Monday, May 4, 2015

සංසාරේ පිය සටහන්....




එතකොට මගේ වයස අවුරුදු පහක් නැත්නම් හයක් ඇති.. 
වෙසක් මාසෙ..
දෙපෝයට දෙතුන්දොහක් ඇති. කිරි අම්ම මාව ඔඩොක්කුවෙ තියාගෙන කතන්දර කියනවා.. ගොඩක් දේවල් ඇත්ත සිද්දි.. 
තව සමහරක් කිරි අම්මාම හදපුව..
"ඒ කාලේ වාහන නෑ පුතේ .. අපි වට්ටාරං යන්නෙ පයින්.. ඉස්සර ඔය මාඔය උඩින් තිබ්බේ වැල් පාලමක්. "

කිරි අම්මා කියන කතා මම කට ඇරගෙන අහගෙන ඉන්නවා.ඔන්න කිරි අම්ම ආයෙත් කතාව පටන් ගන්නවා.

"වෙසක් කාලෙට ඔතන සෙනග පාලමට ඇතුල් කරන්න තරුණ පිරිමි ඈයෝ ඉන්නවා. සෙනග වැඩියෙන් නැග්ගොත් පාලම කඩා වැටෙන හින්දා . .....ඔන්න ඉතින් පදමට රාබීපු කට්ටියක් දවසක් ඇවිත් අර පාලමේ මුරට හිටපු කට්ටිය එක්කත් රණ්ඩු වෙලා පාලමට නැග්ග. පාලම නිකං ගැරඬියා ඇඹරුනා වගේ අනිත් පැත්ත ගැහුවා. මිනිස්සු කෑගැහුව සද්දේ මෙහාටත් ඇහුනා...."

ඔය කියන පාලමේ ඉඳන් හැතැප්ම පහක් විතර මෙහායින් තියන අපේ ගෙදරට මිනිස්සු කෑගහපු හැටි ඇහුනේ කොහොමද කියල අහන්න මට ඒ කාලේ තේරුමක් තිබ්බේ නෑ .....
එත් මට දැන් තේරෙනවා උන්දැ කිව්වේ මහා සද්දයක් ආව කියන එක මිසක් ඇත්තටම සද්දේ ඇහුන කියන එක නෙමේ කියල දැන් මට තේරෙනවා. 
උන්දැ කොහොමත් ඔය වගේ ආලවට්ටන් එක්කහු කරලා කතාකරන්න දස්සයි.

වෙසක් එකට වට්ටාරම් (වට්ටාරම රජමහා විහාරය ) යන එක කිරි අම්මලාගේ කාලේ ඉඳන් මම දොස්තරෙක් වෙනකන්ම අනිවාර්යයෙන් කල දෙයක්. 
සමහර දවස් වලට බස් නැති උනාම එක එක රවුං පාරවල් වලින් ගිහිල්ල අර පරංගියා කෝට්ටේ ගියා වගේ ගිය දවසුත් තිබ්බා. 
පුංචි කාලේ වට්ටරන් යන්න මට හේතු දෙකක් තිබ්බා.
එක, සල්පිලෙන් සෙල්ලම් බඩු ගන්න එක....
දෙක, අයිස් ක්‍රීම් කන එක....
කඩවල් වල කොච්චර අයිස් ක්‍රීම් තිබ්බත්..අර ඇන්ජිම ඉස්ටාර්ට් කරලා තියන අයිස් ක්‍රීම් වෑන් එකකින් අයිස් කෝන් එකක් කනවා වගේ රහ නෑ. 

අවුරුද්දටම ඒවගේ රස අයිස් කෝන් කන්න දෙපාරයි හම්බ වෙන්නේ. එකක් වෙසක් එකට වට්ටරමෙන්,
අනෙක පොසොන් එකට දලුග්ගලෙන් (දළුග්ගල විහාරය,රඹුක්කන) ඒකෙනුත් රසම වට්ටරමේ අයිස් ක්‍රීම්.....

ඔය හැම ගමනක්ම යන්නේ අම්මයි,තාත්තයි,මමයි බස් එකේ.... 
අම්මව නැතුව එක පාරක් වට්ටරම් ගියා ...නමසිය අසූ හතේ.... 
අම්මට මගේ මල්ලි හම්බ වෙන්න ඔන්න මෙන්න.
ඒ සැරේ ගිහින් ගත්තේ සෙල්ලම් අයිස් ක්‍රීම් කාරයෙක්.....
ඒ සෙල්ලම් බඩුව මගේ ළඟ තවම තියනවා......
මගේ පුතාල දෙන්නත් ඒකෙන් සෙල්ලම් කරනවා දැන්.....

මම සතුටින් හිටියේ..
ඊළඟ අවුරුද්දේ අපි හතර දෙනෙක් ඉන්නවා වට්ටරම් යන්න....
අම්මයි,තාත්තයි,මමයි,මල්ලියි....
ඒත් ......
ඒත් ..ඒ..හීනය...හී
යක්ම උනා...


