Saturday, October 25, 2014

විඳිමි දඬුවම් ......





හූ හඬක් ඇහුන...පොඩ්ඩක් විතර ගැස්සුනා....

එච්චරයි...අඟුරු කකා වතුර බිබී නෙමේනේ දැන් කොච්චි යන්නේ.... ජනේලේ ළඟ එහාපැත්තෙන් ඇය වාඩිවෙලා ඉන්නවා...ජනේලෙන් එපිට බලාගෙන.....


ඔහුත් ඇයත් විවාහ වෙලා තවම මාස දෙකක්වත් ගියේ නෑ ... ඉස්ඉස්සෙල්ලම ඔහුගේ ගමට යන්නයි මේ යන්නේ.... 
දැන් ඉතින් බස්වල තෙරපීගෙන යන්න ඕනැත් නැහැනේ....
ගිය සතියේ ඉඳන් යාල්දේවි යාපනේටම යනවනේ...... 
කදමලු බැඳගෙන දැන් පැය පහකින් යාපනේ......
ඔහුත් බැලුව ජනේලෙන් එපිට "අනුරාධපුර දුම්රිය ස්ථානය" කියල ගහපු බෝඩ් එක ඔහුට හිනා වෙනවා....ඔච්චමට......

ඔහුගේ හිත දිවගියා අවුරුදු දෙකක් විතර පිටිපස්සට.....අවුරුදු දෙකකට කලින් ඔහු නිකිණි ගේ අතින් අල්ලාගෙන කොළඹ කෝච්චියට නැග්ග වෙලෙත් මේ බෝඩ් එක මෙහෙමම බලන් උන්නා....
හ්ම්....හැබැයි සරදමට නෙමේ....... හ්ම්....

ඔහු රාජීව්...... උප්පැන්න සහතිකේ ලියල තිබ්බේ ජාතිය ලංකා දෙමළ කියල...... 
ඇය නිකිණි.....ඇගේ උප්පැන්නේ තිබ්බේ "සිංහල " කියල..........

අවුරුදු දෙකකට කලින් ඒත් ඔක්තෝබර් මාසේ දවසක්.....
වටින් පිටින් වැහි බීරීම තිබ්බත් මහ වැස්සක් කඩන් වැටුනේ නෑ ....වැටුනේ මල් වැස්සක්..... 
ඉස්ඉස්සෙල්ලම ඇයගේ අතත් අල්ලාගෙන කොළඹටම ගියා..... 
ඊට පස්සේ කොච්චරක් නම් දවස් ඔහු..ඇයත් එක්ක මෙහෙම ගියාද....
කවුරුත් දන්නේ නැහැ....යාල් දේවි විතරයි දන්නේ......

"කවුරු ගැනද කල්පනාව?" ඔහු පියවි ලෝකෙට ආවේ බිරිඳගේ කටහඬින්.....

කෝච්චිය ආයෙත් නවත්තල....හැබැයි අනුරාධපුරේ ඉස්ටේසම පහුවෙලා.....සිග්නල් නැතුවද කොහෙද......
බිරිඳ තමන් දිහා නුරුස්නා බැල්මක් හෙලනවා ඔහු දැක්ක.....

ඊයේ හවස බිරිඳත් එක්ක වෙච්ච වචන හුවමාරුව ඔහුට මතක් උනා.....
බින්න බැහැපු මනුස්සයෙක් ඕනෑ වෙලාවක තල් අත්තයි , හුළු අත්තයි ලෑස්ති පිට තියාගන්න ඕන කියල සිංහල කියමනක් තියෙන්නේ....ඒත් ඔහු ඒක දැනන් හිටියේ නෑ ....දැනගන්නෙත් නැතිවෙයි 
කවදාවත්ම.....
කවුරු කියල කියල දෙන්නද...දැන් ඉතින් ඔහුට


හ්ම් ..... නිකිණි ගැන මතකය .... 
මේ වටපිටාව කොච්චරක් නම් සුන්දරද ඉස්සර ..... ඒත් ඒ මතකයම ඒ වටපිටාවම දැන් කොච්චරක් ඔහුව රිදවනවද...ඒ නිකිණිගේ වරදක් නිසා නෙමේ...ඔහුගේම වරද හින්ද.....
 අනේ දෙයියනේ මම නිකිණිව නැති කරගත්ත නේද...ඔහු ඔහුගෙන්ම අහගත්තා....
අවුරුදු දෙකකට කලින් ඒ ආදර කතාව පටන් ගන්නකොට කිසි දෙයක බරක් පතලක් තිබුනේ නෑ ඔහුට.... අද වගේ මතකයි ඇය පුනපුනා ඇහුව ඔහුගේ ගෙදරින් කැමති වේවිද කිය
ල.....මේ සිංහල දෙමළ ප්‍රේමයට.....හ්ම්......
ඒත් ඒ අහිංසක ඇස් දැක්ක ඔහුට හැමදේම අමතක උනා.... 
වුර්තියෙන් ඉංජිනේරුවෙක් වෙච්ච ඔහුගේ වටිනාකම කසාදයකදී තීරණය වෙන්නේ ලක්ෂ ගණනින් නොව කෝටි ගණනින් බව ඔහුට අමතක උණා ..... 
ඒ සමාජය එහෙම තමයි දොස්තර කෙනෙක් , ඉංජිනේරුවෙක් වගේ ඉහල යයි සම්මත රැකියාවක් කරන කෙනෙක් බඳින්න නම් මනාලියගේ පැත්තෙන් කෝටි ගණනක දෑවැද්දක් දෙන්න ඕන.....
රජීව්ට තමන්ගේ අම්ම ගැන තරහකුත් ඇති වෙනවා.... අම්මයි තාත්තයි දෙන්නම ආණ්ඩුවේ රස්සාවකුත් කරලා ... නංගිලා දෙන්නට කිසිම දෙයක් එකතු කරලා නැහැ..... මගේ කසාදෙම වෙන්දේසි කරන්න බලන් හිටිය..... 
තමන්ගේ කසාදෙ දැවැද්ද හම්බ උනාම දෙන්නම් කියල දෙන්නම් කාසි වලට බන්දල දුන්නු නංගිලා දෙන්නගේ මූණු මතක් උනා ඔහුට...

