Tuesday, August 29, 2017

වීසි කරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ.....



ලියම්දෝ.. නොලියම්දෝ කියන දෙගිඩියාවෙන් හිටිය කීප දවසක්... 
මගේ හිතමිතුරන් පවා දෙපැත්තට බෙදිල.... 
මේ මතය වෙනුවෙන් ..... 
හ්ම්
ඒක කියන එක පැත්තකට දාල කියන්නම් පොඩි කතාවක්...


ඒ මේ දශකයේ මුල... මහ රෑ එකොලහට විතර...
මම ශල්‍ය වාට්ටුවේ රාජකාරිය.... 
ඉස්කෝලෙ යන වයසෙ ගෑනු දරුවෙක්...එනව වාට්ටුවට...
ටිකට් එකේ ලියල තිබුනෙ අවුරුදු පහලොවයි කියල..... 
දැරිවි කෙදිරිගානවා අමාරුවෙන්.... 
ඒ දැරිවිගේ අම්මා කියල හිතන්න පුලුවන් කාන්තාවක් කටහඬ අවදි කරනවා.....

"හවස ඉදන්ම කෑ ගහනවා කොන්දයි, කකුලුයි ඇදුම් කනව කියල.. මුත්‍රා අඩස්සිය වගෙත් හවහ ඉදන්ම...."

ඔන්න අර ගෑනු දරුව බෙරිහන් දෙනව......

දාහකුත් එකක් රෝග විනිශ්චය, පරික්ෂණ අතරේ නිකමට වගේ අපි ලියන පරීක්ශනයක් ලිවුවා....ඒ දැරිවිගේ රෝග ලක්ශන මට සැකයක් ඇතිකල නිසා....

Urine hCG.....


"ඩොක්ටර්..... hCG පොසිටිව්.... "


යන්තං බස් එකක බෝඩ් එකක් කියව ගන්න පුලුවන් ඒ නුවර කලාවියේ අම්මට...ඒ ටික තෙරුනා.....

"අනේ... දෙයියනේ මගෙ කෙල්ල...මොකක්ද මේ කරගත්තේ ......මේ මගෙ පොඩි කෙල්ල..ලබන අවුරුද්දේ එස්සස්සී කරන්න ඉන්න මගේ පොඩි කෙල්ල..... මොකක්ද උබට උනේ..... කියපාන්......."

හ්ම්......

අර ඉස්කෝලෙ යන දැරිවි.... අම්මත් එක්ක බේත් ගන්න ආපු දැරිවි..... වෙනදට හවසට වතුසුද්ද මල් කඩල පාන් පැලේ පාන පත්තු කරන කෙල්ල...... එකපාරට බඩදරු අම්ම කෙනෙක් වෙලා..... දැරිවිගෙ අම්ම කොහොම උහුලන්නද...

නාරිවේද වාට්ටුවේ වෛද්‍ය සගයට දන්වලා...ලෙඩාව යැව්වා නාරිවේද වාට්ටුවට
ඒ ජවනිකාව ඉවරයි එතනින්.....


ඊට මාස හය හතකට පස්සේ මම නාරිවේද වාට්ටුවේ රාජකාරි..... අර කතාවම තියන අවුරුදු දාසයක යුවතියක්.....හ්ම්
අතවරයට ලක්වෙලා මාස හයක් ..... බයට, ලැජ්ජාවට ....කාටවත් කියල නෑ ....  

(අතවරයකට පස්සේ පොස්ට්නොර් 2 ගන්න කියලා කවුදෝ මුහුණු පොතේ ලියල තිබ්බ.... එත් අපි මේ ඉන්නේ නාමය වසරේ සෞඛ්‍ය පාඩමේ ප්‍රජනනය පාඩම අත ඇරලා උගන්වන ගුරුවරුන් ඉන්න සමාජයක )

ඒ දැරිවිගේ අම්මා මගෙන් අහනවා...හොරෙන්ම....අනේ ඩොක්ටර් බඩ හේදෙන්න මොනවවත් බේතක් නැද්ද......

"පිස්සුද අම්මා.... ඒක නීති විරොධී...... "මම පොලිස්කාරයෙක් වගේ උත්තරයක් දුන්නා .......

ඒ සිද්ධියත් මගේ හිතෙන් මැකිලා ගියා.....
මාසයක් විතර යන්න ඇති.....