ඉතින්...ඊට පස්සෙත් වට්ටරම් ගියේ අපි තුන්දෙනාම තමයි...... 
එක සැරයක් වට්ටරම් ගිහින් අපේ අම්මා ලොකු කුකුළා පහනක් උස්ස ගත්ත. 
ඔන්න ඉතින් ඒක උස්සගෙන වට්ටාරමේ ඉඳන් පොල්ගහවෙල ට එන්න ඉන්නවා අපි....
බස්වල ඇඟිල්ලක් ගහන්න බැරිතරම් සෙනග...
කොහොම කොහොම හරි මිනිස්සුන්ගෙනුයි,බස් කොන්දොස්තරගෙනුයි බැනුම් අහගෙන එක බස් එකකට පටවගත්තා. 

මට මතක් උනේ පෝයදාට රූපවාහිනියේ යන සංසාරේ පිය සටහන් නාට්ටියේ කොටසක්.....
ඒකෙ එක කතාවක සැමියයි බිරිඳයි දරුවොත් එක්ක වෙසක් බලන්න යනවා....
බිරිඳ කඩේකින් ලොකු ඇලුමිනියම් මුට්ටියක් උස්සගන්නවා.
ඒක බස් එකක දොරෙන් ඇතුලට ගන්නත් බෑ . 
පස්සේ මනුස්සය ඒක ජනේලෙන් එලියට තියල අල්ලගන්නවා.
දැන් බස් ඩ්‍රයිවර්ට සයිඩ් කන්නාඩියෙන් පාර පෙන්නේ නෑ . 
බස් එකේ කට්ටිය බැනල බස් එකෙන් බස්සනවා. 
අම්මයි ළමයි ටිකයි බස් එකෙන් ගෙදර යද්දී අර මනුස්සය මුට්ටියත් කරේතියාගෙන පයින්ම ගෙදර එනවා.......
නළුවනම් මතකයි..ජයලත් මනෝරත්න හිටියේ...අනිත් අය මට මතක නෑ


හ්ම්...

හොඳ වෙලාවට අපේ තාත්තට නම් එහෙම අකරතැබ්බයක් උනේ නැහැ.
පොල්ගහවෙලින් අපේ ගෙවල් පැත්තට යන බස් ඒකේ ඩ්‍රයිවර් හිටියේ අපේ බාප්පා.
එයා ඒ දවස්වල ලංගමේ වැඩකරේ.....


කොච්චර නම් පුංචි පුංචි ලොකු දේවල් තියනවද.....
ඒත් දැන්.....
මම වෙසක් දවසෙත් වැඩ....රෝහලේ....
වෙසක් කියල නිවාඩු නැහැනේ....
මගේ පුංචි උන්ව වට්ටාරම් එක්කන් යන්න තියා ගමේ පන්සලටවත් යන්න බැරි උනා. 
මේ වෙලාවට තමයි හිතෙන්නේ මොන කරුමෙකට දොස්තරෙක් උනාද කියලා.....
එහෙම උනානම් මට දරුවොත් එක්ක වෙසක් බලන්න යන්න තිබ්බ.
දරුවන්ට අයිස් ක්‍රීම් අරන් දෙන්න තිබ්බ....
අපේ දුප්පත් තාත්තල කරන දේවල් වත් මට කරන්න බැරිහැටි...
මගේ දරුවන් වෙනුවෙන්.......
හ්ම්....

ඉස්සර වෙසක් කියනකොට මගේ හිතට එන එකම සින්දුවක් තිබ්බ...
ඒක ඇහුනේ නැත්නම් වෙසක් නෑ වගේ......
අහන්න දෙන්නද ඔබට......
තව මොනවා කියන්නද බුදු ගුණ කියනු මිස.....
මේ අමරදේව මාස්ටර් .....පද වැල චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ...

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුධ්තස්ස//

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ//

සැනසෙමු පුදදී මුණි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ
පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ

සනසා මුලු ලොව නිවන් ලබා දී
පුන්‍ය මහෝධදි ශාන්ත සමාධී…//
සණරාමර ගුරු ලෝක ශිවන්කර..//
බුද්ධ දිවාකරයාණෝ…
මාර පරාජය කළ මුණිදුන් ගේ..//
කරුණා සීතල මෙත් දහරා
ගලා බසී තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා අම සෙත සාදා

බුදු රැස් කැටිවී නැගි ආලෝකේ
පිසලයි දුකදුරු මුළු තුන් ලෝකේ

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ//



මේ ගීය ගැන වරෙක අමරදේවයන් මෙහෙම පවසනවා...

