Monday, March 9, 2015

පුංචි බබාට දුක හිතිලා

                                                                ( පුංචි පුතා )

පුංචි බබාගේ අප්පච්චිට ඔලුවේ කැක්කුමක් හැදිලා . 
සාලේ ලොකු පුටුවකට වෙලා නිදි. 
පුංචි බබා මල්ලියි අම්මියි එක්ක කාමරයට වෙලා සෙල්ලම් කරනවා.

" පව්, අප්පච්චිට නින්ද ගිහිල්ලා , උදේ ඉඳන් වැඩ කරලා මහන්සියට වෙන්නැති " පුංචි බබාට හිතුනා.

 
ලඟට ගිහින් දෙපාරක්ම බැලුවා. 
පුංචි බබා කාමරයේ සෙල්ලම් කලත් හිතට හරි නැහැ. 
ආයෙමත් සැරයක් අප්පච්චි ළඟට ගිහින් කතා කළා. 
අප්පච්චි ඇස් ඇරියේ නැහැ. 
අම්මියි මල්ලියි දෙන්නත් සාලෙට ආවා ...
පුංචි බබා අප්පච්චිගේ අතකින් ඇදලා ඇහැරවන්න හැදුවා. සෙල්ලම් කරන්න එන්න කියලා. 
අප්පච්චිට තරහ ගියා අම්මිටත් බැනලා කාමරයට ගිහින් දොර වහගත්තා.
පුංචි බබාට දුක හිතුණා .
එයා අත්  දෙකෙන් මූණත් වහගෙන එයාගේ පුංචි පුටුවේ ඉඳගෙන අඬන්න ගත්තා. 
අම්මි ඇවිත් පුංචි බබාගේ ඔලුව අතගාලා තුරුළු කරගත්තා. ඒත් කතා කලේ නැහැ. 
"අම්මිටත් දුක හිතිලා වගේ " බබාට හිතුනා.
එයා සද්ද නැතුව නැගිටලා ගිහින් කාමරේ දොර පෙනෙන තැනකට වෙලා බලා හිටියා
ඒත් අප්පච්චි එලියට ආවේ නැහැ.....
ආයෙම අම්මි ලඟට ගියා. 
"අම්මි" පුංචි බබා කතා කළා. 
අම්මි හිනා වුනා ඒත් යන්තමින්...
පුංචි බබා හයියෙන් කෑගැහුවා.. පුංචි දඟ වැඩකුත් කළා. 
ඒත් අම්මි සද්ද නෑ . වෙනදානම් පොඩි දේටත් අම්මි හිනා වෙනවා, කෑගහනවා.

"අද ගෙදරම හරිම පාලුයි" පුංචි බබාට හිතුනා. 
පුංචි බබා හෙමින් හෙමින් අම්මි ලඟට ආවා. 
අම්මි බබාව වඩා ගත්තා. 
අම්මිගේ මූණත් රතු වෙලා. ලොකු කඳුළු කැට දෙකක් අම්මි ඇස් දෙකේ හංගාගත්තා . බබා දකී කියලා.

"අම්මි අඬනවා " පුංචි බබාට හිතුනා. 
පුංචි බබා කරදර නොකර කෑම කාලා නිදා ගත්තා. 
අප්පච්චි ඇවිත් පුංචි බබාගේ ඔලුව අතගෑවා.
"මම කරදර කල නිසා තමයි ඔක්කොම උනේ" පුංචි බබාට හිතුනා.
ඒත් කියන්න බයයි. ආයෙත් අප්පච්චිට තරහා යාවි. 
පුංචි බබා තද කරලා ඇස් පියා ගත්තා.

(ඕක ලියල තිබ්බේ මගේ ආදර බිරිඳ.... ඕකෙ අකුරක් පාසා ඇත්ත.... පුතා නිදි....මම පුංචි පුතාගේ යටි පතුල් දෙකට මූණ තියල ලඟින් නිදා ගත්ත.... සොරි පැටියෝ..... කොහොමද මම මගේ වැරැද්දට වන්දි ගෙවන්නේ....කොමෙන්ටුවක් තියල යන්න )

ගැලපෙන සින්දුවක් හිතද්දී මුලින්ම මතක් උනේ සමන් ලෙනින් කියන මේ සින්දුව.....

පද - හේමමාලි බණ්ඩාරනායක
සංගීතය - නාලක අංජන කුමාර

මගේ පුංචි තරු කැකුලේ
සිනාසෙන්න හද ගැඹරේ
මේ සෙනෙහසේ නවාතැනයි
මේ සෙනෙහසේ නවාතැනයි...

සුමුදු පා යුග සෙමින් සිඹ සිඹ
මව්ගෙ ඇකයේ යහන් සුව විඳ
කිරි සිනා පිපෙනා බලා ඉන්නම්
පෙරළි පෙරළි වැටී නැගිටින
පැටලි පැටලී දෙපා ඔසවන
පුතු දිනෙක දිලෙනා බලා ඉන්නම්

කුරුලු නැළවිලි ගැයුම විඳ විඳ
සිරිමහා බෝ පවන් පිස එන
පහසේම නිදනා මගේ රන් කඳ
සුරඟනන් ගැන කතා අස අස
විරුවරුන් ගැන ගැයෙන කවි රස
සිහිනෙන්ම විඳිනා මගේ රන් කඳ




1 comment: