Friday, August 8, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 4........;"ඒ සිහින කුමරි ඔබ නම්"



හීං වැහි පොදක් වැටෙනව...
පේරාදෙණියට 
හැමදාම වැටෙනවා නොවැ ඔහොම වැසි...
ගලහ හන්දියෙන් කැම්පස් එක ඇතුලට යන ගලහ පාර දිගේ ගස් වල කහමල් නම් පිපිලා නැහැ...
ඒත් මෙහාට හැමදාමත් වසන්තය ඇති වග පෙන්නන්න වගේ ටැබුබියා ගස් රෝසපාට පොරෝගෙන...
ඔහු ඇවිදගෙන යනවා.....
ඔහුගේ හිසමතට වැටෙනවා....ලොකු වතුර බින්දු විතරක් නෙමේ,
රෝස පාට මලුත්....
ඉර ඇහැරලා ගොඩක් වෙලා ගිහින් තිබුනත්....හන්තාන පොරවාපු මීදුම් සළුව තාම එහෙමමයි....
ඇය එනවා රතුපාට මල් මල් කුඩයක් ඉහලගෙන .... 
කුඩේට වැටුණු ඉර එලිය ඇගේ මුහුනටත් වැටිලා.....
ජම්බු ගෙඩියක් වගේ...
වැහි පොදවත්....මල් වැස්සවත් ඇගේ ඇඟට වැටෙන්නේ නැහැ....
කුඩෙන් බේරිලා වටේට වැටෙනවා. 
ඇය යන්න ඇරලා ඇගේ පයට පෑගුණු මලක් ගත්ත ඔහු අතට....

"ස් ....ස් ......"

ඇය හැරිලා බලනවා...
කරුමෙකට ඔන්න කොහේදෝ ඉඳන් ඇගේ යෙහෙලියක් පාත් වෙනවා එතෙන්ට....

"ඇයි ..... දත් අස්සේ හිල් ද?.... " ඇගේ යෙහෙලිය අහන්නේ......

ඔහු ඈට කිට්ටු වෙලා කියනවා මෙහෙම.....

"මට ඔයාට කියන්න දෙයක් තියනවා."

"මොකක්ද ඒ...."

"මම පස්සේ කියන්නම්.." යෙහෙළියට රවාගෙන ඔහු කියනවා...ඇයට ......

හාත්පසම වැහි බීරිමෙන් කළු කරගෙන ඇය යනවා.....
ඔහුගේ හිතේ අකුණු කොටනවා.... 
මේකිටත් මේ වෙලාවේම මෙතෙන්ට පාත් වෙන්න හිතුනනේ.....ඇගේ යෙහෙළියට හිතින් ගොරවනවා......

උදේ...දවල් වෙනවා... දවල්.. රෑ වෙනවා....ආයෙත් උදේ වෙනවා.....ඔහොම දවස් දෙක තුනක්ම ගෙවුන.... හරිම අමාරුවෙන්.....

පේරාදෙණි වෛද්‍ය පීටයේ ප්‍රධාන ගේට්ටුව ගාව....හරියටම දැන් සමර් හට්‌ එක තියන තැන ඒ දවස් වල...ඒ කියන්නේ දෙදාහේ දශකයේ මුල් කාලේ තිබ්බේ උගුරැස්ස ගහකුයි....කාසි දමල කතාකරන ටෙලිෆෝන් පෙට්ටියකුයි....

ඒ දවස්වල හරි හරියට ජංගම දුරකථන නැති හින්ද ඔතන හරි පෝලිම....

ඔන්න ඒ දීප්තිමත් දවස උදා උනා. 
ඉර මුදුන් වෙලා බලාගෙන ඉන්නවා කටත් ඇරගෙන .....

වෙන්න යන සිද්දියට....

ඇය ගියා ටෙලිෆෝන් පෙට්ටිය ලඟට...ඔහු ඈත තියා බලාගෙන...දුවගෙන ගියා ඔහුත් එතෙන්ට.... ඇය කෝල් එකක.....ඔහු බලන් ඉන්නවා කෝල් එක ඉවර වෙනකං .......


