Wednesday, December 10, 2014

රජවරු තව බයයි දස්කොන් කිවිදුන්ට......



ටික දවසක ඉඳල ලියන්න කියල හිතන් හිටියට වෙලාවක් තිබ්බේ නෑ. මම මගේ බ්ලොග් එකේ තනි පුද්ගලයින් වෙනුවෙන් දීර්ඝ ලිපි ලියල තියෙන්නේ තුනයි. අද ලියන්න යන්නෙත් කලින් ලියපු කෙනෙක් ගැනයි.....මේ නැවත වරක් මම ලියන්නේ ඔහු මගේ මිතුරෙක් නිසා නෙමෙයි.... ඔහු ගැන ලියන්න ගොඩක් දේවල් තියන නිසා ..... අවන්හල අඩවියේ මහේෂ් රත්නායක සොයුරාත් ඔහු ගැන ලියල තිබ්බ....මේ අපේ නුවන් තොටවත්ත ගැන......
අවන්හලේ මහේෂ් ලියල තිබ්බ වගේම මටත් ආවා හිනිපෙත පාමුල පොතේ පිටපතක්....නොමිලේ... එදාම තමයි මගේ අධ්‍යාපන කටයුත්තකට අදාළ පොත් වගයකුත් ලැබුනේ.... හිත දෙගිඩියාවෙන්....මොකක්ද ගන්නේ ඉස්සෙල්ලම අතට....
ඒකට උත්තරෙත් ඔහු ලියල තිබ්බ කලින් කවි පොතේ......


හන්තානෙන් නැගෙන මිහිදුම් සළුව යට
පෙන පිඬු නගන මහවැලියම සුවඳ කොට
සරසවි බිම වසා කහමල් පිපෙන කොට
පොතකට යටව මිහිදන් විය හැකිද මට....


හ්ම්.....අනිත් පොත් ගොන්නම පැත්තක තියල ගත්ත නුවන්ගේ පොත.....හිනිපෙත පාමුල....


පොතේ පිදුමම කවියක්.....


තම දිවිය
අමුසොහොනක්ව ගිය
එක් කටුක සමයක
එහි පිපුණු මිනී මල්
බෝ දුකින් අලෙවි කර
රැගෙන දුන් උපාධිය
උකස්කර මිලට ගත්
සැප රියේ
ඉදිරි අසුනට ගොඩවී
කැරකෙන පුටුවට මා එනතුරු
පා පුවරුවක එල්ලී පැමිණ
ලී පටි බංකුවට වී
උපේක්ෂාවෙන් මඟ බලන
සුවහසක්
ශ්‍රී ලාංකික මවු වරුනට සහ පියවරුනට ......


මේ හැඬවෙන්නේ ඔහුගේ අව්‍යාජ දොස්තර හිත නොවේද.....මම හිතන්නේ නුවන්ගේ පොතේ පළමු කවිය මේක.....
"හිනිපෙත පාමුල" විවිධ පරාසයන් ඔස්සේ ගලායන කවි වලින් පොහොසත්...ඒ හැම එකක්ම ගැන කියන්න තව පොස්ට් දෙක තුනක්ම ලියන්න වෙයි.... මුලින්ම මම හිතුව මේ පොතේ තියන විරෝධාකල්ප ගනයේ කවි කීපයක් ගැන කතා කරන්න.... අර සේකර කියනවා වගේ බස්රියේ ...දුම්රියේ....දාඩිය වැකුණු සෙනග අතර හිඳ ....සිගරට් කොලේක පිටිපස්සේ කවි ලිව්වේ නැති උනත්.... උඩින් ලිව්ව පිදුමේ කියන විදියට.....කැරකෙන පුටුවේ ඉඳන් ලිව්වත්....පීඩිත පන්තියේ දහඩිය සුවඳ මේ කවි වල දැනෙනවා.....


තියනවා කවියක් ඒකෙ මාතෘකාව " ලොකු ඉස්කෝලේ මහත්තයෝ.."


ඔන්න අරගෙන ආව
මගේ පුංචිම එකා
ළඟක ඉඳලා මූට
රෝගයකි සුව නේන


ලියනවා කවි නිතර
රැඳෙයි සිතුවම් අතර
ඉන්ජිනේරුවෙක්වත්
නූනොතින් හෙම කෝම


මම හිටියේ නෑනෙ මූ
වැඩෙනකොට ලඟපාත
අම්මගෙන් මයි මූට
බෝ උනේ හැම දේම


එපා කලබල වෙන්න
ඉඳගන්න ඇලපාත
හෝඩියේ පන්තියට
පොඩිඑකා ඇරලන්න


වැඩිය නෑ දෙතුන් වසරක්
ඔහොම ඉවසන්න
ඔය නපුරු ලෙඩ රෝග
ඇරිල යයි නොදැනීම


...................................


මේ උත්සව කාලෙනේ.... සෙනග ඕනෑතරම් සුපර් මාකට් ගාව...ඒ අසල පුංචි දරුවන් අතේ තියාගෙන සිඟමන් යදින කාන්තාවන් කොච්චරක්නම් දැකල තියනවද මම...ඔබත් දැකල ඇති...ඒත් තොටියා එය දකින්නේ මෙහෙම


බඩගිනි දැනෙන විට ලෙස හීතල කැමති
කඩපිල අසල බිම හිඳ දරුවෝ හඬති
කඩයේ දොරෙන් නෙක දන දෙවියන් රුවැති
සුනඛ බොජුන් පොදි ගෙන දෙව්ලොව වඩිති


පබුදන හදින් යුතු අන් යහපත කැමති
බලු පැටවෙකුගෙ දිව රස අහරක් තබති
වැදුවත් මනුකුසක නිසි අහරක් නොමැති
මා පුතු බලුත් නොවටිද මහතුනි පිනැති


රජවරු ඉවත ලූ බොජුනක් කොතන වෙදා
මා පුතු සොයයි කුණු බඳුනක පතුල බලා
මේ දුක යලි දිනෙක උහුලනු නොහැකි නිසා
බලු කුක්කෙක් වදමි බල්ලෙකු සමඟ නිදා


ඔහු මේ සැර අතුල් පහරක් ගසන්නේ වත්මන් ඊනියා මානව හිතවාදී සමාජයට නොවේද....


"දුටුවෙමි " යන මාතෘකාව ඔස්සේ ගලායන තවත් මනරම් කවි පෙළක් ඇත. ඉහත කවි පන්තියේ මෙන්ම තොටියා මෙහෙදීද කවි ගණනාවක් ලියා අන්තිම කවියේ අන්තිම පේලියෙන් රිදෙන්නට අතුල් පහරක් ගසයි.... අධිනීතීඥ රන්බණ්ඩා සෙනවිරත්න "ළඳුනේ " ගීතයෙන් ලියූ කතාව ඊට වඩා මුවහත් පිහියක් ලෙස සකසා සමාජයේ හදවත් පසාරු කරගෙන යන්නට ඔහු අනින්නේ මෙහෙම.....


බෝ ගහ යට පිළිම ගොඩයි දැවෙන දනන් දුක නිවන්න
සෙවණ තිබේ හිස නැති දෙවි පිලිමයටත් මදි නොවෙන්න
ඉර ගිනිගෙන දැවෙන කලට හිතුනත් ආපහු හැරෙන්න
පිටුපා සිටියෙමි දිනයම බැහැ ඒ බුදුරුව දකින්න


දවස් හතම ගහ යටමයි කුඩයත් බෑ ඉහලගන්න
පුංචි එකා බඩගින්නේ එක වේලක් සරිකරන්න
පඬුරු දමා යන අතරේ අයැදින නෙත් දෙස බලන්න
පිං කරන්න කැමති කෙනෙක් හෙටවත් ඒ දැයි කියන්න


ජීප් රථය හඳුනමි මම හැකිය අකුරු කියවගන්න
ඉතුරු වෙළෙන්දන් දිව්වා පෙර ඔය මහතුන් බහින්න
ගෑනු කමට ගෑනු කෙනෙක් ගරු කරනා හැටි බලන්න
කකුල් දෙකේ සාරි පොටක් පැටලුනාට මක් කරන්න


පුරුදුයි මට නිල රථ වල පසුපස අසුනට නගින්න
ජීප් එකත් නිල රථයකි යන්නෙ කූඩුවට ඇරෙන්න
මම එන්නම් එපා ඉතින් සාරි පොටෙන් නම් අදින්න
දෙකයි ඇත්තේ ඉරුනෝතින් බැහැ ගහ යට මගබලන්න


ජීවිතයම හිර ගෙයක්ය ඉපදුන දා සිට ගෙවන්න
කාකි සූට් ඇඳපු මිසී එය විතරක් හිතට ගන්න
තොගෙන් ලොවට කුමන පලද කියා එපා මට ගහන්න
අනේ මිසී ගෙදර ගිහින් මහත්තයා ගෙන් අහන්න.....


ඔහුගේ තම්බපන්ණි නම් කව් පෙලද ඉහත ගණයට වැටෙයි.....