ඇයි මිනිස්සු මෙච්චර සල්ලි මත්තෙම නැහෙන්නේ....දවසක් නිකිණි කිව්වා මතක් උනා.....

නංගිලාගේ සල්ලි ගැන මතක් කරලා ගෙදරින් ගෙනාපු මංගල යෝජනාවට ඔහු කැමති උනා තමයි ඒත් .........

හ්ම්.....අලුයම හෙලූ කෙල පිඩක් වගේ නිකිණිව අමතක කරපු හැටි......

" වඩේ මල්ල විස්සයි....උණු උණු වඩේ ......." වඩේ කාරයාගේ සද්දෙට දැහැන් බිඳුණා .
නිකිණි කොච්චර ආසද පොඩි වඩේ කන්න.....පොල්ගහවෙලින් කෝච්චියට නගින වඩේ කාරය ඉස්සර පුරුද්දට වගේ ඔවුන්ව හොයාගෙන එනවා......

අනේ.....නිකිණි කොච්චර බැගෑපත් උනාද.... 
අපි දෙන්නම එකතු වෙලා නංගිලට සල්ලි හොයල දෙමු කිව්වා..... 
 ඒත් ඔහු එච්චර අවදානමක් ගන්න කැමති උනේ නැහැ.....
ඇයට දුන්නු දුක නේද තමන්ට අද පඩිසන් දෙන්නේ කියල ඔහුට හිතෙනවා......

දැන් ඔහුගේ අභිමානය....ජීවිතය....ගව්රවය හැමදෙයක්ම බිරිඳ සල්ලි වලට අරන් වගේ.... 
ඉංජිනේරුවෙක් හරි දොස්තර කෙනෙක් හරි වෙන්න බැරි උන ඇය අද කියනවා මගේ හස්බන්ඩ් ඉංජිනේරුවෙක් කියල...සල්ලි නිසා..... 

ඒත් නිකිණි.......
හ්ම් තාම තනිකඩයි......

ආයෙත් යාල් දේවි හූ කියනවා..... 
කෝච්චියත් මට කොලොප්පන් කරනවා....ඔහු හිතුව......

ඔහු දන්නේ නැහැ කරුණාරත්න දිවුල්ගනේ කියන සිංහල ගායකයා ඔහුගේ සිතුවිලි ගැනම සින්දුවක් කියල තියන වග..... රෝහණ වීරසිංහගේ සංගීතයට.. සුනිල් ආර්.ගමගේගෙ පද.......
ඔහු කවදාවත්ම දැනගන්න එකකුත් නැහැ....
නිකිණිත් ඔහු ළඟ නැනේ ...කියල දෙන්නවත් ...................

විඳිමි දඬුවම් ......
කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම්
ප්‍රේමයේ ගිවිසුම්
මෙනෙහි කරමින් යටගියාවේ
සොඳුරු සැමරුම්
විඳිමි දඬුවම්..........

ගලා ගිය ගඟ දිය සිහිල ලැබ
සිතක දාහය නිවාලයි
සිඳී ගිය ගඟ ළවැලි ගිනි ගෙන
සිතක සෙනෙහස දවාලයි
සොඳුරුම අතීතය සිහිනයක් වී
සිතක සෙනෙහස දවාලයි..........

පලා ගිය කෙවිලිය ගැයූ ගී
තාම ඉහ ඉද්දර ඇසෙයි
අනේ යන තුරු නොවී සැනහී
ඉන්නවා නම් හිත නිවෙයි
කළුවර රැයේ සුබ සිහිනයක් වි
ඉන්නවා නම් හිත නිවෙයි.......





1 comment:

  1. අපූරු කතාවක් කැළුම්... විදිමි දඩුවම්...
    ඒක නං ඇත්ත... පට්ට සිංදුවක් වගේම පට්ට කතාවක්...
    ජයවේවා

    ReplyDelete