Monday, October 6, 2014

සුදු නෙළුම් මල දෑස පිය වී ...



ඉල් මාසේ ආකාසේ අඬනවා .....

විදුලි අකුණු ,මන්දාරමට උඩින්.... අවුරුද්දේ වැඩි කාලයක් ඉරිතැලිලා කරකුට්ටන් වෙලා තියන පොළව වැහි දියෙන් ඔද වැඩිලද නැත්නම් හෙම්බත් වෙලාද කියල මම දන්නේ නැහැ..... 
තැනින් තැන සිමෙන්ති ගැලවෙලා ගිහින් මැටි මතුවුන පන්තිකාමරේ දකුණු පැත්තේ කෙලවරේ ඇය ඉන්නවා ....
සුදු ඇඳුම පඬුපාට වෙලා හෝදලම ...... 
ඊට වඩා සුදට කරඹ මල් යායක් පිපෙනවා ඇගේ මුවේ.... 
ඇය හතේ පන්තියේ පුංචි දැරිවියක්...
හරිම අහිංසක හිනාවක් තිබ්බේ.......
කොච්චර දුප්පත්කම හිරිහැර කලත් පන්තියේ පළවෙනියා ඇය .....

හතේ පන්තියේ විද්‍යා ගුරුවරයා උනාට ලැබ් එකක් නැති මේ ඉස්කෝලේ මොනවා උගන්නන්නද මම......
කලින් උන්නු ඉස්කෝලේ නම් තිබ්බ....ඒත් මේ අසරණ දරුවන්ගේ ඔක්කම්පිටිය ඉස්කෝලේ ඕනෑ විද්‍යාවක් උගන්නන්න තියෙන්නේ චිමිනි දැලි කෙහෙල් මුවයකින් උලලා මේ දරුවොම කළු කරගත්ත කළු ලෑල්ල යි... ආණ්ඩුවෙන් මදි නොකියන්න දෙන සුදු පාට හුණු කූරුයි විතරයි..
හ්ම්......

එදා වෙනදට වඩා වැස්ස.... 
චුරු චුරු ගාල උදේ ඉඳන්...... පෝය ලබන්න තව දවස් දෙකයි....පන්තියේ ඉස්සරහ තියන ගුරු පුටුව උඩ වාඩිවෙලා ඉස්සරහ බලන මට පෙන්නේ මම අරන් ආපු දිනපොත...." ඇමතුම් දිනපොත 1982 " කියල ගුරු පාට අකුරින් ලියල තිබ්බ....

"සුගත්....කෝ අතන වෙනද ඉන්න සමන්මලී....." මම අහනවා....

" සර්...සමන්මලී...........................................................................................................................................................................................................................;


මම පියවි ලෝකෙට ආව....කවුදෝ මට පිටිපස්සෙන් ඇවිත් කතා කරන සද්දෙට.....

"සර් මේ සමන් මලීගේ තාත්ත......" ඒ ග්‍රාම සේවක මහත්තය....


මම ඇස් දෙක දිහා බැලුව...තාත්තගේ....කඳුළක් නම් තිබ්බේ නැහැ..... ඒත් මහා හිස් බැල්මක් තිබ්බ ඒ ඇස් වල.....


" මහත්තයෝ...කෙලී ඉස්කෝලේ අහවර වෙලා ඇවිල්ල වැවේ මල් කඩන්න යනවා....හුඟක් දවස් වල...ඒවා දෙමටමල් පන්සල ළඟ විකුණලා තමයි පොත් පත් ගන්නේ....ඉස්කෝලේ යන්න....මම ලෙඩා දුකා නෙව....කීයක් හරි ඉතුරු කරලා ගෙදර ඕනෑ එපාකම් වලටත් දෙනවා....." 

මම කලින් වැඩ කරපු ටවුමේ ඉස්කෝලේ ගේට්ටුව ගාවින් ආයම්මල එක්ක ඇවිත් බහින බේබිල මතක් උනා මට......හ්ම්......

" තව දෙදොහකින් පෝය ලබනවා නොවැ ....එදාට වැඩි පුර විකුණා ගන්ට කියල මල් කඩන්ට ඔය ඊයේ හවස වැවට ගියේ..... අලුත් සුදු ගවුමක් මහගන්ට ඕනෑ කියනවා මං අහගෙන දෙතුන් දොහක ඉඳන්....තිබිච්ච ගවුම දියවෙලා තවත් අන්ඩ දාන්ඩ බෑ ......." 

