Wednesday, August 20, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 5 - "කවුරුන්ද මල්වයසෙ මගෙ යහන ගිනිබත් කලේ.."

පහුගිය දවසක හන්තාන අඩවියේ පිය සටහන් 4 කොටසින් මම කිව්වා හා හා පුරා කියල ප්‍රේමය ප්‍රකාශ කරලා වෙච්ච වැඩේ....
හ්ම්
හීතල පේරාදෙණියේ උනත් හිත කරකුට්ටන් වෙලා ගියා ඉඩෝරෙට 
ඉරි තැලුණු වැව් පිටියක් වගේ....
ඒත් අර කවුදෝ කියල තිබ්බ try and try ....one day you can fly කියන එක මතක් කරලා දුන්න අපේ group එකේ හිටපු අමිලා .....
හ්ම් ...කොල්ල ඔන්න ඒ උපදෙස හොඳට හිතට ගත්ත....
දැන් ඉගිලෙන්නයි කල්පනාව.....


ඉගිලෙන්න කියල ගිහින් ඔන්න දවස් දෙක තුනක්ම අර කලින් උත්තරේම අහගත්තා..... හැබැයි ඉතින් ඒක වම් කනෙන් අහල දකුණු කනෙන් පිට කරලා කොල්ල ආයෙත් ට්‍රයි ...
මහවැලි ගඟ අම්ම කෙනෙක් වගේ බලන් උන්න සිද්දවෙන දේවල්....හන්තාන තාත්ත කෙනෙක් වගේ බලන් උන්න...ඉතින් දවසින් දවස කල් ගත වෙනවා. සමහර දවස් වල උදේට ඇහැරලා කැම්පස් එක ඇතුලට යනකොට මල් වරපු කහමල් ගස් .....රොබරෝසියා ගස් සට සට ගාල පිණි කඳුලු හලනවා...සමහර ඒවා මගේ ඔලුවේ... සමහර ඒවා මගේ ඉස්සරහට වැටෙනවා...ඒ පිණි කැට නොපැගෙන්න පරිස්සමින් අඩිය තියල මම යනවා කැම්පස් එක ඇතුලට ඇවිදගෙන.... සමහර දවස් වලට ඇය නැවතිලා ඉන්න බෝඩිම පැත්තට ඇවිදගෙන ගිහින් ඒ බෝඩිම දිහා බලල ආපහු හැරිලා එනවා.....

කලින් දවසක කිව්ව විදිහට දැන් මම යන්නේ නුවරට ගිහින් බස් එකේ සිකුරාදා හවසට... 
දවල් 12ට ELTU ඉවර වෙච්චි ගමන් ඇය යාළුවොත් එක්ක යනවා ගලහ හන්දියට ....නුවර යන්න.... 
සමහර දවස් වලට මමත් දුවල ගිහින් නගිනවා ඒ බස් එකටම...
සමහර දවස් වලට බැරි වෙනවා... 
එහෙම උනාම අලුත් පාරේ වේගෙන් යන නාවලපිටිය බස් එකක් හරි කෑගල්ල, කොළඹ බස් එකක් හරි අල්ලාගෙන යනවා කොහොම හරි නුවරින් ඇය නගින කුරුණෑගල බස් එකටම නගින්න.. 
ඔන්න එදත් මට බැරි උනා ඈ නගපු බස් එකට නගින්න.. 
එතකොටම ඔන්න එනවා දෙය්යෝ දුන්න වගේ කොළඹ බස් එකක්....
මම කොහොම හරි කලින්ම ගිහින් ගුඩ් ෂෙඩ් බස් නැවතුමේ ඇය එනකොට....
ඔන්න එදත් අපේ බැච් එකේ කුරුණෑගල සෙට් එකේ විස්සක් විතර බස් එකේ....බස් එක හරියට අපි හයර් එකට අරන් වගේ... බස් එකේ පිටිපස්සෙම පේලි කීපය අපේ....ඔන්න බස් එක පිටත් උනා...අපේ කට්ටිය ගොඩක් ඉන්න නිසා ඔන්න කොල්ලෝ සෙට් එක සින්දු කියනවා... වැඩියෙන්ම කෑගහල සින්දු කිව්වේ චන්දන මල්ලි... මට මතක හැටියට බස් එක කටුගස්තොට පාලම හරියට එද්දී චන්දන මල්ලි පටන් ගත්ත සින්දුවක්.... මෙන්න මේක....

පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ
කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ
කවුරුන්ද මල්වයසෙ මගෙ යහන ගිනිබත් කලේ
මන මාලියේ//
දඟකාරියේ.....

