Thursday, October 1, 2020

මල්ලිකා...








හරියටම හත්දොහක් වෙනව අදට.... 
එදා මොර සූරන වැස්ස,
බොරැල්ල පැත්තෙ ඉඳන් ආයුර්වේද හන්දිය පහුකරල මම එනව රාජගිරියට...
වින්ඩ්ස්ක්‍රීන් කොපුල මත වැටෙන වැහි බිංදු වයිපර් ලේන්සුවෙන් පිහිනව... 
ඒත් අහස අඬනව.... පිහල ඉවරයක් කරන්න බෑ... 
බස් හෝල්ටෙකේ නවත්තල අමුතු තාලෙ බස්සෙකක්... බස්සෙක උඩ පෙට්ටියක් වගේ එකක්... ඒකෙ තඩි අකුරින් ලියල " පොත් ප්‍රදර්ශනයේ නොමිලේ ප්‍රවාහන සේවාව" වගේ අකුරු පෙලක්... මට මතක නෑ හරියකට....


සෙනඟ ඇති සූ ගාල.... ඔතන සමහර කතුවරු... කවියො එහෙමත් ඉන්නවනෙ... පොත් ගතහැකි කතුවරයගෙ අත්සනත් එක්ක... හිත කියනව.... මම නෑහුන වගේ ඉන්නව... මේ දබහරි වැස්සෙ....
කොහොමින් හරි ගෙදරටත් ආව... තාම වැස්ස තුරල් කරල නෑ.... අඩිය තිබ්බම චිරිස් ගාල ඉහෙන මඩ වලක් උඩින් පැනලා මම ගෙට ගොඩ උනා....


ට්‍රීං ..... ට්‍රීං.....

සද්දෙට බැලුව...
 තැපැල් පියුං මහ වැස්සෙම.... ලියුම් මිටියටත් හිරිකඩ ගහල.... 
ඒ ලියුම් මිටි තියල තිබ්බ කූඩෙම නැඟලා.... 
පියුං එක්ක 'මල්ලිකා' ආව... තාර කලුපාටට... යද්දෙස්සියක් වගේ මූණ.....

හ්ම්.....

මට ආයෙත් පොත් ප්‍රදර්ශනේ බස්සෙක මතක් උනා. පොත් ප්‍රදර්ශනේ ඇතුලෙන් මුණ ගැහෙන්න බැරි.... කුලියාපිටියේ , නාරම්මල කොහේ හෝ තැනක මුණ ගැනෙන්න පුලුවන් නමක් ලියල තිබුනා.... නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් ....... එහෙම නැත්නම් බෙනා අයියා.... ජීවිතේ කවදාවත් හමුවෙලා නැති.... මුහුණු පොතේ කවි වලින්ම හඳුනන බෙනා අයියා....


බෙනා අයියගේ 'මල්ලිකා' මගේ අතට ආවෙ ඔහොම .... සතියක් දැනට...

පොත් සල්පිලේ කවිපොත් ඇති.... කවියොත් ඇති.... ඒත් ඔබට බෙනාගේ " මල්ලිකා" සල්පිලේ හමු නොවේවි... ඒ ඔහු කවි නොලියා ලේ ,මස් ,නහර ,කඳුලු ,සෙම්,සොටු වලින් ජීවිතය ලියන නිසාද....
එක හුස්මට කියවන්නම් කියල ඉඳගත්තට පොත.... බෙනා අයියා ඒකට ඉඩ දෙන්නෙ නෑ... පලමු කවියෙන් කියනව කුලියාපිටියේ මල්ශාලාවේ අම්මගේ මිනිය එම්බාම් කරනව බලන් උන්නු හැටි.... බෙනා අයියේ.... උඹ අපේ පපු කැවුතු සේරම උදුරලා අරගෙන පොලොවෙ ගහනව.... තව කවියක් කියවන්න බෑ.... කෑලි කෑලි කැඩිච්ච හිත එකතු කරගන්න දවසක්ම යනව......


ඊලගට දෙවෙනි කවිය.... ඉවර කරන්නෙ "කොහා වැලිකඩ හිරේ ඒකයි" කියල.... දවස් බාගයක් යනව මට ඊලඟ කවිය කියවන්න.... ඔන්න ඔහොම කවිපොතේ කවි විසිපහ කියවන්න සතියක්ම ගියා...


තවත් එක් කවියක්.... සමහර කවියන් ලියල තියන ඉතාම ඛේදනීය සිදුවීමක්... බෙනා ලියනව කවුරුත් නොලියපු ආරකට.... කවියෙ අන්තිම පද දෙක විතරක් කියන්නම් ඔබට...


"..........................
..........................
බතල ගාලෙ වළක් කපල කළලෙ ඔබා..
උකුළ පලල් අඩහඳ රෑ මැකිල ගියා......"


හ්ම්...


