Wednesday, November 5, 2014

තාත්තාට දුක හිතුණා..............



අනුරාධපුරේට නා කපන වැස්ස උදේ ඉඳන්..
යන්තන් තුරල්කෙරුව නමය විතර වෙද්දි ...
රතුපාට ත්‍රී වීලර් එකක් ගේට්ටුවෙන් ඇතුල් වෙලා ඇවිත් නැවැත්තුව මිදුලේ... 
මාස හයක පුංචි බිලිඳියක් වඩාගෙන අම්ම කෙනෙක් බැස්ස බිමට....
තව ආච්චියි සීයයි දෙන්නත් හිටිය පුංචි පැටියාගේ..... 
කලින් දන්වල තිබුන නිසා මම දන්නවා මොකටද ආවේ කියල.... 
මම ග්ලවුස් දෙකක් අතට දාගත්ත.... 
සීය ඇවිත් රන්වන් පාටින් ජුවලරි ෂොප් එකක නම ගහපු රතුපාට පුංචි පෙට්ටියක් මගේ අතේ තිබ්බ....

"කීයටද නැකත..." මම අහනවා.

" නමයයි තිස් හයට"

"තව වෙලාව තියනවා නේ....."

මම අර කිව්ව පෙට්ටිය ඇරලා බැලුව....පුංචි බෝල කරාඹු දෙකක්......

ඉස්සර වගේ නෙමේනේ දැන්....මම හිරිවට්ටන ආලේපනය පුංචි බබාගේ රෝස පාට කන්පෙති වල ගෑවා .....කෙල්ල සැපට නිඳි .....

"ඩොක්ටර්.....දැන් වෙලාව හරි...." ආච්චි අම්මගේ කටහඬ.....

මම ගත්ත තියුණු කටුවක්......
ඒ රෝස පාට කන් පෙත්තක් සිදුරු කළා..... 
පුංචිම පුංචි රතු ලේ බින්දුවක් ඇවිත් තිබ්බ.... 
බබාගේ අම්ම අඬනවා බබාට වැඩිය..... 
දැන් කොහොමද අනිත් කණ විදින්නේ..... 

අම්මට යන්න කිව්වා එලියට.....ආච්චි වඩා ගත්ත බබාව.....

"බබාගේ තාත්ත ආවේ නැත්තෙත් ඕකයි....කන් සිදුරු කරනවා බලන් ඉන්න බෑ කියල කිව්වා.... "

පුංචි බෝල කරාඹු දෙක කන් පෙති වල දිලිසුනා.......

මගේ අතින් මම කන් කීයක් විදලා ඇද්ද...මට හීන් දුකක් එක්ක සතුටක් දැනුනා..

කරාඹු දාල හැඩ බලන්න මට දුවෙක් නෑනේ.....ඒත් හිටියනම් කන් විදින්න වෙනවනේ.....

දුවල ඉන්න තාත්තලාගේ මේ කතාව....දුවක් නැති මේ තාත්තගේ හිතේ හීන් වේදනාවක් ගෙනාව.......

මේ කතාව ප්‍රේමකීර්ති ද අල්විස් ලිව්වා තමන්ගේ දුවට....සුරංගීට....

තනුව දාල ගායනා කරන්නේ නන්දාමාලනිය ..........

ඉක්මනට මේ සටහන හමාර කරන්නම්.....මොකද පුංචි පුතා මගේ ඔඩොක්කුවේ නිදි.....




සුරංගීට දුක හිතුනා යටි තොල කනපිට හැරුණා...
මුහුණ රෝස පාටින් පිරුණා කඳුළු පේලියක් වැටුණා..

වැස්සක් අහසින් වැටුණා ඟගට කඳුළු බිඳු එකතු වුණා
කැළේ මැදින් ඟග ඇදුනා ඒ ඟග මුහුදට වැටුණා

මුහුදේ පතුලට කිදුණා මුතු බෙල්ලෙකු කුස රැඳුණා
දවස් ගනන් එහි තිබුනා ඒ කඳුළෙන් මුතු හැදුණා

මුතු කැට ගොඩට ගෙනා කරාඹු යුවලක රැඳුණා
ඒ කරාඹු ගෙදර ගෙනා සුරංගීට දැන් හරිම හිනා

කණට තෝඩු පලඳවනා කණ්පෙති කටුවෙන් විදිනා
දවසක් එන බව හැඟුණා තාත්තාට දුක හිතුණා




පල්ලෙහා තියෙන්නේ ඔරිජිනල්ම රේකොඩින් එක...



7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මගේ දූගේ කන විදින දවසෙ මටත් ලඟ ඉන්න බැරි උනා.. අඬන සද්දේ ඇහෙනකොට පපුව හිරවෙන්න වගේ ආවේ.. දූගේ ආච්චි තමයි ලඟ ඉදගෙන හිටියේ.. දැං නං කෙල්ල පුංච් බෝල කරාබු දෙකත් දාගෙන හිනාවෙනවා බලන්න ආසයි...

      සුරංගිද අල්විස් කියන්නේ සිරස රේඩියෝවේ ආරම්භක නිවේදිකාවක්.. ඇය ඉස්සර ලක්බිම පත්තරේ රිද්ම අතිරේකයට තීරු ලිපියක් ලිව්වා.. ඇය ගැනම ගොඩක් ආසාවෙන් කියවපු සංවේදී ලිපි පෙලක්..
      දවසක් ඇය ගුවන්විදුලි වැඩසටහන කරන අතරේ අසන්නෙක් ඇගෙන්ම මේ ගීය ඉල්ලුවා.. ඇයට කොහොම හිතෙන්න ඇද්ද...

      තව ගීයක් තියනවා, හෙන්රි කල්දේරා කියන. "කන විදිනවෙලේ කඳුළු ගඟේ පතුල බැලූ දූ .." කියලා..
      ඉක්මනට කොමෙන්ට් එක කොටලා දුවලා යන්න ඕන පුංචි දූ ගාවට..

      ජ ය වේ වා !!! -

      Delete
    2. විදානේ සීරියස් කමෙන්ටුවක් දානවා දැක්කාමයි....... ඇත්තම කියපං ඇඩුවා නේද??????

      Delete
  2. තෑන්ක්ස් විදානේ මේ සින්දුව මතක් කරාට. මේක ලිව්වේ කවුද මියුසික් කාගෙද දන්නේ නැහැ. හෙන් රි කල්දේරාගේ මේ ගීතය අහන්න.
    කන විදිනවෙලේ කඳුළු ගඟේ පතුල බැලූ දූ

    ReplyDelete
  3. මම මේ බ්ලොග් එකට කැමතියි. කියවපු පළමු එකම හිතට වැදුනා. අපිටත් ඉන්නේ එකම දුවයි. ඇය දැන් තරුනියක්. මාත් අතීතයට ගියා. එයාට මේක කියවන්න දෙන්න ඕන.

    ReplyDelete
  4. තවත් ලස්සන සින්දුවක් මතක් කරපු විදානේ ටත් අරූ ටත් පින්....
    කන විදීන වෙලේ කඳුළු ගඟේ ගීතය ගයන්නේ හෙන්රි කල්දේරා...ඒ වගේම ගොඩක් දෙනෙක් නොදන්නා දෙයක් තමයි මේ සින්දුව ලිව්වෙත් තනුව දැම්මෙත් හෙන්රි කල්දේරාම තමයි... ඔහුගේ ගොඩක් සින්දු වල පද රචනය සහ තනු රචනය ඔහුගෙමයි...
    දැන් අපි බලමු ඒ ගීතය.....
    කණ විදින වෙලේ කඳුළු ග‍ඟේ පතුල බැලූ දූ
    අද සතු‍ටු ග‍ඟේ හිනැහෙනවා දාලා කරාබු....
    ආයි දාලා කරාබු...
    කණ විදින වෙලේ කඳුළු ග‍ඟේ පතුල බැලූ දූ
    අද සතු‍ටු ග‍ඟේ කිමිදෙනවා දාලා කරාබු....
    ආයි දාලා කරාබු...

    පුංචි ටිකිරි පාද තියා
    කණ්ණාඩිය වෙතට ගියා...
    මුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා
    බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
    මුදු බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා

    තරු තුනකට එකම හඳයි
    හද නිලඹර එළිය කරයි...
    තරුයි හඳයි බැබළේවා නිතර දෙවේලේ
    මගෙ රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ
    මුලු රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ

    මගෙ පුංචි කුමාරී
    සුදු දෝණි තුෂාරී.....

