Monday, July 6, 2015

දියණියනි..... නුබට සිදුවූ දේ.....


හතරේ කෝච්චිය යන සද්දෙට සමන්මලීගේ ඇස් ඇරුන.
ගල් කන්ද පහුකරලා යනකොට කෝච්චිය හැමදාම හූ කියන්නේ සමන්මලීට ඇහැරවන්න වගේ... 
වතුර කේතලේ ලිපේ තියල එලියට බැස්සේ මූණ කට හෝදගෙන එන්න..
වතුර නටන්න කලින්...
හීං වැහි පොදක් වැටෙනවා පාන්දරින්ම......
මූණ හෝදගෙන එනකොට හීං වැහිපොද තරමක වැස්සක් වෙලා.....
තේ කහට එකක් හදාගෙන සීනි බෝතලේ ඇරලා බැලුවා .
බෝතල් බිත්තියේ ඇලිල තියන සීනි ටික විතරයි...
ඒක නංගිටයි මල්ලිටයි ඉතුරු කරලා කහට උගුරක් බිව්වා....;
කලින් දවසේ පිටි කොටලා අනලා පිපෙන්න දාල තිබ්බ ආප්ප පිටි ටිකත් අරන් ලිප ලඟින් වාඩි උනා ඇය .....

ආප්ප තාච්චියේ සද්දෙට අම්මා නැගිටලා එද්දී සුදෝ සුදු ආප්ප ගොන්නක් පිපිලා වට්ට්ටියේ......
ඉතිරි ටික අම්මට බාර දීල සමන්මලී නැගිට්ටා... 
ඉස්කෝලේ යන්න පොත් පත් අඩුක්කරගන්න....
රත්තියි පැටියයි මඩුවේ අඬනවා ...
ඒත් මේ අනෝරා වැස්සේ කොහොමද එලියට ගන්නේ.....

යන්තම් එලිය වැටීගෙන එනකොට වැස්ස තුරල් කෙරුව...
ආප්ප කූඩේ සුදුපාට ඉටි කොලේකින් වහගෙන ඇය පාරට බැස්ස.. 
හීං කුඩු පොදක් විතරක් අහසෙන් වැටුන.....
උදේ හවස යන දෙවැට දිගේ ඇවිත් මහ නියරට ගොඩ උනා ඇය ...... ඕවිට අද්දර කොරවක්කෙක් බලාගෙන ඉන්නවා..... 
සුදෝ සුදු කොක්කු රෑනක්ම ඇවිත් වෙල් යායට ..... 
නුග ගහ මුල කුඹුර ලඟින් කඬාඩුවක් කැඩිලා වෙල් යායම පුංචි වැවක් වගේ.....
වටපිට බල බල ඉන්න වෙලාවක් නෑ ...
හය හමාරේ බස් එක කඩමණ්ඩිය ලඟින් යන්න කලින් ආප්ප ටික කඩේට දාන්න ඕන...
නැත්තම් බැනුම් කෝටියයි මුදලාලි මාමාගෙන්.....

සමන්මලී කඩේට ගොඩ වෙනකොට ආයෙමත් වැස්ස..... 
ඉහින් කනින් නාගෙන ..තෙතබරිත වෙලා....
අමාරුවෙන් ආප්ප කූඩේ බේරාගෙන ඇය .....

වැස්ස නිසා කවුරුත් නෑ කඩේ..... 
කෑම ජාති දාල තියන වීදුරු අල්මාරිය උඩ තියල තියන රේඩියෝ එකේ ප්‍රවෘත්ති යනවා.....


" මුදලාලි මාමේ..... මුදලාලි මාමේ..."

සමන්මලී කතා කරනවා....කවුරුත් නෑ ....... 

" මුදලාලි මාමේ......"

"මොකද කෙල්ලේ මේ පාන්දර ජාමේ කෑගොස්සන් දෙන්නේ...." 
කියාගෙන මුදලාලි මාම එලියට ආව.... 
වැස්සට ඇඳුම් තෙත බරිත වෙලා උන්නු සමන්මලී දිහා ඇස් කොනකින් බැලුව......


හ්ම්... 

ඇඳුම් තෙමිලා ඇඟටම ඇලිලා....
කඩේ මිදුලේ අරලිය ගහේ පිපෙන්න තතනන අරලිය පොහොට්ටුවක් වගේ.....මුදලාලිට හිතුනා......


" උඹ හොඳටම තෙමිලානේ....අන්න අර ඇතුලේ කාමරේ තුවායක් ඇති.....ඔලුව පිහදාගනින්...."


සමන්මලී වැඩිදුර නොහිතා කඩේ ඇතුලට ගියා... 
කඩෙන් එළියේ පාර දෙපැත්තට එබිකන් කරපු මුදලාලිත්...
හ්ම්.....
ඒත් එක්කම කඩේ ඇතුලට ගියා.......දොරත් වහගෙනම..

පිපෙන්නට පෙරුම් පුරමින් උන්නු අරලියා කැකුලේ පෙති එකින් එක ගැලවුනා බලෙන්ම....
ඇගේ විලාපය වැස්සේ සද්දෙට යට උනා..... 
කවුරුත්ම හිටියේ නෑ ..ඇය වෙනුවෙන්......
ආකහේ විතරක් මහා හයියෙන් අඬා වැටුනා.....විදුලි අකුණු එක්කම......

හ්ම්........
..........
.................
......................

අමුතු හිනාවකින් මුහුණ සරසගත්තු මුදලාලි එලියට ආව..... 
ඇය ඉකිබිඳිමින් එලියට පැනල දුවන්න ගත්ත.... 
ආප්ප කූඩෙත් අමතක කරලා......

" ආ ...කෙල්ලේ ආප්ප වල සල්ලි....."

සමන්මලී හැරිලා බැලුවේවත් නැහැ...... 
බිම වැටිලා තිබ්බ අරලිය මලක් මඩ වතුරේ පෙඟිලා රතු පාටට හුරු පල්ලම් මතුවෙලා තිබ්බ....සදහටම.........

රේඩියෝ එකෙන් ඇහුන....දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගේ හඬ.....
මෙන්න මෙහෙම.....


කෑගසා පවසාවි හිරුට හැකිවේනම්
සිය නෙතින් දුටු දේ
ඉකිගසා මුමුනාවී මිතුරු වග සියොතුන්
යෙහෙළියට වූ දේ

දැවී ලිප ලග වේල සරි කර
කඩපලට දී අලුයමින්
අදුරු ලදු මග ගෙවා අකුරට
දිවූ මුව පැටවී
කුරා කුහුබුකුටවත් වරදක් නොකළ දියණියනි
නුබට සිදුවූ දේ

කෑගසා පවසාවි හිරුට හැකිවේනම්
සිය නෙතින් දුටු දේ
ඉකිගසා මුමුනාවී මිතුරු වද සියොතුන්
යෙහෙළියට වූ දේ

ලපලු පත් බිද කුරුළු නෙත් සිද
දැමු අසරණ අඩවියේ
රුදුරු නොමිනිස් දැලක සිරවී
හැඬු අසරනියේ
අතු පැලේ පන නලයි සිදුනේ
දිරිය දියණියනේ
නුබට සිදුවූ දේ

කෑගසා පවසාවි හිරුට හැකිවේනම්
සිය නෙතින් දුටු දේ
ඉකිගසා මුමුනාවී මිතුරු වද සියොතුන්
යෙහෙළියට වූ දේ




4 comments:

  1. සංවේදි සටහනක්...
    ඇත්තටම වෙච්ච දෙයක් වෙන්න ඇති සමහර විට මේ සිංදුවට පාදක වෙන්ට ඇත්තෙ..
    ඉර හද යට වෙච්ච මේ වගේ කතා නං කීයක් ඇද්ද...
    සමන්මලීල වගේ අය කොයි තරං ඇද්ද ඒත් දුකට ලැජ්ජාවට බයට සද්ද නැතිව

    ReplyDelete
  2. නුබ කියන්නේ අහස

    නුඹ කියන්නේ උඹ ඔබ ඔයා

    ReplyDelete
  3. සංකරයි කියන නාගරික පරිසරය ඇතුලේ දුර්ලභ සදාචාර සම්පන්නයි කියන ගැමි පරිසරයට ආගන්තුක නොවන කාළකණ්නි සිදුවීම් මාලාවක් ලස්සනට අකුරු කරලා.
    ජය වේවා...

    ReplyDelete
  4. හරිම ලස්සනයි....සුබපැතුම් ! පොඩි දෙයක් හිතල බලමු ද....මුදලාලි කරපු, නැත්නම් එයාගෙන් වුණ වැඩේනම් අවුලු ම තමයි; කතා දෙකක් නෑ. ඒත් ‘මුදලාලි‘ වැරදිකරුවාද ? වැරැද්දේ ප්‍රකාශකයාද ? එහෙමනම් වැරැද්ද කොතැනද ? මේ ‘අරලිය මල් සංකල්පය‘ ඒකෙදී කොයි වගේ හරියකද තියෙන්නේ....?http://syberheartblog.blogspot.com/

    ReplyDelete