Saturday, September 27, 2014

අපහාස ඇයට නැඟුනා...........



"අනේ ...... සීවරන් දෙයි හාමුදුරුවනේ......මගේ කෙල්ලට වෙච්චි දේ..... අනේ උඩ ඉන්න දෙය්යෝවත් බැලුවේ නැත්තේ ඇයි දෙය්යනේ.........."
හ්ම්..........
ඈතින් ඇහෙනවා විලාපයක්........... මවකගේ විලාපය.............
හ්ම්.......


කොහොමද මම මේ සටහන ලියන්නේ.......
ලියන්න හිත දෙන්නේ නැහැ.....

කමක් නැහැ....ලියමු.
මට ලියන්න වචන එන්නෙත් නැහැ.........
ඒ මව විලාප දෙනවා ඇහෙනවා...... 

ඇගේ මව....
ඇගේ පියා විලාපදීල අඬන්නේ නම් නැහැ....ඒත් ඔහු ඔහුගේ දුක්බර ගැඹුරු කටහඬ අවදි කරද්දී හිත තුල කැකෑරෙන වේදනාව තේරෙනවා........

ඊයේ රෑ වැහැපු පොද වැස්සට ගේ ඉස්සරහ පාරේ දඟ කරපු දුවිල්ල පැරදිලා.....මිදුලේ තණ බිස්සේ තණ පත් අග රැඳුන පිණි බින්දුවක් "ටකස් " ගාල බිමට වැටුන.....ජීවය තණ අග පිණි බිඳකි.......
කඩුල්ල අහුරලා තිබ්බ ලී දඬු තුනෙන් දෙකක්ම පොලව සිපගෙන.....
වයසක ආච්චිලා දෙන්නෙක් මිදුලේ කොනක කම්මුලේ අත තියාගෙන......
ඇගේ අම්ම කට හඬ අවදි කරනවා විලාපය අතරින්.....

"ෆැක්ටරියේ වැඩ ඉවරවෙලා හන්දියෙන් බහිද්දී හැමදාම හත පහුවෙනව....පහුගිය ටිකේ හැමදාම වගේ කෙල්ල කිව්වා......දෙතුන් දෙනෙක් පස්සෙන් ආවයි කියල .........අනේ කවුද දෙයියනේ හිතුවේ....."

කරකැවිච්ච රැවුලක් තියන සියාතු සීය දබරැඟිල්ලයි මැද ඇඟිල්ලයි කටට තියල " චිරිස් " ගාල විද්ද රතුම රතු කෙල පාරක් බොරළු පාරට.....
ආයෙත් ඔහු කණ දික්කරනවා ඒ තාත්තගේ....ඇගේ තාත්තගේ හඬට ....

" කෙල්ල හරියට හඳක් පැව්ව වගේ අපේ ගෙදෙට්ට.....මං ඔත්පල වෙච්චි දවසේ කොච්චරනම් ඇඬුවද දෙයියනේ..... මට බෙහෙත් කරන්ඩයි....ගෙදර දොරේ අඩුපාඩු වලටයි කීයක් හරි හොයාගන්ඩ තමා ඔය ෆැක්ටරියේ රස්සාවට ගියෙත්...මොන වයසක්ද ...මගේ පුංචි කෙළී ........"

මහ හය්යෙන් සද්දෙත් දමාගෙන ත්‍රී වීල් එකක් ගියා පාරේ.... 
වැහි පොද වැටිලා තිබ්බ හින්ද දූවිල්ල නම් ඇවිස්සුනේ නැහැ..... 
 දුම් බටෙන් කළු පාට දුම් කැරලි හෝ හෝ ගාල අහසට නගිනවා....වලාකුළු කළු පාට වෙයිද....මට බය හිතුන...... 
ත්‍රී වීල් එකේ දමල තිබ්බ සිංදුව ඇහිලා...මොහොතකින් නැතුව ගියා 
.......මට ඇහුන වචන දෙකතුනක් විතරක්.....

"....ඉඟත් බෝම පොඩි -ලැමත් බෝම ඇති දිගැස් තියන ළඳුනේ......"

මිදුලේ බුදු පාන පිච්චිලා කළු ගැහිලා තිබ්බ....
ඊට එපිටින් තුන් හතර දෙනෙක් කසුකුසුවක්......

