Thursday, July 31, 2014

මට ලියාගන්න බෑ ....



අද ලියන්න පටන් ගත්තට කොතනින් පටන් ගෙන කොතනින් ඉවර කරන්නද කියල හිතා ගන්න බැහැ ..... 
මම මගේ පුංචි කාලෙන්ම පටන් ගන්නම්. ඔන්න එතකොට මට වයස අවුරුදු හයක් හතක් විතර ඇති..
සති අන්තෙට ඉස්කෝලෙත් නැති හින්ද ටිකක් දවල් වෙනකම් නිදාගන්නවා....
එත් ඉරිදා උදේ හතට මට කාමරේට ඇහෙනවා ටීවී එකේ සද්දේ....මෙන්න මේ තේමා ගීතය යනවා....

"සියලු දනහට වාසනාවන්....ආයුබෝවන්...ආයුබෝවන්....."


 
ඔව් ඉස්සර ජාතික රූපවාහිනියේ ඉරිදා උදේ ආයුබෝවන් වැඩසටහන......
ඔන්න ඒ එක්කම හරිම ලෙන්ගතු කට හඩකින් කතා කරනවා ඇහෙනවා.....මුලින්ම අපි වගේ පොඩ්ඩන්ට....මම හොරට පියාගෙන හිටපු ඇස් ඇරලා දුවගෙන ගිහින් වාඩිවෙනවා ටීවී එක ඉස්සරහ.......
මං ඔබට ඒ කටහඬ අහන්න දෙන්නද.....ඔන්න පල්ලෙහා ලින්ක් එකක් ඇති අහල බලන්න.....


දැන් ඔබ දන්නවා මම මොනවා ගැන කියන්නද මේ ආලවට්ටන් දාන්නේ කියල.....
ඔව් අද මම ලියන්නේ සින්දුවක් ගැනවත් කතාවක් ගැනවත් නෙමේ.....ගී උල්පතක් ගැන..... අකලට සිඳී ගිය ගී උල්පතක් ගැන.....

ඔහු සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්......

නිවේදකයෙක් හෝ මාධ්‍යවේදියෙක් වෙන්න නොව ගායකයෙක් වෙන්න ගුවන් විදුලියට ආව ඔහු කරුණාරත්න අබේසේකරයන්ගේ මගපෙන්වීමෙන් නිවේදකයෙක් උන හැටි ඔහුම කියනවා.....ඉහල තියන හඬ පටය අහල බලන්න.......
දැන් ඔබ හිතනවා ඇති වෙනදට වල් පල් ලියන මම අද මොකද මේ හදිස්සියෙන්ම ප්‍රේමකීර්ති ගැන ලියන්නේ කියල........
හ්ම්.....
ඔව්.........
ඒක පස්සෙම කියන්නම්..........


ප්‍රේමකීර්ති කියන්නේ ප්‍රේමයට කීර්තියක් අත්කරදුන් ගේය පද රචකයෙක්.....ඔහු පෙම් ගී...විරහ ගී...බොදු බැති ගී....මවුගුණ පියගුණ ගී....අවවාදාත්මක ගී ..... එකී මෙකී සියලු ජාතියේ ගී ලියපු කෙනෙක්.......
ම්හ්..... මම කොතනින් පටන් ගන්නද.......මහා සයුරේ දියමනින්න යන කෙනෙක් වගේ මම කොතනින් පටන් ගන්නද.......


ඔහු ගොඩක් වෙලාවට සරල සුමට වචන පෙලකින් ලොකු හැගීමක් ලියනවා.....උදාහරණයක් තමයි...ඔහු ශ්‍රීමති තිලකරත්නට ලියල දුන්නු මේ ගීතය...පුණ්‍යසිරි මහවත්ත තමයි තනුව හැදුවේ.........


එක ගිනි කූරයි මුළු ගෙදරම තිබුණේ
ඒකෙන් කුප්පි ලාම්පුව දල්වා
ඔබට ලියන්නට ඉඳගත්තා......

ආදරයට කොහි දෝ බාධා නැත්තේ
ඔබ ලඟදිම එනවා දෝ මේ පැත්තේ
කලකින් නැහැ ඔබෙ සිනහව දැක ගත්තේ

පොඩි අක්කාගෙත් හිත දැන් වෙනස් වෙලා
ඉස්සර වාගේ කරදරයක් දැන් නෑ
සුළඟ හරි තදයි වහින්න වාගෙයි....
ඔබ ඇති තැන මට කිසිවක් නෑසෙයි

ජනෙල් කවුළුවෙන් සුළඟ ඇවිල්ලා
වියරු වැටී වාගේ ලොව හොල්ලා
කුප්පි ලාම්පුව නිවුණා.....
ආදරයට කොහිදෝ බාධා නැත්තේ.............



ඒ විදිහට ශ්‍රීමති තිලකරත්නට ප්‍රේමය ගැන ලියල දුන්න ඔහු...මිල්ටන් මල්ලවාරච්චිට ප්‍රේමය ගැන ලියල දෙන්නේ මෙහෙම........තනුව දැම්මේ වික්ටර් රත්නායක....


දිනෙක රන් සළු පළඳා සඳ නැඟි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්

ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරූ
ගෙවුණු යෞවන විය තනි නොතනියෙ උන් අයුරූ
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳ දා පවුරූ
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇති දෝ කවුරූ...

වියළි මඟ මහ වැලි කාන්තාර පසු කරවා
පවස සංසිඳවන ලෙස දිය උල්පත් අරවා
පරව ගිළිහෙන තුරු සියොළඟ කළු සළු පොරවා
ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා...


"ආදරයට කොහිදෝ බාධා නැත්තේ............." කියන තරුණියට තරුණයා කියනවා...".ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා..." කියල.......


ඔහු වික්ටර්ටත් ලියල දෙනවා සින්දු එකක් දෙකක් නෙමේ...මහා ගොඩක්....එයින් මගේ හිත ඇදීගිය ගීයක් මම ඔබට මතක් කරන්නද........


සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්...
ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති
මිනිස් පුරේ ඇයි තනියක්...

ගලා ගලා යන ගඟේ පිරී දිය
ඇලේ දොලේ ඇසුරට වී
සිනා සිසී වන පෙතේ හිඳී
රස බිබී මුවන් තුඬ ඇතිරී...

සොබා දමේ දැඩි සිහිල් නිසංසල
සුවේ විඳී ලොව සිතුසේ
ඔබේ මගේ පැල බෙදී බිඳී යන
සුළං කැරැල්ලේ දුකසේ...




සඳකැන් තරු...කරුවල අහස එක්ක ප්‍රේමකීර්තිගේ ලොකු ඇඟැලුම් කමක් තිබ්බ..... සමහර දවස් වලට මිදුලට ඇවිත් රෑ ආකාසේ දිහා බලන් ඉන්නකොට......මට මතක් වෙන්නේ එක සින්දුවක් තියනවා.....ඔව් මම දන්නවා ඔබටත් එහෙම තමයි කියල.....ඔබට මතක් වෙන්නේ තනි තරුවේ....නේද....



සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
ගනඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී..... කියල වික්ටර් කියනකොටත් ඒ සඳකැන් පිටිපස්සේ හිනාවෙන ප්‍රේමකීර්තිගේ මුහුණ නොවේද ඔබට පෙන්නේ.....



අමුතුම විරිතක් යොදා ගනිමින් වික්ටර් රත්නායකයන්ට ඔහු ලිව්ව මේ ප්‍රේමගීතයත් අසමසම ගීයක් 




ඔබෙ දෙතොල් පෙති ලිහී
පිපුණ හසරැල් විලේ
හද දියව ගලා යයි
රැලි ලමින් සැළි සැළී
මෙවන් සුව පෙර නොවිඳි
තුන් හිත ම සළිත වේ
සසර සැරි සරන තෙක්
ඔබ මගේ ...ඔබ මගේ....


හ්ම් ........


ප්‍රේමය ගැන ලියන ප්‍රේමකීර්ති...විටෙක ලියනවා කඳුල ගැන මෙහෙම........
ටී.එම් ට ..........


හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනැවි...

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුණු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ...

තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ...

ස්ටැන්ලි පීරිස් තමයි තනුව හැදුවේ..... එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ටී.එම් . ජයරත්න ශූරීන් කියනවා...මේ සින්දුවේ තේරුම තවම ටී.එම් ටවත් හිතාගන්න බැහැලු ........
කොච්චර ලස්සන වචනද...කොච්චර සරල වචනද.....ගමේ ගොඩේ මනුස්සයෙක් ගොක් කොළ රටාවකට කපල හැඩ දාල ගොක්කොල තොරණක් ගහනවා වගේ.....ප්‍රේමකීර්ති කොච්චර ලස්සනට වචන හැඩ දාල තියනවද.....


අප අතර සිට වියෝවුණු හාස්‍යෝත්පාදක නළුවන්ගේ රජු...ෆ්‍රෙඩී සිල්වා ගායකයෙක් වෙන්න ප්‍රේමකීර්තිගේ පද වැල් විශාල පිටුවහලක් උනා කිව්වොත් නිවැරදියි. දැන් වගේ දෙපිට කැපෙන වචන නොව..හාස්‍ය සමඟ ඔවදන් දෙමින් සමාජයට පණිවිඩයක් ගෙන්න ප්‍රේම්ගේ පද වැල් ඉවහල් උනා.....


''දිය යට විස්කම් බල බල කිමිඳෙන
මුළු දවසින් වරුවක්..
මහ සයුරේ මුතුපර අතරේ
මම ඉස්සර කිමිඳෙන්නෙක්...
ඒ කාලෙ දිය යට කිමිඳෙද්දී
එකෝම එක දවසක්...
දෑසින් දුටුවා මෙලෝ කෙනෙක්
නොදැකපු පුවතක් මෙතුවක්...''



ඕක ප්‍රේම් ලියල වික්ටර් රත්නායක සංගීතවත් කරලා ෆ්‍රෙඩී සිල්වාගේ හඬින් ඇහෙන මම ආසම ගීයක්......


"පාන් කිරිත්තා තක්කිට තරිකිට
උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන
කර බාගෙන වයතෙයි..."
...............................



"ප්‍රංශයෙන් රැජිනක් ආවා
එනවද නැතිදැයි ඇසුවා
ඔබ නිසා යන්නෑ..යන්නෑ
කෙළෙසද ඔබ හැර යන්නේ...
අයි ලව් මයි ඩියර්.. අයි ලව් ඩියර් යූ..."
.................................................


"ආරොන් මාමා වයසක මිනිහෙකි
ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේළම් කීමයි
තැන තැන කඩපිල් ගානේ....."


"ඔන්න බබො බිල්ලෝ එනවා
ඔන්න බබො බිල්ලෝ එනවා
හායි හායි...
අඬන ළමයි අල්ලං යනවා..........."
..............................................................

ඔය ෆ්‍රෙඩී ට ලිව්ව සින්දු වලින් ටිකක් විතරයි.....තව කොච්චරක් නම් තියනවද..........

මේ ආත්මයේදී කෙළවරක් දුටු ආත්ම ගත ප්‍රේමය ගැන ප්‍රේමකීර්ති.... සරත් දසනායක ගේ සංගීතයට සිසිර සේනාරත්නයන් ලව්වා ගායනා කෙරෙව්වේ මෙහෙම...

හමු වූ තැන් වෙන් වී
වෙන් වූ තැන් හමු වී
හැඬුම් ඉවර වී ඔබෙයි මගෙයි නෙත්
බලා හිඳියි හැඩ ඉස්සර ආත්මයේ...

 


විරහව අත්විඳි පේරාදෙණි සරසවි පෙම්වතුන්ගේ ජාතික ගීය වගේ ගීය මොකක්ද කියල ඔබෙන් මම ඇහුවොත්......විරහව අත්වින්දත් නොවින්දත් පේරාදෙණි සහුර්දයන්ගේ තොල් අග මිමිනෙන ගීයක් මේක.....ඔව්....මර්වින් පෙරේරා ගයන.....
මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි..... ලියවුනේ ප්‍රේම්ගේ පන්හිඳෙන්......


