෙම නැත්නම් මගේ පුංචි කාලයට මීට කලින් මම ලියල තියනවා වගේ......
නැහැ.......
මම අවුරුදු දහස් ගණනක් අතීතයට යනවා.......
බුදු හාමුදුරුවෝ උපදින්නත් ඉස්සර කාලයට.....
මේ කුරුරට ඉඳිපත් නුවරට.....

වසන්තය ගැන සිතන්නට නම්................

හරිම ගිරිස්මයක් තියෙන්නේ මේ දවස්වල.....අනුරාධපුරේට උඩින් එක එල්ලේ ඉර.....
ඉරට හැතප්මයි.. දවල්නම් බැරි යැ . රෑටත් එහෙමයි.... කමිසයකුත් නැතුව මහ රෑ දොර ඇරගෙන එලියට බැස්ස. ගෙට එහා පැත්තේ තියන වැව පැත්තෙන් සීතල හුළඟක් එනවා තමයි....එත් වෙනදා වගේ හෝ ගාල අද හුළඟ නෑ .

Friday, June 6, 2014

සුවඳ සුදු සියපත්..................................

මොර සූරන වැස්සක් කඩන් වැටුනා ... මහා හයියෙන් හෙන ගෙඩිත් එක්ක.... අනුරාධපුර අහස හඬා වැටෙනවා.....මන්නාරමේ නම් කොහෙද මෙහෙම වැස්සක් ...
අකුණු සද්දෙට හිත ගස්සුනත් මම තදින් ඇස් දෙක පියාන්ගත්තා...

ජාතක පුතු වෙයන්

නිමිත්ත: වැන්දඹු මවක් දරුවෙකු බිහිකර සමාජීය ප්‍රශ්න නිසා හඬමින් ළමා නිවාසයකට බාරදෙයි

ඇය මුදු මලකි ගසකින් ගිලිහී වැටුන
කඩා හැලුන තරුවකි අහසින් සැනින
ජාතක පුතුන් රකිමින් රළු වැහි තුහින
කල් ගෙව්වාය හිතයට හිමි නැති සොවින

අපි ඒ පුතුන්..........



මීට කලින් පොස්ට් එකේ මම ලිව්වා මේ මගේ අවසන් කවියයි කියල.....දැන් ආයෙමත් ලියන්න අරගෙන.....මොන බොරු කාරයෙක්ද මේ....ඔබ හිතනවා ඇති....වරදක් නැහැ එහෙම හිතුවට.....මම ඔබට කිව්වනේ මම facebook එකේ ලියන අන්තිම පොස්ට් එක කියල ඉස්සෙල්ල ලිව්වේ.....
හැබැයි මම කිව්වේ ඇත්ත.....

නුඹ නැතිදා මට සතුටක් කොයින්දෝ

මන්නාරමට එනකොට හොඳටම හවස් වෙලා....ගිනි බෝලයක් වගේ ඉර මුහුදේ ගිලෙමින් උන්නේ.....දවල්ට හරිම චණ්ඩිකමින් කැලුම් විහිදුවන.....ඉර හරිම තැන්පත් කමකින් මුහුදේ ගිලෙන හැටි.....ඔහු ඉරයි ඇය මුහුදයි.......

පොඩි උන්ගේ අවුරුදු

නිමිත්ත: ෆුඩ් සිටි එක ළඟ සිගන්නියක් දෙහැවිරිදි පමණ දරුවෙක් සමඟ සිගාකයි

පරසිඳු සුපිරි සල අසබඩ අනුරපුරේ
අවුරුදු ගන්න ජනයා පොරකන අතරේ
සිඟමන් යදින මව හා නිරුදක කතරේ
පුංචිම පුංචි පියුමක් රැඳී නෙත් අතරේ....

රත්තියි.... පැටියයි......

දැන් පොස්ට් ලියන එක ඇරෙන්න වෙන වැඩක් නෑ . හිටි ගමන් සමීරයා කතා කරලා මොකක් හරි ගීතයක් කියල ඒකට කතාවක් ලියන්නලු. එහෙම නැත්නම් කාන්චනා නංගි කතාකරල මොකක් හරි සිංදුවකට කතාවක් ලියන්නලු. ඒත් නැත්නම් තවත් කව්රු හරි කතා කරනවා......දෙය්යනේ ආගිය කතා කියල කොච්චරක් නම් ලියන්නද...
මම මට ඕනැ ගීතයකට ලියනවා.... හඃ ,

තව ළඳකට මේ හිත පුද දෙන්න..............අවසරයි

අකුණක් පිපුරුව..
ආකහේ නෙමේ හිත අද්දර.
මන්නාරම් අහසේ කොහෙන්ද අකුණු.
වෙනදට මම ගීතවලට ආගිය කතා ලිව්වට අද ඊට වඩා වෙනස් දෙයක්. අද එක්තරා කතාවකට ගීත. 

Thursday, June 5, 2014

මරණ බයක් නෑ අම්මා සිහි වෙයි .........................................

පුරුදු විදිහට ලැප් ටොප් එක ඉස්සරහ වාඩි උනේ සින්දුවක් අහන්න...මොනවත් කුරුටු ගාන්න හිත දෙන්නෙම නෑ . මෙන්න Sameera දිල්හාන් on line .........

උඹ "..බුදුහාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ.." හිතට දැනෙන විදියට අහල බැලුවද?

ඈතින් හිඳිමි මා පන නල ඔබගේය....................



මොනවහරි කුරුටුගාන්න කියල හිත හිත උන්නේ ටික දවසක ඉඳං. කෝ ඒකට වෙලාවක්. මම මෙතන කුරුටු ගාන දේවල් ගැන Sameera දිල්හාන් දුන්න අවවාදත් එක්කම ටික දවසක් කුරුටු ගාන්නේ නැහැ කියල හිතන් උන්නේ... ඒත් අද හවස අහම්බෙන් වගේ ඇහුන මේ ගීතය මගේ ස්වයං වාරණය යටපත් කරගෙන මාව ලැප්ටොප් එක ඉස්සරහ ඉන්දෙව්වා........

ඉතින් කෝවලන්

දුවිලි සුළඟ ඇවිත් ඇස්දෙක පිරෙනවා.. කෙවෙන නෙත් කෙවෙනි පිසදාගෙන මම ඉස්සරහ තියන බෝඩ් එක දිහා බැලුවා . පේසාලේ ....... මා රැගත් වාහනය පේසාලේ හන්දිය පහු කරන් මන්නාරම නගරය දිහාට හැල්මේ එනවා. මම ඇස්දෙක පියාගත්තා .

පිදුරු සෙවිකල පැල්පතේ



පිදුරු සෙවිකල පැල්පතේ ඇති..සාමෙ නැත මහ මන්දිරේ..... //

ටිකිරි හසරැලි බොලඳ සතිවිලි...

පුංචි පුතා අසනීපෙන්.............



එකම පුතා අසනීපෙන්
ඈත දුරක සුසුම් ගොඩයි
කොහොමද මං ලඟට එන්නේ
අප්පච්චී දුර ඈතයි.......

ඉස්සෝ වඩේ ...............ඉස්සෝ වඩේ ......................



අලුත්ම බ්ලොග් එකක ඉස්සරලම ලියන්නේ මොනවද...හිතාගන්න බැහැ ....උණු උණු කැවුම් වගේ.......නෑ ...නෑ ...උණු ..උණු වඩේ


වඩේ කතාව මෙහෙමයි...මම facebok එකේ එක එක දිග පොස්ට් ලියන්නේ කාලෙක ඉඳල.