" ඔය රංචුව මන්තිරියගේ ගෙදර ඉන්නවා දැකල තියනවා.... මොකක් හරි ලොකු අත්තක් අල්ලගෙන ඇති.... පොලිසියට ගිය වෙලෙත් මේ ඇත්තන්ගේ පැමිණිල්ලවත් හරියට ලියාගෙන නෑ නොවැ ..... එතන කෙනෙක් ගාමන්ට් කෑලි වලට ඔහොම වෙන එක අහන්ඩ දෙයක්යැ කියල පල් එක දැම්මලු....."

හ්ම්.............................................

අම්ම සිහිනැතුව වැටුන..... එතන හිටපු කීප දෙනෙක් අල්ල ගත්ත ඇයව .......මූණට වතුර ඩිංගිත්තක් ඉස්සම සිහිය ආව.....


"අනේ මේ ගේ ඉස්සරහ පාර අයිනේ තණ බිස්සේ තමයි අත ඇරලා ගිහින් තිබ්බේ....කෙල්ල ගෙට වෙච්ච දවසේ අරන් දුන්න චේන් පොට විතරයි....ඇඟේ නූල් පොටක්වත් තිබ්බේ නෑ ......මගේ ලැජ්ජා බයට හැදිච්ච කෙල්ල සීවරන් දෙයියනේ......." 

අම්මගේ විලාපය ආයෙත් ඇහෙනවා..... 

"අනේ මේ තිරිසන්නු මගේ වස්තුව .....මගෙන් උදුරාගත්ත...දෙය්යනේ.....කාටවත් කරදරයක් නැති මගේ කෙල්ල...."


මම පියවි සිහියට ආවා ..... ඉස්සරහ තියන "අධිකරණ වෛද්‍ය නිලධාරි " බෝඩ් එක මට හිනා වෙනවා. සුදු රෙද්දකීන් ඔතපු සිරුර ඇතුලට දාල මොචරියේ ෆ්‍රීසර් එකේ දොර වහල දැම්ම......

හ්ම්.........


මේ මම අකමැතිම ගීයක්..... ගීතය හැඟුම්බරයි..... ඒත් දෙය්යනේ කොහොමද මේ ගීතය ලස්සනයි කියන්නේ......
පද රත්මලේ බන්දුල ගුණවර්දන...
ගායනය දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සමඟ අමරසිරි පීරිස්
මේක අහල ඔබේ ඇසට කඳුලක් නොආවොත් ......ඔබ..................හ්ම්,


සීවරන් දේව රජුනේ -හැමදාම අපට කීවා
ෆැක්ටරියේ වැඩ නිමවී - පාළු මාවතේ ගොම්මන
බැල්ම හෙලා තිබුනා - කියා අපට කීවා....

පුංචි පැලට ඉහල අහසේ - පෑයූ හඳ බිම වැටුනා
ගෙමියේ තණ ගොල්ලේ පසුදා - උඩු බැලි වී තිබුනා

සොලොස් කලා පිරුණු දිනේ - පැලඳූ රන් පොට පමණක්
නියපහරින් රිදුනු කරේ - තනි වී තිබුනා
පිලිසරණ පතා ගිය තැන - අපහාස ඇයට නැඟුනා //

මා ඔත්පල වූ දිනයේ - වැලහින්නක සේ හැපුනා
මුලු පවුලක බර උහුලන්නට - තුන් තිස් පැය නැහුනා
කිසිදා මව් කිරි බී නැති ඒ නොමිනිස් මදන යකුන්
අප සන්තක ඒ වස්තුව උදුරා ගත්තා.

අවනඩුව කියා යන යන තැන
අපට දොරටු වැසුනා //

පිලිසරණ පතා ගිය තැන
අපහාස ඇයට නැඟුනා //



11 comments:

  1. ඇත්ත තත්වේ මේක තමයි. කවුරුත් දන්නේ නැති මෙහෙම දේවල් කොච්චර නම් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව්....උඹ මටත් වඩා හොඳට දන්නවා ඇතිනේ

      Delete
  2. අපෝ... අහන්නවත් දකින්නවත් ලැබෙන්න එපා...

    සින්දුව පපුව ඇතුලේ කොටනවා වගේ... කොහොම ලිව්වද, කොහොම කිව්වද මන්ද.. හ්ම්ම්

    ReplyDelete
  3. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න ලින්ක් එක අපේ දර්ශකයට.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  4. අගෙයි...

    ජය වේවා !!!

    ReplyDelete
  5. කදිමයි කැලුම් !

    ReplyDelete