Thursday, October 22, 2015

පතිපතිනි රිය සක නියා...


කාලෙකින් ලියන්න කියල ඉඳගත්තා. 
තවම නිදිමත ගතියයි , තෙහෙට්ටුවයි ගිහින් නැහැ. 
නංගිගේ මගුල් ගෙදර තිබ්බේ ගිය සතියේ... 
වෙඩින් එක හෝටලේක තිබ්බේ ...දැන් හැමෝම කරනවා වගේ....

වෙඩින් කතා කියද්දී මගේ හිත පුංචි කාලෙට දිව යනවා.... 
අවුරුදු තිහක් විතර....
මට අවුරුදු හතරක් විතර ඇති...
ඒ දවස් වල අපි කිව්වේ මඟුල් ගෙවල් කියල...දැන් ලේසියට ඉංග්‍රීසි ඌරුවට වෙඩින් කියල කිව්වට... 

ගමේ විදිහට කියනවනම් මංගල ප්‍රියසම්භාෂණ වර්ග දෙකක් තියනවා... මඟුල් ගෙවල් සහ ඇස්ටෝන් ගෙවල්... 
එහෙම තමයි ඉස්සර කිව්වේ... 
මඟුල් ගෙවල් කියන්නේ දවල්ට කෑම වේලක් දීලා ලොකුවට ගන්න උත්සව.... 
ඇස්ටෝන් කිව්වේ හවසට වගේ පොඩියට තේ මේසයක් හරි , බත් නැතුව වෙන කෑම වේලක් හරි දෙන උත්සව.... 
එහෙම තමයි මම ඒ කාලේ වර්ගීකරණය කරගෙන හිටියේ....
දැන් වගේ කාඩ් ගැහිලි නෑ... ඉස්සර බුලත් විතරයි දුන්නේ මඟුලක් කියනකොට... 
 ගොඩක් වෙලාවට පවුලේ හැමෝටම කියනවා... පවුලකින් එක් එක්කෙනාට කිව්වොත් එහෙම කතා ගොඩයි.

" ඉන්නෙනම් ලස්සෙට කොඩි දාල... හැබැයි මඟුල කියන් ගියේ එකාට එකාට.... මගේ බලලවත් යයි ඕකට..." ඒබරන් ආතා කිව්වා මතකයි දවසක්...... 

හ්ම් 

ඉස්සර මඟුලක් ලං උනහම වැඩ ගොඩයි. මාස ගානක ඉඳන් වැඩ. බවලත් උදවිය ගොම මැටි ගානවා ගෙවල් වල, කැවුම් කොකිස් හදනවා ...යමරෙට වැඩ... 
පිරිමි උදවියටත් එහෙමම තමයි... ගුහාල හදන්න, ගොක්කොල කැටයම් කපන්න......

ඉස්සර ගමේ මඟුල් ගෙවල් වලට මම යන්නේ එක්කෝ අම්මයි, තාත්තයි එක්ක, එහෙම නැත්නම් කිරිඅම්මත් එක්ක, එහෙම නැත්නම් ලොකු නැන්දගේ අතේ එල්ලිලා.. 
ගොක්කොල වලින් හදපු මඟුල් පෝරු මට මතකයි... 
ඉස්සර සෙටිබැක් කියල එකක් මහ වියදම් කරලා හැදුවේ නෑ ගමේ.... ගෙදර පුටු සැටියක් තියනවානම් හරි, නැත්නම් අල්ලපු ගෙදරින් ඉල්ලගත්තු හරි පුටු සැටියේ දිග පුටුව පිටිපස්සෙන් ගොක්කොල, ඇන්තූරියම් මල් එහෙම ගහල සරසල තමයි මනාල යුවලට වාඩිවෙන්න දෙන්නේ...
ගෙවල් ඇතුලේ ඉඩ නැති හින්ද කෑම කන්න දෙන්න ගුහාල හදනවා. ගුහාල කියල කියන්නේ පුවක් කොට හිටවල එකෙ තල් අතු හරි පොල් අතු හරි හෙවිල්ලලා ඒ අතු ජාතියකින්ම වට කරල හදන ලොකු මඩුවක් වගේ එකක්. 
ඒක ඇතුලේ බිත්තිය අයිනෙන් වටේටම දෙකට පලපු පුවක් කොට වලින් හදනවා බංකුවක් වගේ එකක් වාඩි වෙන්න. ඒ වගේම ඊට ඉස්සරහින් දෙකට පලපු පුවක් කොට තුනක් විතර යාකරලා මේසයක් වගේ එකක් හදනවා. ඒකෙ තමයි පිඟාන තියාගෙන කන්නේ. 
කෑම කන්න එන්න කියල වතුර ඇල්ලුවට පස්සේ කට්ටිය ගුහාලේ ඇතුලට යනවා. එක මුල්ලකින් ඇතුල් වෙලා පුවක් පටි බංකුවයි මේසෙයි අතරින් පෝලිමට ගිහින් වාඩි වෙන්න ඕන. විසේකාර කොල්ලෝ කෙල්ලෝ එහෙම පෝලිම පැනල මේසේ යටින් රිංගලා ගිහින් හොඳ තැනක් අල්ල ගන්නවා...
ඇයි සමහර ආච්චිලත් එහෙම තමයි... 

ඉස්සර වෙලාම කවුරු හරි මාම කෙනෙක් පුංචි වට්ටිය ගානේ බෙදාගෙන යනවා.... 
ඔව්..අර ඇතුල්පත් කියන්නේ. 
ඊට පස්සේ කොන්ඩ කැවුම්, හීන් කැවුම් ( අතිරහ වලට අපේ ගමේ කියන්නේ එහෙම) කොකිස් වගේ කැවිලි බෙදාගෙන යනවා...අර වට්ටියට...
කිරි අම්ම ලොකු ලේන්සුවක් අරගෙන යනවා...
අර කැවිලි ලේන්සුවේ ඔතල පොට්ටනියක් හදාගන්නවා ගෙදර අරන් එන්න.... 
කිරි අම්ම විතරක් නෙමේ...ගමේ හැමෝම එහෙමයි. 
හදිසියෙවත් මම කැවුමක රස බැලුවොත්.......

"පුතේ...කැවුම් කාල බඩ පිරුනොත් බත් කන්න බැරිවෙයි....ඕව තියාගන්න ගෙදර ගිහින් කන්න "

ඊට පස්සේ අර ඇතුල්පතටම කෙහෙල් කොලයක් හරි නෙලුම් කොලයක් හරි බෙදාගෙන යනවා. සමහර මඟුල් ගෙවල් වලනම් පිඟන් බෙදාගෙන යනවා....
ඊට පස්සේ ලොකු කුරුනීයක ( කුරුණිය කියන්නේ තල් කොළ වලින් වියන පෙට්ටියක් වගේ එකක් ) බත් දාගත්තු කෙනෙක් ඒකෙන් බත් බෙදාගෙන යනවා පෝලිමට.... එක්කෙනෙකුට පීරිසි දෙකක් හෝ තුනක්... 



ඊට පස්සේ වැංජන වර්ග ලොකු බේසම් වලින් අරන් බෙදාගෙන යනවා. ඌරු මස්, සුදට උයපු පුහුල්, පරිප්පු,ගෝවා මැල්ලුමක්, අච්චාරුවක් වරදින්නේ නෑ .... 
තාමත් කටට කෙල උනනවා මතක් වෙද්දී... 
මොන හේතුවක්ද මන්ද ගමේ මඟුල් ගෙවල් වල ඉස්සර දුන්නෙම ඌරු මස්...
කට්ටියම කන්න පටන් ගන්නවා.බාගයක් විතර කද්දී ආයෙත් පාරක් බතුයි වැංජන යි බෙදාගෙන යනවා. කාල ඉවර උනාට පස්සේ කෙසෙල් ගෙඩි එහෙම අල්ලනවා....
මඟුල් ගෙදර මිදුලේ කෙළවරක සල්ලි මේසයක් දානවා. ඒ කියන්නේ මේසයක් ළඟ ගමේ වැදගත් දෙන්නෙක්ව ඉන්දවනවා... 
පොතකුයි පෑනකුයි එක්ක. මඟුල් ගෙදර ආපු අය අපහු යද්දී මෙතෙන්ට ඇවිත් සල්ලි දීල තමයි යන්නේ... 
දැන් වාගේ ලියුම් කවර වලට දාල දෙන්නේ නැහැ. 
අර දෙන්න පොතේ නමයි ගානයි ලියාගෙන බාරගන්නවා. දවස ඉවර උනාම ගාන බැලන්ස් කරලා මඟුල් ගෙදර අයිතිකාරයින්ට බාර දෙනවා.
ගමේ හිටපු ආණ්ඩුවේ රස්සා කරපු දෙතුන් දෙනාගෙන් කෙනෙක් වීම නිසා අපේ තාත්තටත් ඔය මේස වල ඉන්න ආරාධනා හම්බවෙනවා.... ඉතින් මම දැකල තියනවා රුපියල් දහය , විස්ස තමයි ගොඩක් අය දෙන්නේ. පනහක්, සීයක් ලියවෙන්නේ කලාතුරකින්.....

මඟුල් ගෙදර මිදුලේ උස ගහක ඉස්පීකර් දෙකක් බඳිනවා... 
එහෙම නැත්නම් ඒවාට කියන්නේ ලවුස්පීකර් කියලා... 
සමහර ගම්මු පීකර් කියලත් කියනවා.... ඇහෙන්නේ ගොඩක් බෙග් මාස්ටර්ගේ සින්දු .... 

මට යන්තමට වගේ මතකයි ඇගිලින් ආච්චි කියනවා " ගමටම කියල, ගමටම ඇහෙන්න පීකර් දාල තමා අපේ කොල්ල කෙල්ලක් ඇන්න ආවේ" කියල.....

මට තව ටිකක් තේරෙන කාලේ එනකොට..ඒ කියන්නේ වයස අවුරුදු හතක් අටක් වෙද්දී මට මතකයි අපේ නෑයෙකුගේ මඟුල් ගමනක් ගියා...
පිටත් උනේ මහ පාන්දර... 
මනමාලිගේ ගෙදරට යද්දී උදේ අටට නමයට විතර ඇති.... 
ගේ කිට්ටුවට ගිහින් මඟුල් නඩේ ආපු බව අඟවන්න රතිඥ්ඥ පත්තු කරනවා. එතකොට ඒ පැත්තෙනුත් පිළිතුරු රතිඥ්ඥ පත්තු වෙනවා. අන්න එතකොට මඟුල් නඩේ කඩුල්ල පැනල ඇතුළු වෙනවා වත්තට... පෝරුවේ චාරිත්‍ර එහෙම කරලා නැකතට මනමාලිත් එක්ක කට්ටිය පිටත් වෙනවා.... 
ඒ ගමන්ම ටවුමේ තියන පොටෝ සාප්පුවකට ගිහින් මඟුල් පොටෝ එකත් අරන් තමයි ආපහු මනමාලයාගේ ගෙදර යන්න පිටත් වෙන්නේ.
කොහොමෙන් කොහොමෙන් හරි ඉතින් ඉස්සර අවාහ විවාහ සිද්ද උනේ අහල පහල ගම් වලින් හින්ද ඉර හැරෙන්න කලින් මඟුල් නඩේ මනමාලයාගේ ගෙදරට එනවා...
.
මඟුල් කතානම් තවත් ගොඩක් තියනවා.... 
සමහරුන්ට හිතෙයි මම මේ මොන මඟුලක් කතා කරනවද කියලා.... 
හ්ම්
රෑ වෙලා හොඳටම.... 
මම අතීතයෙන් වර්තමානයට ආව..... 
සුදු නංගිටත්...ඒ මල්ලිටත් සුබ මංගලම් කියල පතල මම නවතිනවා....මේ සින්දුවත් එක්ක


මංගලම් ජය මංගලම්..
වේවා සිරි සුබ මංගලම්
ආ...ආ... සැරද තිසරණ සරණිනේ ...
යුවති පති සුවසේ දිනේ...//
මංගලම් ජය මංගලම්..
වේවා සිරි සුබ මංගලම්


ආ... රාමා සීතා යුවල සේ....
ප්‍රේම භරිනි විඳ රසේ
ලැබ විනෝදේ සැනසිලී
සමගි දාමෙන් වෙලී වෙලී


මංගලම් ජය මංගලම්..

වේවා සිරි සුබ මංගලම්


පොකුණ තුල පිපි පියුම සේ
දිලෙන ඇගෙ හැඩ රුව යසේ
පති පතිනි රිය සක නියා
එකට යනු මැන සැප සොයා 





4 comments:

  1. සුබ මංගලම් කිව්වා එහෙනම්.

    ReplyDelete
  2. කැළුම් සෑෙහන දවසකින් දැක්ෙක
    මගුල් ෙගවල් නං ඔ්නම නෑත් හිෙතනව ෙන්දහ්...
    හිහි
    නගාලට සුභ මංගලම්

    ReplyDelete
  3. හැබැයි ඒ කාලෙ ඌරුමස් ඇලජික් කෙනෙක් එහෙම හිටිය නම් මාර ප්‍රශ්නයක් වෙනව..

    හරිම රසවත් ලිපියක්..කැලුම්ගෙ නංගිට සුභ මංගලම්.!

    ReplyDelete
  4. ලස්නනට ලියා තියෙනවා........... වේවා සිරි සුබ මංගලම්...!

    ReplyDelete