Monday, September 22, 2014

මගෙ ඇදුම් ඔබෙ අතට ....................



ගිනි ගහන අව්වේ පාර අයිනෙන් නවත්තපු කොළ පාට පළාත් සභා මොඩල් පැජරෝ එකෙන් පිම්මට බිමට පැන්න ඔහු...
ඉස්සරහ වීදුරුවේ පොල් ගෙඩි අකුරින් ලියල තියනවා ප්‍රාදේශීය ලේකම් කියල. 
වෙඩින් එක ඉවර වෙලා දවස් තුනක් ගෙවිල ගියාට අහස උසට වැඩ රාජකාරි... 
ඒකයි මෙච්චර ඉක්මනටම ඔෆිස් යන්නේ. 
ඒ යනගමන් ලොන්ඩරියට දාන්න කියල වාහනේ පිටිපස්සට ලොකු රෙදි ගොඩක් පැටෙව්වා. 

"ඉස්සරනම් මේවා කරන්න රදා රෑනේ එවුන් හිටිය. කෝ දැන් ඉතින් මේ රෙදි පිලි හෝදන්න එකෙක් වත් නැති හැටි. කන්නන්ගර උන්නැහේ කරපු හරිය තමයි ඔය...."

ගෙදරින් පිටත් වෙන්න කලින් ඇහිච්ච අම්මගේ අඩෝවැඩියාව ඔහුට මතක් උනා. 
ගෙදර වහලේ දිරල ගිය පරාලයි, සිංහල උළු ටිකයි මාරු කරගන්නවත් අමාරු තරමට අතමිට හිඟ වෙලා රදල පැලැන්තිය දිරච්ච වෙලාවේ තමන්ගේ පුතාට ඉගෙන ගෙන අම්මගේ වචනෙන් කියනවනං "දිසාපති හාමුදුරුවෝ " වෙන්න පුළුවන් උනේ කන්නංගර මහත්තයාගේ නිදහස් අධ්‍යාපනේ හින්දයි කියන එක අම්මට අමතක වෙලා... 
කොහොමටත් අම්මගේ ගතයි සිහිකල්පනවයි දෙකම දැන් වැහැරීගෙන යනවා... 
එත් මුදුන් යටලීයට වෙලා බිත්තර ටික බඩේ බැඳගෙන එල්ලිලා ඉන්න බඩ මකුළුවෙක් වගේ අම්මත් කුල මාන්නෙනම් අත ඇරලා නැහැ. 

අම්මගේ මනාපෙට ලොකු මාමා  හොයාගෙන ආපු යෝජනාවකින් හිටි අඩියේම කසාද බඳින්න උන එකට ඔහු හිටියේ කනස්සල්ලෙන්ද නැත්නම් සතුටකින්ද කියල ඔහුටත් තේරුම් බේරුම් කරගන්න බැරිවයි උන්නේ... 
යෝජනාව අරන් ආපු වෙලේ " ඒරොප්පේ ගිහින් උපාදිය අරන් ආපු නෝනා කෙනෙක් " කියල ලොකුමාමා උජාරුවෙන් කිව්වට ඇයට පස් වතාවක්ම ෆයිනල් කරලා පාස් වෙන්න බැරි උනයි කියලයි ඇය මංගල රාත්‍රියේදී කිව්වේ. 
හ්ම්...එකත් කලින් කිව්වේ නෑ ..... 
පිටරටදී එකම කැම්පස් එකේ හිටපු හර්ෂ මල්ලි රහමෙර පදම වැඩි වෙලා කිව්ව කතාව ඔහුගේ හිතේ තවම දෝංකාර දෙනවා.....
"නෝනා මහත්තයා එහෙදි කරපු කෙලි දන්නේ අපිනේ...."
.......................
..........................
.........................


"සර් ...මේ ලොන්ඩරියේ ගණන් ටිකක් වැඩියි. මේකේ ගොඩක් කරන්නේ ටුවරිස්ට් හොටෙල් වල වැඩ... අර එහා පාරේ තියනවා පොඩි එකක්...."

ඩ්‍රයිවර් පද්මේගේ කට හඬට ඔහු ආයෙත් මේ ලෝකෙට ආව...
ඔහු ඔලුව උස්සල බැලුව ලොන්ඩරිය දිහා.....

ලොකු රිදීපාට අකුරෙන් ලියල තියනවා " නිර්මලාස් " කියල....
ඒකත් ඉංග්‍රීසියෙන්.... 
කමක් නැහැ...වෙන ලොන්ඩරි හොයන්න ගියොත් වෙලා යනවා. 
අද බදාදනේ...මහජන දිනය...ඔෆිස් එකේ සෙනග පිරිලා ඇති.....

ඔහු වීදුරු දොර තල්ලු කරගෙන ඇතුල් උනා. වායු සමීකරණයෙන් ආපු හීතල හුළඟට ඔහුට දාඩිය දැම්ම....
ඒ.සී.එකටත් එක්ක ගණන් කියයිද දන්නේ නැහැ. 
අපරාදේ පද්මේ කිව්ව තැනට යන්න තිබ්බේ.

"ගුඩ් මෝනින් සර්...කැන් අයි හෙල්ප් යූ ..."

කවුන්ටරේ හිටිය සුන්දර යුවතිය අහනවා....