හත් වෙනි කවිය " මල්ලිකා" පොතට නම දාන්න මුල් උන කවිය....
බෙනා අයියා මේකෙ පූර්වාපර සංධි ගලපල ලියල තිබ්බ මූණු පොතේ.... ඒ ටික එහෙමම උපුටා දන්වන්නද මම... බෙනාගේ වචනයෙන්ම....


(උපුටනය ආරම්භය)


පූර්වාපර සන්ධි ගැලපීම........!!!
-----------------------------------------------


ගිං පොල් කිරළ
කටු ඉකිළිය කඩොලාන
කරු මුල් කයිරු මුල්
බහුලය සකියාන
අනේ ඕං මං
එක හිත් දුගියාන
එහෙම උන්ට
දැඩිමුණ්ඩත් ඔරවාන...........!


මං මේක ලියන දැන් හරියටම වේලාව රාත්‍රී 12.00 යි.
මේක සත්‍ය කතාවක්. මට ගම මොකක්ද කියල ඔබට කියන්න බෑ. මල්ලිකාගෙ ස්වාමිපුරුෂය හරිම හොඳ මනුස්සයෙක් . උදේ කුළී වැඩට යනව. රෑට රෑවෙලා ගෙදර එනව. මල්ලිකාට පණ ඇරල ආදරෙයි ......
මල්ලිකා ඔය අතර අනියම් සම්බන්ධයක පැටලෙනව. මම මේ කතාව බොහොම කෙටියෙන් ඔබට කියන්නෙ. මතක තියාගන්න මේක සත්‍ය කතාවක්.මම දැක්ක දෙයක්. මං ලියල තියෙන්නෙම මේ වගේ පතොක් කටු ඇනෙන හා ගල්වල හැප්පිලා කකුල් තුවාල වෙච්ච සත්‍ය සිද්ධි පාදක වෙච්චි කවි............!


මල්ලිකා තම සැමියා සාමෙල්ට වැඩිය අනියම් පුරුෂයා වන රාළට ආදරෙයි . ඉතාම කුරිරු විදියට දවසක් මල්ලිකා තීරණයක් ගන්නව. මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගමක සිදුවුණු සිදුවීමක් ..........................!
මල්ලිකා කලින් දා රාත්‍රියේ අගුළු කරවල බැදපු තෙල් තාච්චිය අරන් ඒකෙ ඉතුරුවෙච්ච තෙල්වලට අල කපල දාල අල බැදුමක් හදනව. අල තරමක් කරවෙන්න ඇරල ඒකට කබර තෙල් දාල හැඳිගානව.දැන් වැඩේ සම්පූර්ණයි,එච්චරයි .............!
නමුත් දැන් මේ කබරතෙල් විෂට සාමෙල් මැරෙයිද කියන එක ගැන මල්ලිකාට සැකයක් එනව. ඒ නිසා එයා සාමෙල් හවස වැඩ ඇරිල ගෙදර එන්න ඉස්සරවෙලා වස මිශ්‍රණය පරීක්ෂා කරන්න ගෙදර ඉන්න බැල්ලිට බත් එක්ක කලවම් කරල මේක කන්න දෙනව. සුළු මොහොතකින් බැල්ල කටින් සෙම හලාගෙන මැරිල ඇදගෙන වැටෙනව..............!
ගම්වල ඉන්න , නැත්නම් වන්නියෙ ඉන්න අපි , එහෙම නැත්නම් ඩොටේ අපි මේ කබරතෙල් ඒ වාගේම ළියැදි පෙන , නියඟලා, කණේරු සහ මෙකී නොකී වස විස ගැන හොඳාකාරවම දන්නව .නගරයේ ඔබට දැනගන්නත් ඒත් එක්කම මෙහි කෲර බව හා අනුවේදනීය පැත්ත ඔබට පෙන්නන්නත් එක්ක මම මේ කවිය මගෙ අළුත් කවි පොතට ඇතුළත් කළා. පොතේ නම යොදන්නෙත් මේ කවිය ආශිුතව...........!


කබරතෙල් ගිරියට වැටිල විනාඩි ගනනකින් මිනිසෙකුගෙ පපුවෙ සියළු අවයව බොක්කට කඩාගෙන පාත්වෙනව.එවැනි මිණියක් වැඩිවෙලාවක් තබා නොගෙන ඉක්මනින්ම වළලා දැමිය යුතුයි.මෙය වස දීමකින් සිදුකළ මරණයක් බවට තීන්දු වුවහොත් නීතිමය කටයුතු සඳහා යම් ප්‍රමාදයක් සිදුකළ යුතු සේම එය තදබල දුර්ගන්ධයන් යටතේ සිදුවන්නක්ද වෙයි.ඔබ කබරතෙල් ජලය සමඟ මිශ්‍රකර භාජනයකට හැලුවොතින් එහි කොතනක හෝ කබරයකුගේ රුව පිහිටන ආකාරයද දැක බලාගත හැකියි.මේ පිළිබඳව බොහෝ කරුණු කාරණා ගම්වල මිනිසුන් දන්නා බව ඔබට කිව යුතුයි .මා මෙහිදී කියන්නේද ඉතාමත් ස්වල්පයයි.............!


