Monday, January 12, 2015

එන්න ඉඩක් නෑ මහ ගේ ගාවට



කිරි මුට්ටියක් වගේ හඳ පායලා අහසේ... අවුරුදු තුන හමාරක කොලු පැන්චෙක් ඉඳගෙන ඉන්නවා කිරි අම්මගේ ඔඩොක්කුවේ . ඒ පුංචි කොල්ල තමයි මම....ඒ.නමසිය අසූ හතරේ එක දවසක්.....
හඳ කලුන්ම අහසට ඇවිත් ..... වෙලාව තවම හවස හයයි....ගේ ඉස්සරහ අඹ ගහක් තිබුන මිදුලට අතු නැවිල . ඒ එක අත්තක් පොළොවට සමාන්තරව ඉහලින් තිබ්බේ... අපේ ගෙදර හිටපු රතු කිකිළියි.. කුකුළයි හයියෙන් අත්තටු ගහල ඉගිලිලා යනවා මේ අත්තට..... ඔය කිකිළි අරන් ආවේ අපේ නැන්දා ..යාලුවෙකුගේ ගෙදරකින් ..ඉස්කෝලේ ගිහින් එනකොට, පොත් බෑග් එකේ දාගෙන.... පුංචි එකාට බිත්තර කන්න කියල....


හැමදාම ඔය කිකිළි අඹ අත්තේ ලගිනකොට මට මැවිලා පේනවා කිරි අම්ම කියලා දුන්නු කවියක්..... කියන්නද මං ....


අනේ මගේ කිකිලී කොහෙ ගියාදෝ
ඇහිඳ කකා ගම් මැද්දේ ගියාදෝ
රෑට ඇවිත් කජු අත්තේ ලගීදෝ
කැළණි ගඟේ වැටිලා පන ගියාදෝ.....


ඔන්න ඔහොම කිරි අම්මගේ කවි අහගෙන ඉන්න මම බලාගෙන ඉන්නේ පාර දිහා...කිකිළි ලගින අඹ අත්ත අතරින් මට පේනවා පාර....මේ අම්මයි තාත්තයි වැඩ ඇරිලා එන වෙලාව.....බස් එකක් එනකන් මම බලාගෙන ඉන්නේ.
කිරි අම්ම ඉඳගෙන ඉන්නේ ගෙදර පිලේ...මම කිරි අම්මගේ ඔඩොක්කුවේ ඉඳගෙන...ඒ ගෙදර බිම්මට්ටම තිබ්බේ පොලෝ මට්ටමෙන් ආදී තුන හතරක් උඩින්....කිරි අත්තා චිමිනි ලාම්පුව පත්තු කරලා ගෙනැල්ල සාලේ තිබ්බ ටීපෝ එක උඩින් තිබ්බ...ඒ අස්සේ මට ඇහෙනවා හිමින් හිමින් ගාථා කියන හඬක්....
වත්ත පහල පිපෙන හෙන්දිරික්කා මල් හරි දොරකඩ ගහේ අරලිය මල් හරි කඩන ඇවිල්ල හැමදාම බුදු පාන තියන්නේ නැන්දා ....
" කෙල්ලේ...ඕක කට ඇරලා හයියෙන් කියවපන්කෝ....කුනු කුනු ගාන්නැතුව " ඒ කිරි අම්මා ......


තාත්තා වැඩකලේ ක්ලාක් කෙනෙක් විදිහට පොලිස් ඔෆිස් එකේ....අම්ම දුෂ්කර ඉස්කෝලෙක ගුරුවරියක්....අම්ම පාන්දර පහයි හතලිස් පහේ බස් එකේ වැඩට යනවා....එන්නේ හවස හයට විතර එන බස් එකේ.... සතියේ දවස් පහක්ම ඔය දුක වින්ද අම්මා .....තාත්ත නම් යන්නේ උදේ හතේ බස් එකේ...එන්නේ අම්මත් එක්ක . මොකද අම්මා කුරුණෑගලට එනකොට රෑ උනොත් බස් නැති වෙන හින්ද. ඉස්සර අපේ ගමට තිබ්බ අන්තිම බස් එක කුරුණෑගලින් අදින්නේ හවස හයයි දහයට....
අම්ම උදේට වැඩට යන බස් එකට මම කිව්වේ "අම්මි බස් එක" කියල.. ඒ නමත් බස් එකට හොඳට ගැලපෙනවා... මොකද ඒක කහ පාට පුංචි ටාටා බස් එකක්...ඒ කාලේ තිබ්බ අනිත් බස් ඔක්කොම අර රතු පාට ටකරන් බස්....


.හ්ම්....
තවම නෑ බස් එක.... මම නොසන්සුන්..... ඔන්න කිරි අම්මා තව කවියක් කියනවා ....


යමන් පුතේ ගලදෙනිකඩ විහාරෙට
ගන්නකෝ පුතේ මල් වට්ටිය අතට


ඉතුරු පද දෙක නම් මට මතක නැහැ. අහගන්න විදියකුත් නැහැ ..කිරි අම්ම නැති වෙලා දැන් අවුරුදු දාහතරක්.....
කොහොමෙන් කොහොමෙන් හරි අම්මයි තාත්තයි රෑ වෙනකොට ගෙදර ආව... අම්මල එනකොට කුරුණෑගල රත්නගිරි හෝටලෙන් ක්‍රීම් බනිස් එකක් ගේනවා. මම ඉතින් කැමතියි අම්මයි තාත්තයි දෙපාරකට එනවා නම්...මොකද එතකොට ක්‍රීම් බනිස් දෙකක්ම හම්බ වෙනවනේ......
හ්ම්....
උදේට අම්මා වැඩට යන්න ලැහැස්ති වෙනකොට ගෙදර එක යුද්දයක් අල්ලනවා මම. අම්මා මූණ හෝදලා ලැහැස්ති වෙනකොට මම කෑගහනවා මෙහෙම
" අනේ අම්මේ මූණ හෝදගන්න එපා.මූණේ කුණු ගාගන්න...ගාගන්න'"
ඒ උනාට රස්සාවට යන්න එපැයි .... අම්ම ලැහැස්ති වෙනවා... ඔන්න මගේ ප්ලෑන් "B" එක..... අමාරුවෙන් කක්කා පාරක් දානවා...ඉතින් අම්ම මේ වැඩ අස්සේ මාව හෝදන්නත් වෙනවා...


අම්මයි තාත්තයි ගැන තව කොච්චරක් කියන්නද.....හ්ම්..මම අම්මගෙනුයි තාත්තගෙනුයි සැතපුම් සියගණනක් ඈත. කොහොමද ගෙදර එන්නේ....දැන් දොස්තරෙක්නේ...වැඩ හරියට.... මාස තුනකට සැරයක් වගේ තමයි ගමේ යන්න ඉඩක් හදාගන්නේ.....
වෙලාවකට මෙහෙම හිතෙනවා.... අපරාදේ මොකක් හරි පොඩි රස්සාවකට ගියානම්...අම්මයි තාත්තයි දෙන්නත් බලාගෙන ගෙවල් කිට්ටුවට වෙලා ඉන්න තිබ්බ....


අලුත් අවුරුද්දේ අම්මයි තාත්තයි මතක් උණා ....මොනවා කරන්නද, තනතුරු ලැබිලා ඉස කෙස් ගානට..යන්න ඉඩක් නෑ මහ ගේ ගාවට.....
එත් අම්මල තරහ නෑ ...අදටත් මම ගෙදර යද්දී බලන් ඉන්නවා ගෙදර ගේට්ටුව ඉස්සරහට වෙලා....

මේ සෝමතිලක ජයමහ.....




පියවර ඔසවා යන තුරු ඈතට
පියවරු සිටියා නිරතුරු දෑතට
තනතුරු ලැබිලා හිසකෙස් ගානට
එන්න ඉඩක් නෑ මහ ගේ ගාවට //

මුණි ගුණ මතුරා උවදුරු පා කොට
මව්වරු සිටියා එන තුරු දෝතට
තනතුරු ලැබිලා හිසකෙස් ගානට
එන්න ඉඩක් නැහැ මහ ගේ ගාවට

පියවර ඔසවා ........

පියවර එසවී නැති බැරි කාලෙට
බැරි බර උසුලා යන විට යායට
දරු පෙම උතුරා සඳ පහනක් ලෙස
සෙනෙහස එනවා ඉනි වැට ගාවට



5 comments:

  1. ඇහැට කඳුලක් ආවා දුර ඉන්න අම්මා තාත්තා මතක් වෙලා. අපි වැඩිදෙනෙකුට මෙහෙමයි නේද?

    ReplyDelete
  2. වගකීම් වැඩිවෙනකොට යුතුකම් මග හැරෙනවා.අඔ හැමෝගෙම තත්වය මේකමයි නේද?

    ReplyDelete
  3. අපූරු සංවේදී සටහනක් කැළුම් අයිය...
    මේ වගේ අප්සට් එකක් මටත් තිබ්බ මං වව්නියා ඉද්දි
    ඒත් දැං නං ගෙදරමයි....
    ජයවේවා

    ReplyDelete
  4. අැත්තට ම කියවපු ගමන් ගිහිං ගෙදරට කෝල් ඒකක් ගත්තා..... හරිම සංවේදීයි... හොදට ම දැනුනා..........

    ReplyDelete
  5. Kandulu awa awurudu 41 kata kalin nethi una thaththath, awurudu 13 kata kalin nethi una ammath mathak wela.
    Auntie K

    ReplyDelete