Saturday, July 23, 2016

වෙබ් අඩවියේ තැ‍නෙක හමුවුනොත් දන්වන්න........




කිරි මුට්ටියක් වගේ හඳ අහසේ මුදුන් වෙලා. 
වටපිටාව ගැන ටිකකට අමතක කරලා හඳ ගැන විතරක් හිත යොමුකලා... 
ඒ හඳම තමයි...
අවුරුදු තිස් ගණනකට එහා කිරි අම්මගේ ඔඩොක්කුවේ ඉඳන් බලන් හිටපු හඳම තමයි.....

හ්ම්....

කාලය කොච්චර දේවල් වෙනස් කරලද.... 
එදා අවුරුදු හතරක විතර කොලු පැංචෙක් වෙච්චි මම අද.....
කිරි අම්මා ජීවිතෙන් සමුඅරන් දැන් අවුරුදු පහළොවක් විතර.....
මට අද වගේ මතකයි මගේ කිරි දතක් වැටිලා මම අඬපු ඇඩිල්ල....
ඒ දත වහලේ උඩට විසි කරලා
"ලේනෝ..ලේනෝ... මේ නල දත අරන් මට අලුත් දතක් දියෝ..." කියල කෑ ගහන්න මට කියල දුන්නේ කිරි අම්මා... එතකොට මට ලස්සන සුදු දතක් ගෙනත් දෙනවලු ලේනා......

කිරි අම්මා කොහොමත් හිටිවන කවි කියන්න දස්සයි.. අම්මයි තාත්තයි වැඩ ඇරිලා ගෙදර එනකන් මාව නලවගන්න අලුත් අලුත් නැලවිලි ගී හදල කියනවා... මොකද සම්ප්‍රදායික...හැමදාමත් ඇහෙන නැලවිලි ගී මාව නිදි කරවන්න අපොහොසත් හින්ද... 
හඳ ... මල් ..... ගේ ඉස්සරහින් ගලන ඇල ..... වෙල් යාය. ගමේ පන්සල...ඔය වගේ දේවල් වලට ලස්සන කවි හදලා කියනවා.... 
මම ඉතින් ඒවා අහගන ඉන්නවා කටත් ඇරගෙන.
ගෙදර ඉස්තෝප්පුවේ මුල්ලකට වෙන්න වහලේ වී කරල් හත අටක් එක්කහු කරලා එල්ලලා තිබ්බා .... 
කුරුල්ලන්ට කන්න.... 
ගොයම් කපලා අස්වනු ගෙට ගත්තාම කොහොමද කුරුල්ලෝ කෑම හොයාගන්නේ.... 
ඒ වගේම කුස්සියේ කොනක එල්ලලා තිබ්බ කෝඳුරු කැවුමත් මට හොඳට මතකයි....
අපේ කුඹුර තිබුණේ ගෙදර ඉඳන් ටිකක් දුරින්.. 
වෙල් වැඩ කාලෙට මම හරිම ආසයි.. 
අත්තමට වැඩට එන ගමේ උදවියට ඇබුල අරන් යනකොට මාත් පස්සෙන් යනවා. කිරි අම්ම උයන කෑම කොහොමත් හරිම රසයි. වෙල ඉස්මත්තේ තියන උණ පඳුර යට ඉඳන් වෙල් වැඩ කරන අයත් එක්ක ඇඹුල කනකොට ඊට වඩා රසයි. තෙල් පෑදෙන්න උයන කරවල හොද්ද, අල මාළුව, මැල්ලුම,කොස් ඇට කළුපොල් මාළුව 
...හ්ම්... මතක් වෙද්දීත් අදටත් කටට කෙල උනනවා....

කිරි අම්මත් එක්ක පෝය දවසට පන්සල් යන එක තමයි අනිත් ආසම වැඩේ... 
සුදෝ සුදු ඇඳුමක් ඇඳගෙන මමත් කිරිඅම්මගේ අතේ එල්ලිලා පන්සල් යනවා.... 
පෝයදාට පන්සලේ බෝධියෙන් එබෙන පුන්සඳ රටාමවනවා පන්සලේ මිදුලේ....හුළඟට සෙලවෙන බෝ අතු නිසා ඒ රටා හෙවනැලි තාලෙට රංගනයක... ඒ අතරින් ඇහෙනවා කිරි අම්මා හයියෙන් ගාථා කියන සද්දේ.. පන්සලේ ඉඳල ගෙදර එන්නේ පයින්...
ටික දුරක් එනකොට ඉතින් මාව වඩාගන්න වෙනවා කිරි අම්මට...පුංචි එකානේ.....
හ්ම්.... දෙදාස් එකේ කිරි අම්ම අසනීප වෙලා ඉඳල ගෙදර එක්කගෙන ආපු වෙලේ කිරිඅම්මට බැරුව..වත්තන් කරගෙන ගියේ මම....හ්ම්...දැන් ඉතින් අවුරුදු පහළොවක්....

මේ මෑතකදී අහපු සින්දුවක් හින්ද මගේ ඇස වලට කඳුළු ආවා .... මාව ඔඩොක්කුවේ තියාගෙන කවි කියපු කිරි අම්මගේ සුවඳ ඒ ගීතය පුරාවට තිබුනා.... කිරි අම්මා අපෙන් සමු අරන් අවුරුදු පහළොවකට පස්සේ ඒ සුවඳ මට ආයෙමත් දැනුණා ......
දිවුල්ගනේ කියනවා " වෙබ් අඩවියේ තැනක හමු වුනොත් පවසන්න..
මැටි ගෙදර අපේ කිරි අම්මා... " කියලා .....
බලන්න ඔබේ කිරි අම්මවත් මතක් උනාද කියල..මේ වෙබ් අවකාශයේ.....

ලිව්වේ රජී වසන්ත වෙල්ගම..නාද රටා ප්‍රසාද් සිරිවර්ධන හඬ අවදි කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ


බිම වැටුණු කිරි දතට
හඬන මගෙ ළපටි හිත
අඹ ගහේ ලේනෙකුට දුන්නා
අහිමි වී ගිය දිනෙක
සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනත් දුන්නා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා

රහත් නමකට නොදෙන
කැවුම් මල්ලක් තියෙන
සිටුවරුන් සිටුගෙදර උන්නා
මා නමින් ගෙයි ඉදෙන
කැවුම් අහුරෙන් එකක්
අඬන කෝදුරුවන්ට දුන්නා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා

මැටි ගෙදර තිබුණු තැන
ගමක කුසගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්නා
වෙබ් අඩවියේ තැ‍නෙක
හමුවුනොත් දන්වන්න
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා


No comments:

Post a Comment