මගේ වාට්ටුවෙන් ඇමතුමක්... වෙලාව රෑ දහයයි.....
ඩොක්ටර් .....emergency Lap එකක් (emergency laparotomy / හදිසි උදරය විවෘත කර කරන සැත්කම) 

මම දුවනවා ශල්‍යාගාරයට.... මාත් එක්කම වගේ මගේ ජේශ්ට වෛද්‍ය වරයත් එතන....
මේ අර යුවතිය නේද.....
හොර ගබ්සා මද්‍යස්ථානයකට ගිහින්.... එතනින් අන්නාසි ගැට කවල... ඉස්පෝක් කම්බි වලින් ඇනල... දරු ගැබ විනාශ කරන්න... අන්තිමට ගර්භාශය පුපුරලා... විසබීජ ඔඩු දුවලා ..... 
උදේ වෙද්දි ඇය මේ ලෝකෙන් සමු අරන්......
සොලොස් වියැති යුවතිය... සොලොස් කලා පිරි පුන්සඳ බැස ගිහින්... නැවත නොපායන්නම.....

හ්ම්....

තවත් ජවනිකාවක්... 
මම පූර්ව ප්‍රසව වාට්ටුවේ.... 
ඔන්න එදත් රෑ 11ට විතර අම්ම කෙනෙක් හදිසියෙන් ඇතුලත් උනා.....
ඩොක්ටර් අපි මාතර.... 
මම යාලුවො කට්ටියත් එක්ක ශ්‍රී මහා බෝධිය වදින්න ආපු ගමන්.... 
කාඩ් මොනවත් ගෙනැල්ලත් නෑ මම.... 
යාලුවා කියන තරුණියත් 30-35ක් විතර ඇති.... 

නමුත් බඩදරු අම්මගේ හැසිරීමේ තිබුනු සැක සහිත බව නිසා මම නැවත කතා කරා....
ඔව් මම විතරයි ... කවුරුත්ම වෙන නෑයො ආවෙ නෑ

ඔයින් පිට වචනයක් අහගන්න... සෑහෙන වෙලාවක්.... 

අන්තිමට ඇත්ත..

ඇයත් පාපතරයෙකු අතින්......හ්ම්..

බඩට මාස දහයයි... ඒ අතින් ඇයහොඳ නාට්ටියක් කරන්න හැදුවේ....
දරුවන් නැති යුවලකුත් හොයාගෙන..දරුවාව හදාගන්න දෙන්න... 
ඔව් අර යාළුවා වගේ ආවේ ඇය තමයි......
රටේ අනිත් පැත්තේ රෝහලකට එනවා බොරුවකුත් කියාගෙන...
අර යාලුවා කියන කෙනාගේ නමින්ම ඇඩ්මිට් වෙන්න.....

හ්ම්...

මේ තවත් දවසක් 

සිහි මද ගතියෙන් පෙලෙන.... උපතින්ම අබාධිත යුවතියක්.... 
වයස අවුරුදු විසි පහයි..... 
බලා කියාගන්නේ අක්කා... 
ඇයත් විවාහවෙලා නැහැ නංගි බලාගන්න ....ඕන නිසා... 
අක්කා එදා වේල හොයාගන්නේ ගමේ ගල්වලේ වැඩකරලා... 
උදේට නංගිට කවා පොවා වැඩට ගිය අක්ක දවල් එද්දී අර සිහි මඳ ආබාධිත නංගි අසල්වැසියෙක් අතින්.......

හ්ම් 

දරුවෙක් තබා තමාවවත් හරියට බලා ගන්න බැරි ඇය ........හ්ම්...

ඊට සෑහෙන කාලෙකට පස්සේ මම ළදරු දැඩි සත්කාර ඒකකයේ රාජකාරි..... 



පොලිසියෙන් පණිවිඩයක්......
අලුත් උපන් දරුවෙක්..කුණු ගොඩකට විසිකරලා ගිහින්.... අපි දැන් අරන් එනවා... දිමියෝයි පොඩි පොඩි සත්තුනම් ටිකක් කාල... පන තියනවා තාම.....

හ්ම්.....