බිඟු දබර කල සිතේ දිය බොරවෙලා
විෂ බඹර තුඩු වලට පෙති හැකිලිලා
දෙකොපුල් රිදුනාද දඟකාරියේ//
කියන ලඳේ මට රහසේ
උඹට මං පන වගේ ආදරේ//

පෙම වහන් කල සිතේ නෙතු වැලපිලා
විහඟ ගී රාවයෙන් තෙරපිලා
සෙනෙහස ලැබුණාද දඟකාරියේ//
කියන ලඳේ මට රහසේ
උඹට මං පන වගේ ආදරේ//

පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ
කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ
කවුරුන්ද මල්වයසෙ මගෙ යහන ගිනිබත් කලේ
මන මාලියේ//
දඟකාරියේ.....
උඹට මං පණවගේ ආදරේ



මේක විරහ ගීතයක් තමයි...මම මේ කියන සිද්දියට ගැලපෙන්නේ නැහැ තමයි...එත් මම කලින් කියල තියනවා වගේ මම සිද්දියකට ඈදා ගන්නේ ගැලපෙන්නේ නැති සිංදු ....ඒ මගේ හැටි.....
මේකේ මුල් කොටස විතරක් ගත්තොත් ඒක නම් ගැලපෙනවා

"පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ
කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ
කවුරුන්ද මල්වයසෙ මගෙ යහන ගිනිබත් කලේ
මන මාලියේ//
දඟකාරියේ.....":

ඔව් ..මේ වෙනකොට මගේ මුළු ලොවම ගිනි අරන් තිබ්බේ ආදරයෙන්...
පස්සෙතමයි මම දැනගත්තේ මේ සින්දුව කියන්නේ සේනානායක වේරලියද්ද කියල...හැබැයි බස් එකේදී චන්දන මල්ලි කිව්ව සින්දුව මට ලස්සනයි වේරලියද්ද කියනවට වඩා....

කොහොමෙන් කොහොම හරි සින්දු පහළොවක් විස්සක් කියාගෙන ...මම ඇය දිහා බලාගෙන අපි ආව කුරුණෑගලට....
කුරුණෑගලින් යාලුවෝ කට්ටිය වෙන් වෙලා තම තමන්ගේ ගෙවල් වලට යනවා......
ඔන්න ඔය විදිහට ඇයත් ගිහින් නැග්ග ඇගේ ගෙවල් පැත්තට යන බස් එකට......

මෙච්චර වෙලා මම හිතේ තදකරන් හිටපු සැලසුම ක්‍රියාත්මක කරන්නයි දැන් කල්පනාව.... 
කුරුණෑගල ඔරලෝසු කණුව හිටිවනම බලාගෙන ඉන්නවා මගේ දිහා....
ඇතාගල පැත්තෙන් එන රස්නෙට ඉහින් කනෙන් දාඩිය පෙරෙනවා... මගේ තනියට ඉන්නවා මිතුරා සම්පත්... 
මම ටිකෙන් ටිකම ඇවිදන් යනවා ඉස්සරහට... 
මට ලෝකය කැරකෙනවා වගේ දැනුන...
නෑ කමක් නැහැ.....
ඔන්න සම්පතුයි මමයි දුවල ගිහින් නැග්ග ඇය නැගපු බස් එකට.......
බස් එකේ ඇය ඉඳගෙන... 
අපි දෙන්න හිටගෙන....මම මගේ බෑග් එක දුන්න ඇයට ....

"මේ කොහෙද මේ දෙන්න යන්නේ" ....ඇය අහනව 

"අපේ පුංචි කෙනෙක් ඉන්නවා ඔය ගොල්ලන්ගේ ගෙවල් පැත්තෙම ....එහෙ යනවා...." මම ගත් කටටම කිව්වා....

ඈ අමුතු විදිහට හිනාවුණා...

ඔන්න දැන් බස් එක යනවා... බස් එකේ හිටපු සෙනගත් එකා දෙන්න බහිනවා....ඔන්න ඔහොම හැතැප්ම පහක් විතර ගියා කියමුකෝ...ඔන්න ඇය නැගිට්ට සීට් එකෙන්....

"ඔය ගොල්ලෝ බහින්නේ නැද්ද....මම නම් බහිනවා ඉස්සරහින්.."

"නෑ....අපි තව හෝල්ට් තුනක් විතර ඉස්සරහට යනවා.." මම කිව්වා.

ඇය අතින් කට වහගෙන හිනා වෙනවා....
අහෝ  ඛේදයකි.... බස් එක පාරෙන් අයින් කරලා නැවැත්තුවා. හිනාව අතරින් ඇය කියනවා මෙහෙම.

"මේ බස් එක මෙතනින් එහාට යන්නේ නැහැ"

ඇය හිනාව ආයාසයෙන් තදකරගෙන බැහැල ගියා....
මමයි සම්පතුයි රුපියල් පහේ ටිකට් දෙකට කොන්දොස්තරට දුන්න රුපියල් සීයේ ඉතුරු ගන්නෙත් නැතුව බස් එකෙන් බැහැල හෝල්ට් තුනක්ම ආපස්සට පයින් ආව... බස් එකක්වත් එනකන් අර හෝල්ට් එකේ ඉන්න ලැජ්ජාවට .....
අපොයි මටත් වෙන දේවල්


5 comments:

  1. කොයි පැත්තටද කැලුමො ගියෙ...
    ඔය තරං ලැජ්ජ වෙන්න තරං...
    මල්කඩුවාව පැත්තට එහෙම නෙවී කනේද

    ReplyDelete
  2. ඉතින් ඊට පස්සෙ?

    ReplyDelete
    Replies
    1. ඉතින් ඊට පස්සේ..ප්‍රාර්ථනා වැස්සේ......,සැප්තම්බර් පලමු වෙනිදා වෙනකන් ටික ටික ලියන්නම්..අන්තිම කොටස එදාට.

      Delete
  3. එහෙමත් ආදරයක්!

    ReplyDelete