මම අහස දිහා බැලුව....තාම හිරිකඩ ගහනවා.....මහ වැස්සක් නැති උනත්....ඈතින් පෙනෙන වැව මහා මූසල විදිහට බලන් ඉන්නවා....

" ඊයේ හවස ආරංචිය ආව මේ දරුවා ආගිය අතක් නැහැ කියල... මම ගමේ කට්ටියත් එක්ක හැමතැනම හෙව්වා හම්බ උනේ නෑ ......"ඒ ග්‍රාම සේවක මහත්තයගේ කටහඬ....

" එගොඩහ සිරියාවතී තමා දැකල තියෙන්නේ අද  
පාන්දර පට්ටියෙන්  කිරි දොවාගෙන එන ගමන් බෝනික්කෙක් වගේ ගොඩ ගහල තියනවා.... කිරි මුට්ටියත් එතනම අතැරලා දුවගෙන ආව ඒකි කෑගහගෙන......"

" මගේ කෙලී ගිය ඔරුව පෙරලිලා ඊයේ....වැවේ ජඹුර හරියේ.....මහත්තයෝ......"

ඒ තාත්තගේ කටහඬ.....

හ්ම්.....

ගමේ අය එකතු වෙලා හදපු මිනීපෙට්ටිය තියන්න තැනක් නෑ .... 
ගමේ ඈයෝම එක්කහු වෙලා යාලත්තක් බාල දීල තිබ්බ.....
ඇය ඉස්කෝලේ අඳින අන්ඩ දාපු සුදු ගවුමම ඇඳන් හිටිය..... 
පාන් දෙකක එලි මැද්දේ...ඒ පාන් දෙකත් නිමනවා විඩෙන් විඩේ හිරිකඩ ඇවිත්.....
හත් අට දෙනෙක් හිටිය මල ගෙදර....ඒත් ඒ ඇත්තන්ගේ ඇස්වලට කඳුළු උනල නැද්ද එහෙමත් නැත්නම් කඳුළු වේලිලාද කියල මම දන්නේ නැහැ...
හ්ම්.....


මේ කතාව කියන්නේ මම නෙමේ.... අද ගේය පද රචක.....රත්න ශ්‍රී විජේසිංහ.... එදා ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ විද්‍යා ගණිත ගුරු රත්න ශ්‍රී විජේසිංහ....විසිපස් හැවිරිදි තරුණ ගුරුවරයා.....
ස්ථාන නාම විතරක් වෙනස් කරලා ලියනවා ඔහු මෙහෙම.....
ඊට කාලෙකට පස්සේ  ටවර් රඟහලේදී  මේක ගයනවා පණ්ඩිත් අමරදේවයන්....එදානම් එතන හිටපු හැමෝගෙම ඇසට කඳුලක් උනනවා....ඔබත් අහල බලන්න...ඔබේ ඇසුත් තෙත්වෙනවද කියල.....



සුදු නෙළුම කෝ ... 
සොරබොර වැවේ ...
මල් සුවඳ දුන් මහියංගනේ ...
පුන් පෝයදා පාළොස්වකේ ...
මල් නෙළා විකුණූ පංසලේ ...

වැවට කළුවර යා වුණා ...
සංසාර දුක බෝ වුණා ...
නෙලූ මල් මිට ඉහිරුණා ...
එහා ඉවුරට පා වුණා ...

සිහින් සිරි පොඳ වෑහුණා ...
ඉවුරැ දෙකොපුළ සේදුණා ...
සුදු නෙළුම් මල දෑස පිය වී ...
මෙහා ඉවුරට පා වුණා ...


3 comments:

  1. ලස්සනට ලියලා තියෙනවා,මරනය ගැන ලියනව වැඩිද මන්ද !

    ReplyDelete
  2. දක්ෂ ගේය පද රචකයෙක් තම අත්දැකීම් මතින් ලියන දේ පරිකල්පනයත් එහා.. ජය

    ReplyDelete
  3. ලිවීම නම් හරිම අගෙයි.....

    මේ ගැනම මනෝෂ් සදුමල් හී ලියා තියෙනවා දැක්කා.... මට හරියට ම ලිපිය ම හොයා ගන්න බැරිවුණා...

    ඒත් ලින්කුව මේක

    http://masandumal.blogspot.com/

    ReplyDelete