Wednesday, December 26, 2018

මයෙ රත්තරන් පුතේ හොඳටෝම රිදුණාද...

photo courtesy https://jetsetbunny.com/


මහමුහුද අඬනවා එදා වගේම.... 
ඇය බලා ඉන්නවා මුහුද දිහා... 
මුලු ජීවිතේම දුන්නෙත් ... හැමදේම ආපහු උදුරගත්තෙත් මේ මහ මුහුදම නේද.... 
ඒත් කොහොමද මුහුද එක්ක තරහ වෙන්නේ.... 
ඇගේ මතකය අවුරුදු දාහතරක් අතීතෙට යනවා....
දෙදාස් හතර...

පස් හැවිරිදි පුංචි පුතාවත් අතින් ඇදගෙන ඇය පොත් සාප්පුවෙන් එලියට ආවෙ ගමට යන බස් එක අල්ල ගන්න.... 
උදේ නමයෙ බස් එක අල්ල ගත්තොත් දහය වෙද්දි ගෙදර ගියෑකි... අම්මේ පොත් කඩවල සෙනඟ...
ලබන අවුරුද්දෙ ඉස්සෙල්ලම ඉස්කෝලෙ යන පුංචි පුතාට පොත් පැන්සල් අඩුම කුඩුම ගන්න ඇය පාන්දරින්ම ගාල්ලට ආව.... 
ඉස්කෝල පොත් ගන්න කාලෙ හින්ඳ පොත් කඩවල් උදේ හත වෙද්දි ඇරල.... 
පොඩි එකාට හරි සතුටුයි....
මූදු ගිය ලමයින්නෙ තාත්තා ගෙදර ඒවි අපි යන්න කලින්... ඇය තනියම හිතුවා... 
ලා නිල් පාට පොත් බෑග්ගෙක පොඩි එකා දැන්මම එල්ලගෙන පිටේ... හරි උජාරුවෙන් උඩ පැන පැන එන්නෙ.... 
ජනවාරියෙ ඉස්කෝලෙ යනව කිව්වම කොල්ලා ඉන්නෙ හරි ආසාවෙන්... 
පොඩි එකා කිරිදත් පෙන්නලා හිනා උනා.... 
උපන්දා ඉඳන් තමන් ලඟම හිටපු පුංචි පුතා.... ඉස්කෝලෙ ගියාම මම තනියෙන් පාලුවෙන් ඉන්නෙ කෝමද... උදේ වරුවෙ.... 
ඇයට පුංචි සාංකාවක්.... 
හ්ම්...


කමක් නෑ... උදේ වරුව විතරනේ... 
එකෙන් දෙකට... දෙකෙන් තුනට... ඊට පස්සෙ පහේ ශිෂ්‍යත්වෙ.... 
ඊට පස්සෙ ටවුමෙ ලොකු ඉස්කෝලෙකට දැම්මැකි... 
ඉක්මනට කල් ගෙවෙයි.... සාමාන්‍ය පෙල උසස් පෙල ..... පොඩි එකා කැම්පස් යයි... 
මගේ කොල්ල ලොකු වෙලා දොස්තර කෙනෙක් වෙයි.... 
ගමේ එවුන් සේරම ඉරිසියා වෙයි මගෙත් එක්ක... 
ඇගේ මූණෙ පුන්චි හිනාවක්.... 
පුන්චි පුතා අතේ එල්ලීගෙන උඩ පැන පැන එනවා....
පුතා කැම්පස් යද්දි කරාපිටියේ එකට යන්න කියන්න ඕන... ඔය කොළඹ රටේ යවල කොහොමද.... අපි පාලුවෙන් ඉන්නෙ.... 
කොල්ල ගනී රතුපාට කාරෙකක්...


"අම්මේ මට මුරුක්කු ඕන..." පොඩි එකා අතින් ඇද්ද... 
ඇය පියවි සිහියට ආව හීන මාලිගාවෙන් බැහැල...


ඈත ඔරලෝසු කණුවෙ වෙලාව හරියටම නමයයි.... ඇය දැක්ක... 
බස් එක මඟඇරෙයිද... 
කමක් නෑ.... පුතාට බැහැයි කියන්න කෝමද....
මුරුක්කු එක්ක බූන්දි මල්ලක්කුත් අරන් ඉක්මනට බස්ටෑන්ඩ් එකට ආවත් නමයෙ බස්සෙක ගිහින්... 
දැන් ඉතින් ඉඳපන්කො නමයයි හතලිහෙ බස්සෙක එනකන්... 
ඇය පොඩි එකා දිහා බැලුවා.... 
හුරතල් හිනාව...සුන්දර ලෝකෙ..... 
ඇය නැවතත් සිහින මාලිගාව පාමුල.... 
ඒත්.... 
රැල්ල ඇවිත් ඒ සිහින මාලිගාව..... 
හ්ම්....


මුහුදු රළ වියරුවෙන් නැගිට්ටා
මහ දුරක් ගොඩබිමේ ඇවිද්දා
වැල්ලෙ තැන තැන නටපු මගෙ මාළු පැටියාව
මහ මුහුද මට හොරෙන් ගෙනිච්චා.....

දිය වැලට අසුවෙලා කළු ගලක වැදුණාද
මයෙ රත්තරන් පුතේ හොඳටෝම රිදුණාද
මුහුදු පතුළේ අපව හැම තැනම සෙව්වාද
මාළුවන් වටවෙලා නුඹ එක්ක හැඬුවාද
නුඹ එක්ක හැඬුවාද

මහ මුහුදු එක්කමයි තරහවක් නෑ සිතේ
වෙරළ ගැන දන්නෙ නැති මාළුවන් නෑ පුතේ
මාත් වැල්ලෙම වැටී සොයනවා දස අතේ
කොහොම හරි පීනලා එල්ලියන් මයෙ අතේ....
එල්ලියන් මයෙ අතේ....

ඇය අතීතෙන් මිදිලා වර්තමානෙට ආවා... අල්ලපු ගෙදර කෙල්ලගෙ සද්දෙට... 

"නැන්දේ... පන්සලේ පින්කමට යන්නෙ නැද්ද...හරියටම නමයයි විස්සට පටන්ගන්නවා කිව්වා
...  මම මේ එහෙ යන්න ලේස්ති වෙලා පාරට බැස්සෙ...." 
ඇයට හීල්ලුනා... මගේ පොඩි එකත් හිටියනම් මේ වයසෙමයි... අවුරුදු දහනමයක ඉලංදාරියෙක්..... හ්ම්....




ඇයගෙ හිත ලිව්වෙ....අතුල ජයදේව
හද කකියන සත්සර රටා මැව්වෙ....නවරත්න ගමගේ
ඇගේ හඬ උනේ....දීපිකා ප්‍රියදර්ශනී පීරිස්



වසර දාහතරකට පෙර මහ මුහුද බිලිගත් අපේම කිරිකැටියන්...සොයුරු සොයුරියන්... මාපියන්... හිතවතුන්..... සංසාර සාගරයෙන් එතෙර වේවා...


1 comment: