Monday, August 4, 2014

මගේ දූ තනියම හිනාවෙයි....



වෙලාව හරියටම රෑ දොළහයි....රජරට සේවෙත් නැවතිලා.....සෝ ගාන සද්දේ විතරයි

නිදි දෙව් දුව අහලකවත් නැහැ.....

නිදාගෙන ඉන්න පුංචි පුතාලට ඇහැරෙන්නේ නැති වෙන්න හිමින් සැරේ බැස්ස ඇඳෙන් බිමට මම...... 
ඉස්සරහ දොර ඇරගෙන එලියට බැස්ස...... 
පුර පස කලා පුරන හඳ ඇවිත් අහසට.... සඳ වතුරෙන් මිදුලම තෙමිලා....මිදුලේ කොණක පුංචි සේපාලිකා පඳුර මල් පුරෝගෙන....තාම ලොකු පඳුරක් නොවුනත් මේ බුහුටි සේපාලිකා පඳුරේ මල් කන්දරාව........ හැමෝටම හොරෙන් සේපාලිකා මල් ඇවිදින්න යන්න වගේ.....
මාව දැකලද කොහෙද පඳුර යටම නැවතිලා.....හිටිවනම ඉන්නවා...... ගෙදරට එහායින් තියන පුංචි වැවට මගේ ඇස ගියේ ඉබේටම..... 
මේ හඳ වැවෙත් ඉන්නේ.....
මේ රෑ හැමෝටම හොරෙන් හඳ බිමට බැහැල වැවේ නාන්න ඇවිත්..... ආකාසේ ඉඳන් හඳ දිහා බලන් ඉන්න දෙවඟනන් ගේ තරු ඇස් ..... තරු කැට වෙලා මට පෙනෙනවා..... 
සමහර විට මම දැක්කේ සේපාලිකා මල් හඳේ තනියට යන ගමන් වෙන්න ඇති..... 
මම මිදුලේ පොල් ගහකට පිට දීල බලාගෙන ඉන්නවා..... 
සඳ වතුර පොල් අතු දිගේ පෙරීගෙන ඇවිත් 
මිදුලේ ඉරි ඉරි රටා ඇඳලා ...... 
වැව පැත්තෙන් එන හුළඟ හෝ හෝ ගාල ඇඟේ වදිනකොට හිරිගඩු පිපෙනවා තමයි......ඒ හීතලට.....එහෙම නැතුව කොස් ගහ මුදුනේ අඩව් අල්ලන මා වවුලන් අතින් අත ඇරෙන කොස් ඇට සට සට ගාල තල් අතු උඩට වැටෙද්දී ඒ සද්දෙට හිත ගැස්සිලා නෙමේ........

මම ඇස් දෙක පියා ගත්ත......මට ඇහෙනවා අපේ ආණ්ඩුකාරතුමාගේ හඬ...... නෑ... නෑ ..... ඒ ආණ්ඩුකාරතුමාගේ හඬ නෙමේ..... 
ආදරණීය දිවුල්ගනේ නම් සොඳුරු මිනිසාගේ......හඬ...... 
රත්න ශ්‍රී විජේසිංහ ලියපු රෝහණ වීරසිංහ සංගීතවත් කල මේ හඬ.......

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි.....

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළව කොතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි....

ගණ කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි....


හඬ නගා කතා කරාට ඇහෙන්න දුවෙක් නැතත්....මගේ හිත ඇතුලේ ඉන්න දුවට මම හිතින් අමතනවා.....
දිවුල්ගනේ වගේ..... 
මගේ දුවේ ඔබ මනා සිහියෙන් නම්..... අවදියෙන් නම්... එන්න හදවතේ දොරටු ඇරගෙන ....මේ සොබා දහමේ සිරිය විඳින්න.... සොබාදහමේ සැණකෙළිය දකින්න.......

හ්ම්......ඔබේ තරු නෙත් පිසදා ගෙන එන්න......දකින්න මේ සුන්දරත්වය......

මගේ දුවේ......

අඳුරට පෙම් බඳින්නෙක් නොවන්න..... අඳුර තුලින් මේ සඳ එලිය දකින්න.....දෑස් විහිදා..... නැත්නම් මේ ලොව එලිය කරන ඉරට....හඳට...තරු කුමරියන්ට...... ඒ වගේ ලොව එලිය කරන මිනිස්සුන්ට ණය ගැතියි නුඹ...... 
ලොව අද අපට දෙන දේ වලට 
අපද පෙරලා යමක් කල යුතුයි....
මේ පොලවට...අහසට....සොබාදහමට.....සතුන්ට....මිනිසුන්ට
අපි ආදරේ නම් මේ ලොවද පෙරලා අපට ආදරේ කරාවි ....... 
හඳ එළියෙන් මම පේනවා...චූටි දූ හිනාවෙනවා...තනියම.....
ඔව්....මේ සටහන පුංචි දුවේ ඔයාට........


1 comment: