Saturday, August 23, 2014

ආදර සුවඳක දූවිලි අතරින්...

ඉර පායනවා.... බැසයනවා .....ආයෙත් පායනවා.....
ත්......ඇය ......
ඇය කාමරේ දොර අගුළු දාගෙන
ඇය ළඟ තියන අළු පාටට හුරු ගමන් මල්ල අතට ගත්ත..... 
මේක කොච්ච‍ර ලස්සනද...
අළුපාට රෙද්දෙන් මහල රිදී පාට ගාන්චුවක් අල්ලපු ගමන් මල්ල...
ඒත් ...
ඇයට දැන් හිතෙන්නේ අළු පාට කියන්නේ කොච්චර මුස්පේන්තු පාටක්ද....
උඩින්ම තියනවා බෙහෙත් බෝතලේක හිස් පෙට්ටියක්.... 
ඇගේ සිතුවිලි ගලනවා අවුරුදු හතරක් ආපස්සට.... 
ඇයට හොඳටම හෙම්බ්රිස්සාවයි...කැස්සයි.... 
කතා කලාට වචන පිටවෙන්නේ නැහැ.... 
ඒ එක්කම කෝල් එකක්... ඔහුගෙන්.... 
ඉතින් කොහොමද කතාකරන්නේ ....සද්දේ නැතුව.... 
ඇය යවනවා කෙටි පණිවිඩයක් ඔහුට....
ඔහුගෙයි ඇයගෙයි හදවත් හමුවෙලා සති දෙකයි එතකොට.....
ඔන්න ටික වෙලාවකින් කැස්ස පැනියකුත් අරන් ඔහු නවාතැන් පල ඉස්සරහ......

හ්ම්.....

ඇය ආයෙත් වර්තමානයට.....
කඳුලින් නිතර පෙඟෙන හින්ද කළු පාට පුස් පැල්ලමක් මතුවීගෙන එන කොට්ටේ මහල තියන රෝස මල හිනාවෙනවා ඇයට... 
ආයෙත් අදිනවා ඇය ගමන් මල්ල...
හතරට නවාපු චොකලට් දවටනයක්.... බිස්කට් පැකට් එකක කෑල්ලක්....තව ලට පට ගොඩක්...

ඔන්න ඔය අතරේ තියනවා කෝච්චි ටිකට් දෙකක්.....
".................." සිට "කොළඹ කොටුව" දක්වා කියල ගහපු..... 
ඇගේ ඇස් වලට බර වැඩි උන කඳුළු බිංදුවක් රූටගෙන ඇවිත් නතර උනා කෝච්චි ටිකට් එක උඩ ....
ඉස්ඉස්සෙල්ලම ඔහුගේ අත අල්ලාගෙන ඇස් වලින් කතා කරපු දවස මතකෙට ආව ඇයට.... 
ඒ පැය හතර පහට කෝච්චි ගමන විනාඩි හතරකින් පහකින් වගේ ගෙවිල ගිය හැටි මතක් උනා....ඇයට....
කෝච්චිය කොච්චර දේවල් දුන්නද.....හ්ම්....

ඔහුගේ උපන්දිනය දවසේ ආසාවෙන් කෝච්චියට උස්සන් ආපු කේක් එක ලැජ්ජාවෙන් වට පිට බල බල කාපු ඔහු..... 
ඇය කොච්චර ආසාවෙන් උන්නත් වටපිට අයට පෙනෙන නිසා ඇයට කේක් කෑල්ලක් කවන්න ලැජ්ජා උන ඔහු......
හ්ම්
ඇයට හිතුන ඒ දවස් වල ඔහුත් ඇයත් රේල් පීලි දෙකක් වගේ කියල...
ඈතට යනකොට එකතුවෙන.... 
ඒත් දැන් ඇය දන්නව ඒක මිරිගුවක් කියල....
රේල් පීලි දෙකක් කවදාවත් එක්වෙන්නේ නැහැ කියල.....
ඇය මොකක්ද මේ කරන බොළඳ වැඩේ.... 
අජීවී වස්තු....ලටපට ගොඩක් බෑග් එකක එකතු කරගෙන..... 
විහිළුවක් වගේ නේද.....ඔබට එහෙම හිතෙනවා ඇති.... 
ඒත් සජීවී ඔහු දැන් ළඟ නැතිකොට....ඒ ලස්සන අතීතයේ ජීවත් වෙන්න ඇයට පාලමක් වෙන්නේ මේ පුංචි පුංචි දේවල්.......