ප්‍රියා සූරියසේනගේ ශෝකී හඬට ප්‍රේමකීර්තිගේ පදවැල් හරි හරියට පෑහුනා....

ප්‍රේම් ප්‍රියාට ලියල දුන්නු සුදු හාමිනේ මතකද ඔබට
"....මී කැකුණ කැළේ ගඟේ එහා කොනේමගෙ සුදු හාමිනේ... සුදු හාමිනේ
නුඹෙ සීදේවී රූ සිරී
මගෙ නේදෝ මා රූබරී....."


එහෙම නැත්නම් ඇය ළඟ ඉන්නකොට ඉර හඳ ඇති වගක් නැතෙයි කියල කිව්ව හැටි මතකද....මෙහෙම
"සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...
ඔබ හා මා ඉන්නා තත්පරේ...
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ..."



පාසල් බිමේ ඇයත් මමත් නැතත් නාමල් පිපිනවා දැක්කද.....ප්‍රියා සූරියසේනත් එක්ක ඔහු දැක්ක


"පාසැල් බිමේ නාමල් පෙතේ
තාමත් ඔහේ නාමල්
පෙර සේ පිපේ
ඒ පෙතේ ළං වී විසූ
ඈ කොහේ මා කොහේ..."



ජෝතිපාලට රත්තරන් සඳක් උනෙත් ඔහු.......


"රත්තරං සඳක් පායන්නයි
රත්තරං ඉරක් පායන්නයි......
ජීවිතේ නඳුන් උයනේ
සැනසෙන්න බී මල් පැණී......"
 


ප්‍රේමකීර්ති කොච්චරනම් මවුගුණ ගීත ලියල තියනවද......
"...බැරි බර හින්දයි දරුවන් දුන්නේ
දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ
මිත්තනිය ව ඔබ මිනිබිරියන්ගෙත්
බර ඇයි උහුලන්නේ අම්මේ..."


එතකොට මෙන්න මේ වගේ පියගුණ ගීත ......
"....සඳ නැති මට එක තරුවයි තිබුණේ අහසේ
හිමිදිරියේ ඒ තරුව ද ගිලිහුණි රහසේ
පිය සෙනෙහස ලැබ ලැබ සැනසුණු එක හිතකී
අද ඒ උරුමය නැති වුණු අසරණ පුතෙකී..." කියල කියන්නේ ජයතිස්ස හෙට්ටිආරච්චි



ප්‍රේමකීර්ති කියන්නේ අවිහිංසාව හිතේ දරාගෙන හිටි කෙනෙක්...... රජරට පැත්තේ ඉඳන් මස්කඩේට දක්කන කිරි අම්මාවරුන් ගැන ඔහු සුනිල් එදිරිසින්හයන්ට ලියල දෙන්නේ ඒකයි .... මේ සින්දුව හින්ද කොච්චරක්නම් ගෙරිමස් කාපු මිනිස්සු ගෙරිමස් කන එක නැවත්තුවද දන්නවද......
ඔබත් තවම ගෙරිමස් කනවද........

බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ


ප්‍රේමකීර්ති ලිව්ව බුදුගුණ ගීත අප්‍රමාණයි .....කොච්චර බැතිබර හැඟුම් එනවද ......ඒවා අහද්දී...හරියට පිරිතක් අහන් ඉන්නවා වගේ......
මේ වික්ටර් රත්නායකගේ හඬින් .....


"..සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට
අහසේ තාරුකා මදි ගුණ ගණින්නට
පොලවේ වැලි වලින් බෑ ගුණ මනින්නට
හඳටත් ඉරටවත් බෑ ගුණ කියන්නට..."


අරුණලු එක්ක බුදු රැස් දැක්කෙත් ඔහු.....


" අරුණලු ඇතිරෙණ හිමිදිරි යාමේ
සිතුවිලි පවුවේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි...."