අව්වට පාට යන රන්වන් මල් පෙන්නා
පරසතු රාමලා ඇවිදින් ගෙනයන්නා
දළ සිඳ දැමූ කඩොලැතු මළ බව දන්නා
දස මහා යෝධයින් තවමත් වැලපෙන්නා


උලකඩ දේවි ලත් පුත් කුමරුට තෙදැති
කිරි නැති නිසා පිටරට යුවලකට දෙති
ටොරින්ටන් මැතිඳු ළඟ රට ධනය අථී
දියසෙන් කුමරවරු අදටත් වැඩට යති


දනුදර උළෙල වල දුන් හී ගෙන විදිති
සහතික බෙලෙන් සත්තුක සේවෙට බැඳෙති
ඇදුරු දිසාපාමොක් අන් මඟ නොමැති
මසුරු සිටාණෝ මැදුරෙහි දිය අදිති


සිටුදුව එන අතර රෑ වැඩ ඉවර වෙලා
වළලු කදට රැවටී ගැහැනියක වෙලා
විශාකා තොමෝ කණකර සින්න වෙලා
තලිය රැගෙන ගොස් ඇත මිත්තනිය පෙලා


කටිනා නූල විකුණාගත නොහැකි වෙලා
ජීවහත්තලා කුසගිනි විඳිනු බලා
ඉවසනු නොහැකි විජයත් මත් පොලට වෙලා
කුවේණියට මැද පෙරදීග යන්න වෙලා


අතීත කතා වල එන චරිත මනාව පෙළ ගස්වමින් ඔහු මේ දකින්නේ වර්තමාන සමාජයයි.මෙසේ සමාජය දෙස බලන තොටියා පරිසරයේ අප දකින දේවල නොදකින පැත්තක් දකින්නේ මෙහෙම ... මේ කවි පෙලේ මාතෘකාව " ඩෙංගු"


උණ හැදිලා ඇඳට වෙලා
ඉන්න ඔයා ගැන හිතලා
සින්දු කියන්නට ආවේ
සනීප වන තුරු ඔයාට


පෙර පවකට ඉපදෙනකොට
ඩෙංගු මදුරුවෙක් උනාට
ඩෙංගු දුන්නේ මගෙ අම්මට
මිනිස්සුමයි දන්නවාද?


බඩේ තිබුණු බිත්තර ටික
බේරගන්න ලේ බිව්වට
බෝ කරන්න ලෙඩ ඔයාට
ඕන උනේ නෑ අම්මට


මාව හොඳට හදාගන්න
අම්ම බින්දුවක් බිව්වට
තාත්ත ලේ බිව්ව බවක්
ඔයා අහල තියනවාද


ඩෙංගු මදුරුවන් මරන්න
හතර අතේ දුම් ගැහුවම
ලේ නොබීපු තාත්තටත්
යන්න උනා මියපරලොව


අනේ අපිව නොමර ඉන්න
පණ තියෙනා එකම මදිද
අම්ම ගත්ත ලේ බින්දුව
ඔය තරමට වටිනවාද


හොඳ දරුවෙක් හදාගන්න
පීකුදු කන අම්මලාට
පුංචි මගේ දුක් ගීතය
ඔයා ගිහින් කියනවාද


හ්ම්.... විද්‍යාත්මක කවියක්.....මට වචන නෑ ......
ඇඟේ වහපු මදුරුවෙක්ව තලන්නේ නැතුව ගසල දැම්ම මම......




ලියනවනම් තවත් ලිව්වැකි .....ඒත් කවි පොතම මෙතන ලියන්නේ කොහොමද......
ඔහුගේ සමනල සිත්තරු නම් ළමා ගීය 2014 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ ප්‍රශස්ත ළමා ගේය පද රචනය යටතේ අවසන් නිර්දේශිත නම් තුන අතරට ආව....


මේ සටහන ඔහුගේ කවියකින්ම හමාර කරන්නම්......


මුරසෙන් සිටින මුත් වාසල ඉතිරෙන්ට
අගුලක් කොහිද පතිවත සිරකර ලන්ට
දඬුවම් දුන් නමුත් හිසකඳ වෙන්වෙන්ට
රජවරු තව බයයි දස්කොන් කිවිදුන්ට

                                          ( තොටියයි මමයි...කැම්පස් එකේ අන්තිම දවස්වල )

2 comments:

  1. නියම නියමම නියම කවි......!! කියලා වැඩක් නැත....

    ReplyDelete
  2. උපහාසයෙන් යුතුව සමාජය විනිවිද දකින්නනට දැරූ සාර්ථක උත්සාහයක්....

    ReplyDelete