“රන්මුතුදූවේ “පාරමිතා බල” ගීතය ලියන්ට, මානවසිංහ තෝරාගත්තෙත් ශේෂා පළිහක්කාර, ඇත්ත වශයෙන් ම, ඒ ගීතය වෙසක් තොරණක් පසුබිම් කරගෙන ගායනා කරන ගීතයක්. ඊට පස්සේ හැම වෙසක් තොරණකටම මේ ගීතය නැතුවම බැරි වුණා. “පාරමිතා බල” ඉතාම ජනප්‍රිය වුණු ප්‍රබල ගීතයක්. මෙම ගීතයේ මුල් පදයේ ගණ පිහිටීම ඉතාම සුබ බව, මානවසිංහ ඒ දවස්වල කිව්වා මට මතකයි.”

“ගීතය පටිගත කෙළේ, හැඳල ගුණරත්නම්ගේ චිත්‍රාගාරයේ. එහිදී ලංකාවේ අතිශූර වාදන ශිල්පියකු වූ ඇම්.කේ. රොක්සාමි, තබ්ලා වාදනය කෙළේ ඩී.ආර්. පීරිස්. ගීතය පටිගත කෙළේ මිශ්‍රා නමැති ඉන්දියානු ජාතිකයෙක්.‍ මම ගීතය ගායනා කරනවා. නමුත් මිශ්‍රා එය පටිගත කරන්නෙ නැහැ. ඔහු ගීතයට සවන් දීගෙන ඉන්නවා. මම ඇහුවා ඇයි කියලා. ඔහු මෙහෙම කියනවා. “I am enthralled by your melody. I forget to record.” ගීතය පටිගත කෙරුණේ, මිශ්‍රා ඒ මෝහනයෙන් මිදුණාට පසුවයි.



ඔබ සැමට ධර්මය දකින,ධර්මයෙහි හැසිරෙන්නට හිතෙන සුබ වෙසඟක් වේවා.......

15 comments:

  1. දුරක ඉඳන් මමත් ලංකාවේ වෙසක් මතක ගොඩකට මැදි වුණා මේක කියවලා. වෙසක් එකට වැඩ කරන්න සිද්ද වුණත් ඒකෙනුත් පිනක් වෙනවා කියලා හිත හදා ගමු. :) ජය!

    ReplyDelete
    Replies
    1. ධර්මය දකින,ධර්මයෙහි හැසිරෙන්නට හිතෙන සුබ වෙසඟක් වේවා.......

      Delete
  2. වෙසක් එකට පන්සල් යන එකයි නිකං පෝයට පන්සල් යන එකෙයි වෙනස දන්නේ පුංචි කාලේ ආච්චිලාගේ අම්මලාගේ අත්වල එල්ලිලා එව්න්.දැන් එහෙම එවුන් නෑ. දැන් ඉන්නේ නිවාඩුවක් ආපුවම ටිකක් වැඩිපුර නිදාගන්න බලන අය.

    වෙසක් මතක මාර ලස්සනයි. ලියන්න ගියොත් ඉවරයක් නෑ... සුභ වෙසඟක් වේවා.

    ReplyDelete
    Replies
    1. ධර්මය දකින,ධර්මයෙහි හැසිරෙන්නට හිතෙන සුබ වෙසඟක් වේවා.......

      Delete
  3. හරිම සරලව කිව්වොත් ,සුන්දර කතන්දරයක්, ජිවිතයේ පහුවෙලා ගිය දවස් ආයෙමත් මතක් කලා.ඇත්තටම මේ දොස්තරකමට වැඩියෙ ඒ වටිනා ,විච්චූරන මුකුත්ම නැති පොඩි කාලේ කොච්චරක් වටිනවද

    ReplyDelete
  4. Charith RathnasingheMay 4, 2015 at 11:08 PM

    full marks

    ReplyDelete
  5. Manjula PremasiriMay 4, 2015 at 11:09 PM

    As usual, superb aiye. But poor kids,

    ReplyDelete
  6. Thejana SomathilakeMay 4, 2015 at 11:10 PM

    රස පද වැල් අමුනා මුතු කැට මෙන්..........

    ReplyDelete
  7. අද තමයි කියවන්න ලැබුණෙ හරියට. මේ තරම් ප්‍රබලව නැති වුණත් පොඩි පොඩි වෙසක් මතක ටිකක් මටත් තියනව. ලබන වෙසක් එකටට්වත් ලියල දාන්න ඕනා.

    අර ඇලුමිනියම් මුට්ටියෙ කතාව මටත් මතකයි, ජයලත් මනෝරත්න තමයි හිටියෙ. නිලිය මැණිකෙ අත්තනායකද මන්දා. අපේ අම්මත් කොහෙ හරි ගිහින් බඩු ගොඩක් අරන් එද්දි අප්පච්චි තවමත් ඔය නාට්‍යය මතක් කරනව.

    ReplyDelete
  8. Nice write up Kelum,brought me back to my childhood.

    ReplyDelete