අතේ තිබ්බ රෙදි මලු දෙක කවුන්ටරෙන් තිබ්බ.... බර කිරල රෙදිවල බිල දුන්න ඔහුගේ අතට....

රුපියල් හාරදාස් අටසීයයි......
හ්ම්.....


"ගුඩ් මෝර්නින් මැඩම් ...." කවුන්ටරේ හිටපු යුවතියගේ හඬ....
ඒක කිව්වේ තමන්ට පිටිපස්සෙන් ඉන්න කෙනෙකුට කියල ඔහුට තේරුණා...
ඔහු හැරුණ .......


නිර්මලා.......


එලීයෙ වාහනේ වීදුරුවට වැටිලා පරාවර්තනය වෙන ඉර එලියට ඔහුගේ ඇස් නිලංකාර උනා...ඒත්....


නිර්මලා......


තමන්ගේ පන්තියේ හිටපු නිර්මලා.....
අවුරුදු දෙකක් තිස්සේ තමන්ට පෙම් බැන්ද නිර්මලා.....
රෙදි නැන්දගේ දුව කියල පන්තියේ එවුන් ඔච්චම් කරපු නිර්මලා.....


නිර්මලත් එක්ක ඔහු හදපු හීන ලෝක එකින් එක ඔහුට මැවිලා පෙනෙන්න ගත්ත.... 
ඒත් මේ සම්බන්දෙ ගෙදරට ආරංචී වෙච්ච වෙලාවේ අම්ම දුම්මල වරම අතට අරන් පරල වුනේ....නිර්මලාට බැන වැදුනේ තමනුත් ගැහැණියෙක් බව අමතක කරලා.....

" අපේ පරම්පරාවට සහේට එන්න හිතන් ඉන්නවද උඹ.... සහේට නෙමෙයි වරෙන් මගුල් දවසට පෙරහන්කඩ හෝදන්න....."

ඇය ඇඬුව.... 
රෝස පාට කම්මුල් සුදුමැලි වෙනකන් ඇඬුව..... 
සුදු ගවුම තෙතබරිත වෙනකන් ඇඬුවා ........ 
ඇගේ ඉකිබිඳුමට බය වෙච්ච පාන්කිරිත්තෙක් ඉස්කෝලේ මිදුලේ එහාට මෙහාට පැන පැන උන්න.......
හ්ම්...
එදායින් පස්සේ නිර්මලා ඉස්කෝලේ ආවෙත් නැහැ.... 
පන්තියේ හිටපු දක්ෂම ළමය කියල ලොකු ඉස්කෝලේ මහත්තය පණිවිඩ පිට පණිවිඩ යැව්වත් ඇගේ අම්ම ඇයව ඉස්කෝලේ එව්වේ නැහැ ආයෙත් .......
ඉද්ද මල් පෙති වගේ දසන් දෙපල සිනා මැව්වේ නැහැ ආයෙත් ......


.....................................
........................................

අවුරුදු ගානකට පස්සේ කිරි ඉද්ද මල් පිපුන ලොන්ඩරිය ඇතුලේ....
විගහට පරවුණ.......
ඔහු ගල් ගැහිලා.....

" මෙන්න සර්ගේ ඇඳුම් ටික හරි.....සර්ගේ බිල් එක රි ෆන්ඩ් කරන්න කිව්වා මැඩම් ......"

ඔහු පියවි ලෝකෙට ආව

අළුපාට පසුබිමේ රෝසපාටින් නිර්මලාස් කියල ගහපු ලොකු බෑග් එකකට දාල ඇඳුම් ඔහුට හම්බ උනා.......


කතා බහක් නැතුව ඔහු ඇවිත් නැග්ග ජීප් එකට...... 
එහා පැත්තේ තිබ්බ ලොතරැයි කූඩුවක ....
රත්න ශ්‍රී විජේසිංහ ලියපු .
ගුණදාස කපුගේ සංගීතය දමල නිරන්ජලා සරෝජිනී එක්ක කියන 
මේ සින්දුව වාදනය වෙනවා ඇහුන.......



නිර්මලා ලොන්ඩරිය හිමි සළු
වඩන මැණිකේ නිර්මලා..
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා..

කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා..
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිටමන් කළා..

පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුනු දා..
මා හෙළුෑ කඳුළක් මගේ දින
පොතක තිබිලා හමුවුනා..

යුධ වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුනු දා..
මා හෙළුෑ කදුලින් තෙමූ සළු
පිළි තවම නෑ වේලිලා..

දොවා ලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා..
මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා..

එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා..
හිමිනැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා..

නිර්මලා...



7 comments:

  1. අපූරුයි කැළුම්... සිංදුවට ලියපු කතාවක් වුණත් ඒහෙම නෑ කියලමයි හිත කියන්නෙ...
    හොද සංවේදී මනසක් තියෙනව ඔබට...
    ජයවේවා

    ReplyDelete
  2. ජය වේවා.. එන්න එන්න..

    ReplyDelete
  3. මඟුල් පරස්තා වලදී අපේ උන් අපි මිනිස්සු කියන එකත් අමතක කරලා දානවා....
    පංකාදු කතාව

    ReplyDelete
  4. අපූරුයි! සින්දුව ඇහුවේ අදයි. ඒ නිසා සතුට දෙගුණයි! :)

    ReplyDelete