Monday, August 18, 2014

ලිංගික අසහනයට ලක් වූ මානසික රෝගීන් (පසුවදනක්)

මුලින්ම කියන්න ඕනැ ගොඩක් පින් මගේ සුව දුක් අහපු අයට. 
ගොඩක් දෙනෙක් අහපු හින්ද කියන්නම් මොකක්ද මට උන අනතුර කියල. 
මේක උනේ මගේ මිතුරෙකුගේ ගෙදරදී.. 
ඔහුගේ ගෙදර ඉන්නවා බල්ලෙක්.. ඌ නිකන්ම නිකන් වල් බල්ලෙක්..දඩාවතේ යනකොට කෑම දෙන්න පුරුදු වෙලා.. 
දවසක් ඌරු මස් හට්ටියකට වැඩේ දීල..එදා ඉඳන් මූ ගෙදරින් යන්නේ නැහැලු.. කොහොම හරි මේ බලු තඩියා මගේ කකුලේ පැටලුනා මම පඩිපෙළ නගිද්දී...
මම නිකන් සරුංගලයක් වගේ උඩින් ගිහින් මූණේ වම්පැත්ත බිත්තියේ වැදුනා. කණ්නාඩි කුට්ටම කුඩු. මූණ නිකං කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ උනා... දැන් නම් ඩිංගක් අඩුයි..

බල්ලෝ ගැන කිව්ව නිසා අද කතාවත් බල්ලෝ වගේ මිනිස්සු ගැන ලියන්න ඕන කියල හිතුන. ( බල්ලෝ මට නඩු දමාවිද දන්නේ නැහැ )

මුලින්ම මම යනවා මගේ පුංචි කාලෙට. මට යාලුවෝ ගොඩක් නම් හිටියේ නැහැ. හැබැයි එකෙක් දෙන්නෙක් හිටියා . ඒකට ලොකුම හේතුව උනේ මගේ මල්ලි අකාලයේ මියගියාට පස්සේ අපේ පවුලට හිටිය එකම දරුවා මම වීම. 
මම කොහේ ගියත් අම්ම හරි තාත්ත හරි මගේ පස්සෙන්...හෙවනැල්ල වෙලා...ඉතින් කොහොමද යාළුවො සෙට් වෙන්නේ...
ඒත් 
ඉස්කෝලේ ප්‍රාථමික අංශේදී යාලුවෝ දෙතුන් දෙනෙක් හිටියා. 
ඊට පස්සේ ඉස්කෝලේ 6,7,8,9 පන්තිවලදී යාලුවෝ කීපදෙනෙක්, 
සාමාන්‍ය පෙළ කරද්දී යාලුවෝ කීපදෙනෙක්, 
උසස්පෙළ කරද්දී යාලුවෝ කීප දෙනෙක්, 
කැම්පස් එකේදී යාලුවෝ කීප දෙනෙක්
රජරට කැම්පස් එකේ තාවකාලික කථිකාචාර්ය වරයෙක් විදිහට ඉන්න කොට තවත් යාලුවෝ කීප දෙනෙක්, 
අනුරාධපුරේදී, මන්නාරමේදී, ආයෙත් අනුරාධපුරේදී යාලුවෝ කීපදෙනෙක් හමුවුණා ... 
ඒ අතරින් කීයෙන් කී දෙනාද සැබෑ යාලුවෝ....අඹ යාලුවෝ....


මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යති ......
කියල කවියකුත් තියෙන්නේ


යාලුවෝ කියන්නේ දුකේදීත් සැපේදීත් කිසිම ඉල්ලීම් හෝ චෝදනා වලින් තොරව ලඟින් ඉන්න අයට .......

මට හිටපු යාලුවන්ගෙන් සීයට අනූවකටත් වැඩි පිරිමි යාලුවෝ... 
ගැහැණු යහළුවන් හිටියනම් ඒ එක අතක ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්... 
හැබැයි උන් පට්ටම පට්ට අඹ යාලුවෝ. 
කොච්චරද කියනවනම් උන් එක්ක කතාවට සෙට් උනාම ගෑනුද පිරිමිද කියලත් අමතක වෙනවා... 
මාරම ශෝෂල්...කියන්න තියනදේ කෙලින්ම කියනවා...බොරු සෝබන කෑලි නැහැ. 
හැබැයි සමහර ?කොල්ලෝ හිටියා උන් හිතන්නේ කෙල්ලෙක් විවුර්තව සමාජශීලීව කතා කලොත් හිතන්නේ 
" මේක නම් මරු කෑල්ල.. කතාවේ හැටියට ඕන එකෙකුට දා ගන්න පුළුවන් " කියල. 
ගොඩක් උන් මේ මිත්‍රත්වය දකින්නේ ඔන්න ඔහොම.... කෙල්ලෙක් දිහා බැලුවොත් උන්ට හිතෙන්නේ කොහොමද කාමරේකට යන්නේ කියල. තව සමහර උන් ඉන්නවා උන් හිතන් ඉන්නේ කෙල්ලෙක්ව නෝන්ඩි කලාම, හොඳටම රිදෙව්වම කෙල්ලෝ ෆිට් වෙනවා කියල. හරියටම කියනවනම් අර වයස දහය දොළහ කාලේ වගේ. ඒ කාලෙට වෙන හෝමෝන විපර්යාස නිසා ඒ කාලෙට හිතෙන්නේ කෙල්ලෝ පරම සතුරෝ කියලනේ... ඉතින් ඒ අතින් සමහර උන් හැසිරෙන විදිහ දැක්කම හිතෙන්නේ උන් අවුරුදු දහය දොළහෙන් මෙහාට වර්දනය වෙලා නැහැ කියල මානසිකව... 
මුන්ට හොඳට කතාබහ කරන කෙල්ලෙක් දැක්කම පේන්නේ අවංක හිත නෙමේ ලැම ... 
කොල්ලෙකුයි කෙල්ලෙකුයි හිනාවෙලා කතා කරාම හිතන්නේ යාලු මිත්‍රයෝ නෙමේ ඇඳට යන්න කතා කරනවා කියල. 
මේ වගේ උන්ට ලිංගික අසහනයට ලක් වූ මානසික රෝගීන් නොකියා වෙන මොනවා කියන්නද.. මුන් සමාජයට කොච්චර පිළිලයක්ද . රටේ අපරාද වැඩි වෙන්නේ මේ වගේ උන් හින්ද නෙමේද... කාන්තාවක් දිහා තමන්ගේ අම්මා ,බිරිඳ, සහෝදරියන්, දියණියන් දෙස බලනවා වගේ බලන්න බැරි ඇයි (නො ) මිනිස්සුනේ ....

