Saturday, June 4, 2016

ජීවිතය ගඟක්......




ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්.... 
සමහර වෙලාවට ජීවිතය කියන්නේ ගඟක් වගේ කියලත් හිතෙනවා..
ඒත් ඒක එහෙම ලඝු කොට දක්වන්න පුලුවන්ද..... හ්ම්.....

කමක් නැහැ..


අපි හිතමු ජීවිතය ගඟක් කියලා...... 
බාධක කම්කටොලු මැදින් ගලාගෙන යන...... 
සමහර වෙලාවට ජීවිතය අපව උස්සලා පොළොවේ ගහනවා.... 
ගඟක් උසකින් බිමට වැටෙද්දී ලස්සන දිය ඇල්ලක් හැදෙනවා තමයි...
නමුත් එහෙම නොවෙන බොරපාට චණ්ඩ දළරල පහරවල් එහෙමත් හැදෙනවා නේද.... 
එහෙම උසකින් ඇද වැටුනාම මහා නදියකට උනත් ටික වෙලාවක් ඕනෑ නිසසල වෙන්න...
චණ්ඩ දියකඳ නිසසල කරන්න..... 
රොන්මඩ ටික මිදෙන්න....
හ්ම්......ජීවිතේ වගේම........

දිඟු කාලයක් බ්ලොග් අඩවිය හිස් උනාම ගොඩක් දෙනෙක් කතාකලා...සමහරු පණිවිඩ දාල තිබුනා.... 
පුද්ගලිකව හඳුනන අයනම් ඒකට හේතුව දන්නවා.....

හ්ම්.... උස ගල් පර්වතෙකින් කඩා වැටිච්ච දිය කඳක් වගේ...
නිසොල්මනේ උන්න මම..........




යමෙකුට තම ගෙල වටා පැළඳිය හැකි වටිනාම ආභරණය කුමක්ද......? 

දන්නවද ඔබ..... 

ඒ තම දරුවන්ගේ දෑතයි...... 

අම්මෙකුට තාත්තෙකුට ඊට වඩා තව මොනවද.....

මීට අවුරුදු දෙකකට විතර ඉස්සර ඈත මන්නාරමේ රැකියාව කරද්දී මගේ ලොකු පුතා අසනීප උනාම ගෙදර එන්න නිවාඩුවක් නැතුව මගේ හිත දුක් උන හැටි රෝහලේ වාට්ටුවක ඉඳගෙන කුරුටු ගාපු හැටි මම කියල තියනවා මීට ඉස්සර..... මතක් කරන්නද ආයෙත් මම......


එකම පුතා අසනීපෙන්
ඈත දුරක සුසුම් ගොඩයි
කොහොමද මං ලඟට එන්නේ
අප්පච්චී දුර ඈතයි.......

නිදහස් අද්දියාපනෙන් උගෙන ලෙඩ්ඩු මරාගන්න
දොස්තරලා කියා ලියන මාධ්‍යක උන්නානම්
එක පිම්මෙන් එනව පුතේ උඹේ ලඟට අප්පච්චී
එත් පුතේ එහෙම නෑනේ කොහමද මන් ලඟට එන්නේ...

ගුරුවරයෙක්, ලිපිකරුවෙක්, ගොවිමහතෙක්, ඕනැ කෙනෙක්
එහෙමත් නැත්නම් කඩපිලෙ , පාරේ සිඟන යාචකයෙක්
එහෙම උනානම් පුතුනේ උඹේ ආදර අප්පච්චී
එනවා මම එක පිම්මෙන් උඹේ ළඟ පොඩි පුතුනේ....

උඹේ අම්ම ආදරයෙන් හරිම දුකෙන් තුරුළු කරන්
අසනීපෙන් දුකින් අඬන උඹේ ලඟට වෙලා ඉඳන්
රෑ තුන්යම නිදි වරමින් කඳුළු සලන හැටි පේනව
එත් පුතේ අප්පච්චී කොහොමද උඹේ ලඟට එන්නේ...

