Sunday, August 31, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 8 - "මටම හිමිවෙලා ...මා ළඟ ඉන්න සදා ...."



ගිණි ගහන මද්දහන...... දාඩිය මුගුරු කඩා හැලෙනවා.. 
ඇතුගල උඩ ඉඳන් ඉර ඔච්චම් කරනවා..
ඒ දවස් වල නුවර ඉන්ටර්සිටි බස් නැවැත්තුවේ කුරුණෑගල මාර්කට් එක ගාව..
මම වෙලාව බලනවා......තුන හමාරයි .....හවස.....
ඇය සාමාන්‍යයෙන් දෙක හමාරේ බස් එකේ යනවා, අද තාම නැහැ....

හ්ම්,

ඇයට කොළඹ කාක්කවත් හම්බ උනාද ..... 
නැහැ......නැහැ.....ඈ කිව්වනේ කැමති නෑ කියල....
මගේ උඩු හිතයි...යටි හිතයි යුද්ධයක්......

ටාං ....ටාං ....ටාං ...ටාං ........

කුරුණෑගල ඔරලෝසු කනුව අඬනවා .....වෙලාව හතරයි...
තවත් නම් බලන් ඉන්න බැහැ ...... ඇගේ ගෙදරටවත් කෝල් එකක් දීල බලමුද.......මගේ මිතුරා සම්පත්ගෙන් අදහසක්.....
ඒත් කොහොමද ....කොල්ලෙක් ගෙදරට කෝල් කලාම ගෙදර මිනිස්සු මොනවා හිතයිද......සම්පත්ට හොඳට ගෑණු කටහඬවල් අනුකරණය කරන්න පුළුවන්...ඌ බාරගත්ත අභියෝගය.......

ඔන්න දැන් සම්පත් කෝල් කරනවා......

" හෙලෝ.....මේ.....ගී__ අක්කලාගේ ගෙදරද......ආ අන්කල්ද.....ඔව්......මං සමන්තිකා කියල යාලුවෙක් කතා කරන්නේ....අක්කා ගෙදරින් ආවද?"

(අනවසරයෙන් නම පාවිච්චි කළා කියල පස්සේ දවසක සමන්තිකා නංගිගෙන් දෝස් මුරයක් හම්බ උනා )

ඇය ගෙදරින් ඇවිත් දෙකට විතර......
අපොයි.......
මමයි සම්පතුයි ඊළඟ බස් එකට නැග්ග කැම්පස් යන්න.

පහුවදා උදෙන්ම කුකුලත් අතින් අරන් මම යනවා කැම්පස් එකට....මෙන්න ඉස්සරහටම එනවා ඇය .........

"ඔයා ඊයේ කීයටද ආවෙ .....මම බලන් හිටිය ඔරලෝසු කණුව ළඟ....." මම කිව්වා.

"ආ..... මං දැක්ක ඔරලෝසු කණුව ළඟ හිටන් ඉන්නවා....."

"ඉතින් කතා කරන්න එපැයි "

"ඒ මොකටද "

හ්ම්....උදැල්ලක් තිබ්බනම් වලක් හාරගෙන පනිනවා.

ඔහොම ඉතින් උදේ හවා ඇය දැක දැක තවත් දවස් පහක් ගත උනා. සිකුරාදා දවස....
හරියටම කිව්වොත් දෙදාස් දෙකේ අගෝස්තු තිහ.....
හන්තාන පාමුල සොඳුරු මහවැලි නිම්නයට ඉර පෑව්වේ නැහැ උදේ...හතර වටින් වැහි බීරිම.....
මහා හයියෙන් අකුණු ගහනවා....ඇත්තටම ආකාසෙ .....උදේ දහය වෙනකොට මහා වැස්සක් ඇදවැටුණ ....
හතර වටින් කළු කරලා....අපේ ක්ලාස් එකේ නම් එහෙම කරුවලක් නැහැ..මට....ඇය ඉන්නවනේ.....

හ්ම් 

දොළහ වෙද්දීත් පායන පාටක් නැහැ. අපි ගෙවල් වලට යන දවසනේ....පරක්කු වෙන්නේ කොහොමද....
දැන් කට්ටිය කුඩ ඉහලගෙන වැස්සෙම පිටත් උනා....
මම නම් තනි කලුපාට කුඩයක්.....මගේ තනි හිත වගේ....
ඇගේ කුඩය රතු පාට මල් මල් කුඩයක් .....ලස්සනයි......