තව කොච්චරක් නම් තියනවද.....
අපි පුංචි කාලේ ආසාවෙන් බලපු ටයි මාමාගේ (ටයිටස් තොටවත්තයන්ගේ ) දොස්තර හොඳහිත මතකද ඔබට.....ඒකෙ ලා තණකොළ පෙත්තාස් ලට සින්දු ලිව්වෙත් ප්‍රේමකීර්ති....


සුභාවිත ගීත විතරක් නොව....වේග රිද්මයේ ගීතත් කොච්චරක් නම් ලියල තියනවද ඔහු.... දැන් කාලේ ඇහෙන හරසුන් චොකා බයිලා වගේද .මේවා......


"කස පුපුරන හඬ ළඟ ම ඇසෙන විට
පාර දෙපස සෙනඟ පිරෙනවා...
සාර බුලත් විට නඟන පුරුදු හඬ
පෙරහැර එන බව පවසනවා..."



සුනිල් ධර්මසේන සංගීතවත් කල මයිකල් පෙරේරා කියන මේ සින්දුව කොච්චර ලස්සනද.....



ඒ වගේම ඔහු බයිලා රජු ඩෙස්මන්ඩ් ද සිල්වාට ලියල දෙනවා මෙහෙම


නිසල වීදියේ සිඟිති ගෙයි ඔබේ
කාගෙ සේයාව දෝ
ඊයෙ රෑ මගේ දෑසෙ යා වුණේ
කාගෙ සේයාව දෝ...

සංගීතය ස්ටැන්ලි පීරිස්ගෙන්


ඒ විතරක් යැ .......තිලක් ඩී අතපත්තු නිෂ්පාදනය කල දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කල පෙරළිකාරයෝ (1986) චිත්‍රපටයට ලියනවා මෙන්න මේ සින්දුව..... බන්දු සමරසිංහට

විස්කි කඩේ පූසා
කොඩි දාලා
බීලා මත් වෙලා
විස්කි කඩේ පූසා...


තව කොච්චරක් කියල ලියන්නද ......
ලබන අවුරුද්ද වෙනකන් ලියන්න වෙයි මට.....
මට ලියා ගන්න බෑ... ප්‍රේමකීර්ති වික්ටර්ට ලියල දුන්න වගේ මට ලියාගන්න බෑ ....


හ්ම්..... සමන් ද සිල්වාගේ හඬින් ඔහු කිව්වා..."සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න එන්න මිත්‍රයෝ..." කියල.....නමුත් ඔහුගේ මේ ආරාධනාවට ආවේ මිත්‍රයෝද...?

ප්‍රේම් ප්‍රියාට ලියල දුන්න විදිහටම මට......." පිළිගන්න අදහන්න බෑ බෑ...විමසන්න හිත දෙන්නෙ නෑ නෑ.....සිදුවූයෙ නොසිතූව දෙයකී ...."
ඔව්.......තුවක්කුවක් තරම්වත් උස නැති.......සොඳුරු හිතක් ඇති......මේ මනුස්සයාගේ ජීවිතය බිලිගන්න ආපු ඒ නරුමයාගේ හිත මොන වගේද කියල ඔබට හිතාගන්න පුලුවන්ද......මට නම් බැහැ ......
හිතක් පපුවක් නැති (නො )මිනිහෙක් ප්‍රේමකීර්ති ද අල්විස් මරා දමල අදට අවුරුදු විසි පහයි........ ..ඔවු..නමසිය අසූ නමේ.....ජූලි තිස් එක ඒ ගී උල්පත වියලුණා ......


ඉස්සර කම්මැලි කමට නිදාගෙන උන්නු මාව ඇහැරෙව්වා වගේ......ආයුබෝවන් කියන්න..... අද මගේ දරුවන්ව ඇහැරවන්න ඒ හඬ තිබ්බනම්......හ්ම්...උඹල එච්චර පින් කරලා නැහැ මයෙ පුතේ...............

කොහොම හරි.....ප්‍රේමකීර්ති වික්ටර්ට ලියපු විදිහටම......


".....නුඹව උප නුපන් ජාති හමුවේවා .......

No comments:

Post a Comment