මැරිල මැරිල වැඩ ඇරිල ආව සාමෙල්ට මල්ලිකා කබරතෙල් සමග පිසගත් අල බැදුම බෙදල දෙනව. වල කපන තැන රාළ බොරුවට අඬ අඬත් ඉන්නව .........!
දැනට මාස හතරකට උඩදි මල්ලිකා පිස්සු හැදිල මැරුණ . එයාට සාමෙල්ගෙ මරණෙන් පස්සෙ කවදාවත් රෑට නිදාගන්න බැරිවුණා .මහ රෑ දොළහට එක⁣ට හීනෙන් කවුද ඇවිත් එයාගෙ බෙල්ල මිරිකනව කියල මල්ලිකා ගමේ හැමෝටම කියල තිබුන ...........!


ඔබේ අදහස මම දන්නෙ නෑ. නමුත් මම මල්ලිකාට නිවන් සුවය ප්‍රාර්ථනය කරනව.
මොන රෙද්දක්ද මන්ද මට කාටවත් වෛර කරන්න බෑ..........!!
එතනින් පස්සෙ සිදුවීම් ඔබට කවිපොතෙන් කියවාගත හැකියි ......


එළිවෙන්ඩ ළඟයි දැන් . ගම් තුලානෙ මිනීපිටිය පැත්තෙන් තනි නරියෙක් හූ කිව්ව . බඩා මාමගෙ ක⁣ඩේ ළඟ බල්ලො උඩුබුරනව. මේ කාලකණ්ණි බළල්ලු මෙතන පොරකනව. අනිවාර්යයෙන්ම දවස් හතක් යන්න කළින් කවුරු හරි මැරෙයි. කණ කොක්කු මහ ලියද්දට උඩින් ඊයෙ හැන්දෑවෙ සුදු ඇඳන් ගියෙ ඒකයි.........!!


මතකයිනෙ පොතේ නම...............!


" මල්ලිකා "


කරමූඩියෙ එකට අනං
කාපු පිලේ
මුරවාඩියෙ රා පොල්කටු
ගාපු තොලේ
මටත් හොරෙන් ගෑණිට
උල තියපු වෙලේ
මාව මතක් වුනේ නැද්ද
රාළ මලේ.............?


----------------------------------------------------
(උපුටා ගැනීම අවසන්)



ඒ තමා බෙනා අයියාගෙ වචන



දහවෙනි කවිය.... මඩමක ( ළමා නිවාසෙක) ඉන්න දරුවෙක් හිත... අතීතය....
බෙනා අයියෙ ඇයි බං උඹ අපට මෙහෙම කරන්නෙ.... 
කවි විසිපහට විසිපස් වතාවක් පපුව ඉරාගන්නෙ කොහොමද මම.....


දහ නම වැන්නේ ඔහු ලියනවා මෙහෙම...


" සස ජාතකේ හාවා... ඇත්තටම අපේ තාත්තා..."


බෙනා අයියා නොහොත් නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් ..... කවි උල් විසිපහක්ම ඇන්නා පපුවට.... රිදුම් දෙයි ඒත් ගලවන්නෙ කොහොම හිතකින්... මම දන්නවා ඒ උල් ගැලෙව්වොත් වඩාත් රිදෙන බව. ලය තුලින් ලේ කඳු ගලන බව.. ඒ හින්ද මම ඒ උල් තිබෙන්නට හරින්නම්...


ඔබත් ගන්න ඒ කවි හීතුඩු.... හැබැයි පොත් සල්පිලේ හොයන්න නැතිවෙයි... කතා කරන්න ඔහුගේ ප්‍රකාශකට... නොම්මරේ ඇති පොටෝ එකේ... එවයි මල්ලිකා.... පියුංගේ බයිසිකලේ නග්ගලා....






1 comment:

  1. දයාබර බ්ලොග් රචකය. පසුගිය වසරක කාලයක් පුරාවට ඔබ පෝස්ටුවක් ලියා නොමැත! ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ 5. පුරාවස්තු (Antiques) ගොනුවේ දක්වා ඇත.බ්ලොග් ලෝකයේ ස්වර්ණමය යුගය ඇති කිරීමට අප වෙහෙස වෙයි. එයට ඔබගේ නොමසුරු වෙහෙස කැපවීම හා දායකත්වය අවශ්‍යයය. කරුණාකර නැවත ලියන්නට පටන් ගන්න. ඔබගේ ලිපි කියවන්නට පාඨකයින් බලා සිටී. ලිවීම ඇරඹීමට සුදුසුම දිනය පසුවී හමාරය! එබැවින් අදම; මේ මොහොතේම පටන් ගන්න! ස්තූතියි!

    ReplyDelete