දස මසක් මා කුස තුල සිටි පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ
වීසි කරමි වන ලැහැබට දෑස පියා ගෙන
නයි පොළොඟුන්ගෙන් මවක ලබාවා
වග වළසුන්ගෙන් පියෙකු ලබාවා

දැඩිවී වග වළසුන් අතරේ
වළසකු වී අවුදින්
පුතුනේ . . . වීසි කරන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ

සැතපී නයි පොළොඟූන් දරණේ
පොළඟෙකු වී අවුදින්
පුතුනේ. . . අහක දමන්නට දරුවන් වදනා
ලෝකය කා වනසනු පුතුනේ


සුනිල් ආරියරත්න ලියපු.....නන්දමාලිනිය පවන කැසට් එකට ගයපු මේ ගීය..... අහන්න ඔබත්.....

    






ගබ්සාව පිලිබඳ අලුත් නීති ගෙන ඒම ගැන මොකද හිතන්නේ ඔබ.... මේවා අහද්දී යම් ඒක හොඳයි කියල හිතෙනවා .... 
ඒත් ධනය...බලය...දේශපාලන ගොහොරුව...මුදල් ආදී දෙයින් පිරුණු මේ ලංකාවේ....
සල්ලි වලට බල්ලොත් මරණ මේ ලංකාවේ ඕක හරියයිද .... 
මම ඒ අලුත් නීති වලට පක්ෂව හෝ විපක්ෂව නැතුව මැදින් හිටගන්නම්.... 
ඔබ හිතල බලල කැමති පැත්තකට යන්න......

4 comments:

  1. ගබ්සාව නීති ගත කරන්න කලින් අපි මේවා ගැන කොතරම් දැනුවත්ද කියල බලන්න ඕන නේද? අපි හිනා වෙනවා ඇමරිකාවේ ඉස්කෝල වල ටොයිලට් වල කොන්ඩම් තියෙනවා කියලා. ඒත් අපේ කව්ද හතර අත නොබල ෆාමසියකින් කොන්ඩම් එකක් ගන්න යන්නේ.. ඇත්තෙන්ම අපි හැම අතින්ම පිටු පසින් ඉන්නේ.. ගබ්සාව සීමිත ප්‍රමාණයකින් හෝ නිතිගත කිරීමක් කරන්න ඕන පිළිගත නොහැකි දුර්ලභ අවස්තා වලදී.

    ReplyDelete
  2. //ඒත් ධනය... බලය ... දේශපාලන ගොහොරුව.. මුදල් ආදී දෙයින් පිරුණු මේ ලංකාවේ
    සල්ලි වලට බල්ලොත් මරණ මේ ලංකාවේ ඕක හරියයිද.... //
    ගබ්සාව පමණක් නොව එල්ලුම් ගහ හෝ මරණ දඩුවමත් ලංකාවේ නිතිගත කලයුතුයි කියා මම හිතනවා. හැබැයි ඔබ කිව්වා වාගේ ජරාජ්ර්නවු ලංකාවේ හොරු අහිංසකයෝත් එල්ලුම් ගස්යවාවි තක්කඩි කමින් හොර ගබ්සාවන් රජයේ රොහල් වලදි කරගනිවි. එත් ගින්දර වලින් ගිනිගනිවි කියා හිත හිත හිටියොත් ගින්දරෙන් වැඩක් ගන්න බෑ. ඒ නිසා නිති ගතකලයුතුයි.
    හරිහමනු ලිංගික අධාපනයක් හැමෝටම දෙන්න ඔනේ. මිඩිවයිෆ්ලා දරුවෝ ලැබුනු අම්මලාට කොන්ඩොම් දෙන්නේ නෑ. අම්මලාත් ලැජ්ජාවට ඉල්ලන්නේ නෑ. ලමයාට අවුරුද්දක් යන්න කලියෙන් අම්මා ආයෙමත් බඩින්. ඉතිං හොර ගබ්සා කාරයන්ට රජමගුල්.

    ReplyDelete
  3. හොඳ පූර්විකාවක් කැලුම්,මගේ අදහස නම් රටතුළ ආකල්පමය වෙනසක් මේ සම්බන්ධයෙන් ඇතිවිය යුතුය යන්නයි.ප්‍රධාන වශයෙන් පාසල් ලමුන්ට ලින්ගික අද්‍යාපනය ලබාදීම ඉතා වැදගත්.ගනිකා වුර්තිය නීතිගත කිරීමත් මෙයට සමගාමී විය යුතුය.

    ReplyDelete