අපි වැස්සේ දුවගෙන ඇවිත් නැග්ග ගලහ හන්දියෙන් නුවර බස් එකට
බස් එක කොට කොට විනාඩි හතලිස් පහක්ම ආව නුවරට ...
ඒක උඩ පාර බස් එකක්....සිංගර් මෙගා එක ගාවින් බැහැල පුංචි පඩි පෙළක් දිගේ පහලට බහින්න ඕන ගුඩ් ෂෙඩ් නැවතුමට එන්න...

අඳුරු ලලා සෙන්කඩගල වැස්ස.... බොර වතුර හෝ ගාල යනවා ගං වතුර වගේ.... ඇගේ මුහුණත් අහස වගේ...අඳුරු වෙලා.....
මම ඇහුව මොකද කියල.....

"අනේ බලන්නකෝ කැලුම්....මගේ කුඩේ අර බස් එකේ අමතක වෙලා ඇවිත්...."

අය්යෝ......අර ලස්සන මල් මල් කුඩේ..... මගේ හිත කිව්වට කාටවත් ඇහුනේ නැහැ....

"ඉන්න මං බලල එන්නම්.....බස් එක ඔරලෝසු කණුව ළඟ ඇති..."

"එපා කැලුම්....මේ වැස්සේ යන්නේ කොහොමද....." ඇය කිව්වා.

"පුළුවන් නම් ගිහින් බලන්න " ඒ ඇගේ යෙහෙලියක්......

මම ඉහල ගත්ත මගේ කළු කුඩේ....ගියා බස් එක හොයන්න..... සම්පතුත් මාත් එක්ක ආව කට්ට කන්න.... සම්පත්ගේ කුඩේ ලොකු එකක්....මගේ එක හතරට නමන පොඩි කුඩයක්.....මම හොඳටම තෙමෙනවා .....වහින්නෙත් හරහට .....හුළඟ හින්ද........ 
එක පාරටම වේගෙන් ආපු රතුපාට කාරෙකක් මාව පහු කරන් ගියා ..... මගේ ඉහින් කනින් මඩ වතුර... 
සම්පත් හොඳ කුණුහරුපයක් කියල කෑගැහුවත්.....වීදුරු වහගෙන A/C එකේ යන උන්ට මගේ දුක තේරෙනව යැ.

බස් එකවත් කුඩේවත් හොයාගන්න බැරිවුණා....වතුර එකක්ම පිරිච්ච සපත්තු දෙකයි.....තෙතබරිත වෙලා මඩ පැල්ලම් හැදිච්ච ඇඳුම් එක්ක මම ආපහු ආව....
අනිත් උන්ට නම් හිනා මාව දැකල.....
ඒත් ඇගේ ඇස් දෙක දිලිසෙනවා මම දැක්ක....

" අනේ පව්......ඔයා මං හින්ද හොඳටම තෙමිලා....මේකෙන් ඔලුව පිහදාගන්න "

ඇය මට ලේන්සුවක් දුන්න....

"ඉතින් පිහදාගන්නකො "

මම ඇගේ වචන වලට අවනත වෙනව ......
ඔන්න බස් එකත් ආවා ......
එදා බස් එකේදී ඇය මගේ දිහා දෙතුන් විටක් බලනවා මං දැක්ක...
කොහොමෙන් හරි කුරුනෑගලට ආව අපි.....
බස් එකෙන් බැහැල ඇය මගේ ළඟට ආව.......සුරඟනක් වගේ......
.........................................................................
...................................................................................................
..............................................................................
........................................................................................
.............................................................................


" කැලුම්....බොහොම ස්තුතියි මං හින්ද කරදර උනාට......."


මගේ හිත බෑන්ඩ් ගහනවා. සින්දු කියනවා.......ඔබටත් අහන්න ඕනෑද....


මගේ ජීවිතේ ......සතුට රැඳී තිබුනේ
තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ .....හසරැල්ලේ
සිතුවේ නෑ ....දැනුනේ නෑ
ඔබ දකින තුරා .....

සුන්දරයි සිතූ සියලුම දෙයට වඩා
සුන්දරයි ඔබ.....
අහිංසකයි කී හැමදේකටම වඩා
අහිංසකයි ඔබ
මටම හිමිවෙලා ...මා ළඟ ඉන්න සදා ....

මගෙ ජීවිතේ.....

අස්තිරයි සිතූ සියලු දෙයම බොරුවී
ඉස්තිරයි ඔබ..
කවි සිතකැයි කී මගෙ සිත පාලු මැකී
හිනැහෙනවා ඔබ
මටම හිමිවෙලා ...මා ළඟ ඉන්න සදා ....

ඒ හඬ දයාන් විතාරණගේ


3 comments:

  1. "වහින්නෙත් හරහට...." හැම දේම හරහට තමයි. බලමු බලමු ඊට පස්සෙ

    ReplyDelete