හ්ම්......

සැර වැඩිද මන්ද.....එත් ඒ මගේ හැටි...වක්කඩ කඩලා වතුර ගලන්නැහේ ඔහේ කියල දානවා.

ගැහැණුන් කියන්නේ මල් වගේ...
මල් ලස්සන මද සුළඟට නැලවී නැලවී ගහේම තියන කොට... 
මලක් ගහේම තියෙද්දී ඒ මල දෙස බලන්න...
සුදු අරලිය මලක තියන ශාන්ත බව දකින්න.... 
සේපාලිකා මලක සුවඳ දකින්න.... 
රෝස මලක පැහැය දකින්න.....
නෙලුම් මලක උත්සාහය දකින්න... 
ඕලු මලක විලාසිතාව දකින්න .... 
කානේෂන් මලක ආඩම්බරය (ආත්මාභිමානය ) දකින්න..... 
මිනිස් ලොවේ මිනිසෙක් වන්න.... 
මලක් නැති ගසක් යට පහරන සුනකයෙකු නොවන්න.....


කොහොමෙන් කොහොමෙන් හරි අද කතාවට ගැලපුනත් නැතත් මට මතක් උනේ සුනිල් එදිරිසිංහගේ හඬ..... තිරිසන් සත්තුන්ටත් වඩා දරුණු මිනිස්සු නිසා රිදී දුක්වෙන වෙලාවක .....අමාවක රෑට පෑයූ සඳවතක් සේ මඟ පෙන්වූ කල්‍යාණ මිතුරනි , කල්‍යාණ මිතුරියනි..... ඔබ දැකුමට මා පින් කර ඇත ....... අහන්න මේ සුනිල් එදිරිසිංහ.....


වනේ වන සතුන්ටත් වැඩි රුදු තුඩිනී
ඇනී මිනිස් දළ තැවෙනා සඳ සොවිනී
අමාවකට පෑයූ පුන් සඳ ලෙසිනී
ඔබේ දැකුම අප පින් කල පෙර නිමිතී

මිතුරු තෙමේ කුමටද සැපයෙහි පැවතී
මිතුරු සෙනේ කුමටද විපතෙහි නොමැතී
මිතුර ඔබය දුක සැප දෙකෙහිම පැවතී
ඔබේ ඇසුර අප පින් කල පෙර නිමිතී

වනේ වන සතුන්ටත්...

දිවි කතරේ දැවුණා තුන් යාමයක
පිය මිතුරේ ඔබදෝ දිය සීනයෙක
මතු සසරේ යමු උපදින කාලයක
ඔබ ඇසුරේ උපදිමි හැම වාරයක

වනේ වන සතුන්ටත්..



මේ ගීය මගේ අතිජාත මිතුරන් සහ මිතුරියන් අතලොස්සට උපහාරයක් වේවා.



6 comments:

  1. මේක නම් මරු කෑල්ල.. කතාවේ හැටියට ඕන එකෙකුට දා ගන්න පුළුවන් " කියල.
    ගොඩක් උන් මේ මිත්‍රත්වය දකින්නේ ඔන්න ඔහොම.... කෙල්ලෙක් දිහා බැලුවොත් උන්ට හිතෙන්නේ කොහොමද කාමරේකට යන්නේ කියල
    ගොඩක් උං ඔහොම තමා..
    කැළුම් කියනව වගේ ගතට සාපේක්ෂව මන දියුනු වෙලා නැති උදවිය...
    දුකයි තමයි මක් කොරන්නද නේ
    අනුකම්පා කරනවා හැර

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ වගේ උන්ට බල්ලො කියල අපි කියනව ඇහුනොත් බල්ලො අපිට නඩු දායි.
      කොහොම හරි දැන් බ්ලොග් එකට එන අය වැඩියි. ඉස්සරනම් බ්ලොග් එකට එන පාරෙ කැලෑ වැහිලා. කැලේ කොටලම එපා වෙලා උන්නෙ. ඔයා කිව්ව සින්ඩි ටිකට දැම්මට පස්සෙ ඉතින් පාර කාපට් කරපු ගානයි. බොහොම පින්.

      Delete
  2. සින්දුවනම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇවිත් අදහසක් තියල ගියාට

      Delete
  3. ඔන්න අපිත් ආවා මේ පැත්තට. ෆලෝ පාරකුත් දැම්මා..මේ වර්ඩි වෙරිෆිකේෂන් අයින් කරන්න මිත්‍රයා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇවිත් අදහසක් තියල ගියාට

      Delete