දෙගිඩියාව අතරින් ඔහුට මතක් වෙනවා සමන් චන්ද්‍රනාත් වීරසිංහ ලියපු පද පෙළක්...සත්සර මුසුව සහ හඬ මුසුව වික්ටර් රත්නායක


සුරංගනාවක් සදිසි මෙනවියක්
අපේ මණ්ඩියට ආවා ලූ
මතක පොතක සිත්තමක ගීතයක
එහෙම ලස්සනක් නැතුවා ලූ
ඇය ඔබද කියන් ළඳුනේ
ඔබ ඇය ද කියන් ළඳුනේ....

බොහොම කාලයක් ඔහොම රූපයක්
මගේ හදවත තුළ තිබුණා නම්
සිහින ලෝකයක් සැබෑ වූ වගක්
මෙහෙමෙ නිමේශෙක දැනුණා නම්
ඒ සිහින කුමරි ඔබ නම්
කුමරුවා මම ය බැඳි පෙම්....

හිතට පාලුවක් දැනෙන යාමයක්
ඔබටද මට මෙන් දැනේවි නම්
අපට තනිකමක් නොවෙන ලෝකයක්
අපිම තනාගමු තනි වේ නම්
ඒ ලොවට කියන නම නම්
ආදරය පමණි මනරම්....


ඔන්න කෝල් එක ඉවරයි....ඇය දැක්ක ඔහුව....

"මොකක්ද අනේ ඔයාට කියන්න තියනවා කිව්වේ" ... ඇය අහනවා

ඔහුගේ දිව පැටලෙනවා....

"මේ....මේ....මේකයි......"

"ඔව් කියන්න "

"මේ...මේ.."

"ඔව් "

"මගේ ඔයා ගැන අදහසක් තියනවා කියල කියන්න"

"ඒ කිව්වේ..."

" හ්ම්...මම ඔයාට ආදරෙයි..."

" ඒක හිතින් අත් ඇරගන්න . එක නම් කවදාවත් වෙන්නේ නැහැ කැලුම්..."

ඉර මුවා වුනා කොහේදෝ ඉඳන් ආපු වැහි වලාකුලකින් ...... අකුණක් පිපුරුව...හිත ගාව......"

ඔව්..ඔබ දැක්ක හරි.....ඔහු තමයි මේ මම...............

3 comments:

  1. සංවේදී අතීතාවර්ජනයක් වුණත් ලිවිල්ල හරිම අපුරුයි රහයි...
    අර වගේ පොල්ලෙන් පතබාන්නැහැ කියපුවාම හතර වරං වෙනව නේහ්..
    ඒත් මෙහෙම එකක් තියේ.. ආයෙ ඒ ගැන හිතෙන්නෙ නැ...
    හිහි

    අදමනෙ ආවෙ ආයෙ එන්නංකො

    ෆලෝවර් ගැජට් එක දාගන්න අපිට එතකොට එන්න ලේසී.


    Settings > layout > add a gadget> More Gadget> Followers

    අය්යෝ මේ කමෙන්ට් වෙරිෆිකේෂන් අයින් කරන්නෝ....
    මළ වදයක් කමෙන්ට් කරන්න ගියාම

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගියාට පිං ....ෆලෝවර්ස් ගැජට් එක දැම්මා....

      Delete
    2. පිං දෙන්නෙ මක්කටෙයි..
      සිංඩි කීපයකට දාගන්න...
      එතකොට කියවන්න අය එයි...
      හොදට ලියන්න
      සිංඩි කීපෙකටම යන පාර තියේ මගෙ බ්ලොගේ අත හිත කියන පේජ් එකේ ඒ හැම එක්කින්ම ලික් කරල තියෙන්නෙ ලිංක් නැති ඒව ඒ නමින් සර්ච් කරන්න එතකොට හරි....

      දැං අහන්නෙපා මේව කීවෙ අැයි කියල ඔයා ලියනව රහයි... හුගක්ම ඒකයි...
      අනික හැංගිල තියෙනවට වඩා කට්ටිය කියවන එක කොච්චර හොදද

      Delete