උඹ වාගේම අසනීපෙන්, කඳුළු සලන , සුසුම් හෙලන
පුංචි පැටව් ගොඩකට ඇති එකම පිහිට මමයි ඉන්න
ළමා රෝග වාට්ටුවේ දොස්තර මම පැටව් බලන
ඉතින් පුතේ කොහොමද මම එක පිම්මෙන් ගෙදර එන්නේ.............

http://awasankawiya.blogspot.com/2014/06/blog-post_7546.html


එතකොට හිටියේ ලොකු පුතා විතරයි...
ඊට ටික කලකට පස්සේ තමයි පොඩි පුතා අපට එකතු උනේ......
පුංචි පැටවු දෙන්නයි මමයි බිරිඳයි.....
අපි උන්නේ සන්තෝසෙන්......
ඒත් සංසාරෙන් සංසාරෙට අපි එක්කහු කරපු අකුසල්  එකපාරටම හෙණයක් වගේ පාත් වෙයි කියල හිතුවේ නෑ...
කොහොමවත්.....


පුංචි පුතාව එකපාරටම අසනීප වෙච්චි එක.... මහරගම පිළිකා රෝහලට අරන් යන්න උන එක....මට මතක හීනයක් වගේ.... සියලු දේවල් පොඩිපට්ටම් වෙලා මහා කාන්තාරයක් මැද අතරමං උනා වගේ....

හ්ම්...... 

නමුත් කවදාවත්ම අපි නොහිතපු විදිහට අපේ හිතමිතුරන් අප වටේ අත්වැල් බැඳගත්තා..... 
හිතමිතුරන් විතරක් නොවේ...මිතුරන්ගේ මිතුරන්...නොදන්නා අය පවා..... 
විශේෂයෙන් මගේ විශේෂඥ වෛද්‍ය තුමා ඇතුළු මගේ ඒකකයේ වෛද්‍යවරු, හෙද හෙදියන් සහ අනිත් කාර්යමණ්ඩලය, අනුරාධපුර සියලුම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්.... රජරට වෛද්‍යපීටයේ කථිකාචාර්යවරු,මහාචාර්යවරු ඇතුළු බිරිඳගේ හිතමිතුරන්....ඉස්කෝලේ යාලුවෝ....කැම්පස් එකේ බැචාලා බැචීලා..අනිත් බැච්වල කට්ටිය ...මාතලේ..මන්නාරමේ...නෝනා වාට්ටුවේ (LRH) විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්...හිතමිතුරන්.. බිරිඳගේ පශ්චාත් උපාධි බැචාලා..බැචීලා.... PGIM එකේ විශේෂඥ වෛද්‍යවරුන් මහාචාර්යවරුන්..... ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ හිතමිතුරන්.... මුහුණු පොතේ හිත මිතුරන්.....

තව කොච්චරක්ද.... 
ඇයි .... ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියත් කතා කලා..... 
අපේ දෙමව්පියන්... නංගිලා...මල්ලිලා ඇතුළු නෑදෑයින්..... කොච්චරක් කියල ලියන්නද..මේ නම් ලැයිස්තුව මම.... මහරගම විශේෂඥ වෛද්‍යතුමිය,වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය...අමාත්‍යංශයේ,MSD එකේ අධ්‍යක්ෂකතුමන්ලා සහ කාර්ය මණ්ඩලය......GMOA එක .

මට මතක් වෙන්නේ නැහැ..... 
ආ.... බෙහෙතක් හොයාගන්න බැරුව ඉන්න කොට දෙවියෙක් වගේ පිහිටට ආපු ඇල්බට්....


සමාවෙන්න මේ පොස්ට් එක අතිශය පෞද්ගලික එකක් උනාට...නමුත් කොහොමහරි  ලියවිල්ල ආපහු පටන්ගන්න එපැයි .... මේක නොලිය පටන්ගන්න මට හිතදෙන්නේ නැහැ.... සමාවෙන්න ආයෙත් ........


මොනදේ නැති උනත් අපට කවදාවත්ම නැති නොවන අධිෂ්ඨානයයි..බලාපොරොත්තුවයි හරිම වැදගත්..... 

ඔව් අපේ පුතාට ඉක්මනින් හොඳ වෙනවා...
දැන් ගොඩක් දුරට සනීපයි..... 
සතරවරම් දෙවිවරු සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉහිනවා සත්තයි......


මේ රත්න ශ්‍රී විජේසිංහගේ පද... තනුව සහ හඬ පණ්ඩිත් අමරදෙවයන්ගෙන්



සතර වරම් දෙව් මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්

පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සලමින
නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා

කලා වැව් දියේ උත්පල නෙලා ගෙනැ ඇඟිලි පොකුරට
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා



No comments:

Post a Comment