බෑග් එක අඩියේ තිබුන ලේන්සුවක් ඇදල ගත්ත ඇය .... 
"සලාං " ගාල බිම වැටුන ඒකෙ පැටලිලා ආපු දෙයක්....
රෝල් වෙලා ගියා ඇඳ අස්සට....
ඇය බිම දණගහල බැලුව මොකක්ද කියල.....
දෙයියනේ දම්පාට පුංචි වළල්ලක්..... 
මීට අවුරුද්දකට ඉස්සර කෝවිලේ පූජාව බලන්න ගිය වෙලේ මනිබඩු කඩේකින් ඔහු අරන් දුන්න දම් පාට වීදුරු පුංචි වළල්ල.... 
ඇයට කොච්චර වටිනවද මේක....
ඇය හිතනවා මෙහෙම......
හෙට උදේ.....නැකතට....ඔහු පළඳවාවි රත්තරන් මාල මුදු වළලු......ඒ යුවතියට...පෝරු මස්තකයේදී.... අන්දවාවී සළු.... 
ඒත් ඒ රන් වළලු වලට වඩා වටින ..... ආදරය පිරිච්ච මේ වීදුරු වළල්ල අයිති මට.....
හෙට ඉඳන් ඔහු මට අයිති නොවුනට......

ඇය දන්නේ නැහැ ඇගේ කතාව ඇය උපදින්නත් ඉස්සර අජන්තා රණසිංහයන් ලියපු වග.... සරත් දසනායක තනුව දැම්ම වග.... චන්ද්‍රානි ගුණවර්ධන ශෝකී හඬින් කියල තියන වග......


දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්
ඔබට මතක නැති
මට අමතක නැති
පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ....

පෙරදා ඔබගේ පෙම්පත් සමඟින්
ආදර සුවඳක දූවිලි අතරින්
ඉඳහිට දිලිසෙන පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ

ආදර දෑතින් ඔබ මට පැළඳූ
ආදර මා හද යළි යළි රිදවූ
දුක් කඳුළක් බඳු පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ...


6 comments:

  1. මං ඉස්සරෝමඋසස් පෙළ කරන කාලෙ ඔය සිංදුවෙ පද ටික ඇහුෙව...
    ඇත්තටම මේ මෑතක්වෙනකං මං දැනං හිටියෙ නෑ ඕක සිංදුවක් කියල...
    ඒ දවස් වල මට තිබ්බෙ කවි පිස්සුව..
    ඉතිං මං හිතං හිටියෙ ඕක කවියක් කියල...
    ඕකට කතාවකුත් ලීව...
    හිහි...
    සටහන අපූරුයි ඈ

    ReplyDelete
    Replies
    1. ලිව්ව කතාව නම් අගේට ඇති.. ගීත කියන්නෙ මහ පුදුම දේවල්. ස්තුති ඇවිත් ගියාට

      Delete
  2. හරිම ලස්සනයි, කොහොමද මෙහෙම ලියන්නෙ...... මේ තරම් ලස්සනට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට..... මෙව්වා නංගි ලියනවා නෙමේ ලියවෙනවා.... මේවා මගේ අත්දැකීම්....ඒ කිව්වේ මටම උන එව්වා නෙමේ..එත් මගේ යාලුමිත්‍රයන්ට , ඉස්පිරිතාලේදී හම්බවෙන ලෙඩ්ඩුන්ට...පාරේ තොටේදී දකින එව්වා....ඉතින් එව්වා ලියවෙනවා නිකන්ම,

      Delete