    කලින් මම කිව්ව සින්දුවේ ප්‍රේමකීර්ති සුරංගී දුවට ලියනකොට හෙන්රි කල්දේරා ලියනවා තුෂාරී දුවට...සුරංගී වුනත් තුෂාරී උනත් මේ හැම එකකින්ම කියවෙන්නෙත්, මගේ අතින් කන් සිදුරු කරගත් සියගණනක් සහ ඉස් ඉස්සෙල්ලම මගේ අතින් කරාඹු පැළඳගත් පුංචි දුවලා ගැනමයි කියල මට හිතෙන්නේ....
    කොහොම හරි හෙන්රි කල්දේරා ගැන වත්මන් පරපුර දැනගත්තේ ඔහු සන්ෆලවර් එක්ක සින්දු කිව්වට පස්සේ කියලයි මට හිතෙන්නේ... සන්ෆලවර් රැල්ල නිසා වඩාත්ම සාර්ථක උන ගායකයා ඔහු කියල මට හිතෙනවා....මං හිතන්නේ ඔබත් කන විදින වෙලේ සින්දුව අහල ඇත්තේ සන්ෆලවර් සංගීතයට.... අහල බලමුද ඔරිජිනල් සින්දුව දේශීය සංගීත භාණ්ඩ එක්ක
    ඔන්න ලින්ක් එක එහෙනම්.....
    https://www.youtube.com/watch?v=CAtBS2UPUvE

    ReplyDelete
    Replies
    1. කැළුම්......උඹේ මේ රිප්ලයි එක හරි වැදගත්.....මම පෞද්ගලිකව කල්දේරා මහත්තයාගේ රසිකයෙක්. වරක් සංහිඳ නම්වූ වැඩ සටහන කල්දේරා වෙනුවෙන් වෙන්කරා. මම ඕනෑම සංගීතයක් රස විඳිනවා මට ගෝචර නම්. කල්දේරාගේ ගීත රටට ගියේ සන්ෆ්ලවර්ස්ලා නිසා. ඒක කිසි ගැටළුවක් නැහැ. බඩට බත් නැතිව ඉන්න කොට බැලුව නැති එව්වො... වේග රිද්මයකට ගී ගැයුවාම බහුශෘත ටෝක් දෙනවා.

      මම හෙන්‍රිව පෞද්ගලිකව රස විඳින්නෙ ඔරිජිනල්ස්. ඒක දෙකක් නැහැ. ඒ ඔහු විතරක් නෙමේ හැමෝගෙම. නමුත් ඒවා තනුවට හානි නොකර වෙනවා නම් කිසි ගැටළුවක් නැහැ. අති පන්ඩිත මත වාදයන් මගේ නැහැ. මම විඳින්නෙක්.

      අනිත් එක කැළුම්....මේ මනුස්සයා දෑස් නොපෙනෙන කෙනෙක් හැටියට, අපි කතා කරන කණ විදීම කියන සබ්ජෙක්ට් එක, ඇහෙන් නොදැක , තාත්තා කෙනෙක් හැටියට කොච්චර හිතින් රස විඳින්න ඇතිද. හිතපන් ඒ අම්මා ...මට එක වෙලාවකට හිතෙනවා මඤ්ඤං දෙනෙත් වලට වඩා පිවිතුරු මනස තමයි ලෝකයට වැදගත් වෙන්නේ කියලා.

      බ්ලොග් ලියන බස්සිගේ තාත්තා, මේ කල්දේරා ගීත ගැන පොඩි සටහනක් දෙකක් කරා. බස්සිගේ බ්ලොග් එකට ගිහින් ...ඇයි තාත්තා ආපහු නොලියන්නේ කියලා අහන්න.

      කැළුම්.... මේ බ්ලොග් එක දිගටම ලියන්න. කරදරයක් නොවේ නම් මේ අකුරු සහ ෆෝමැට් එක වෙනස් කරන්න. ඒක මං වගේ මැන්ටල්ලාට ලෙහෙසියි.

      Delete