Wednesday, July 2, 2014

හන්තාන අඩවියේ පිය සටහන්.......



වයස අවුරුදු දහයක විතර කොලු පැන්චෙක් තාත්තගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා කතන්දර අහනවා..තාත්ත මෙහෙම කතන්දර කියල දෙන්නේ ලයිට් ගිය වෙලාවට(විදුලි බලය ඇනහිටපු වෙලාවට) . අම්මත් පැත්තකට වෙලා හිනා වෙවී අහන් ඉන්නවා.. හැබැයි තාත්ත කියල දුන්නු කතන්දර වෙනස්... තාත්ත කියල දුන්නේ තාත්තයි අම්මයි පේරාදෙනියෙ කැම්පස් එකේ හිටපු කාලේ කතා..

කහ මල් ගැන.. හන්තාන ගැන.,මහවැලි ගඟ ගැන එකී මෙකී කතා ගොඩයි.. කොහොමත් අපේ ගෙවල් තිබුනේ නගරෙක නොවන නිසා ලයිට් එන්න පැය දෙක තුනක් යනවා.. සමහර දවස් වලට දවස් ගනන් ලයිට් නෑ.. ඒ විතරක් නෙමෙයි.. කහමල් පිපෙන කාලෙට තාත්ත මාව එක්කන් යනව කහමල් පෙන්නන්න..

...හරිම ශෝක් එහෙම දවස් වලට,

අපි උදෙන්ම නැගිටලා බස් එකේ යනව රඹුක්කනට..එතනින් ඉස්ටේසමේ කැන්ටිමෙන් තේ බීල ඉන්නව කෝංච්චිය එනකන්.. ගොඩක් වෙලාවට ඉස්සෙල්ල එන්නෙ කොලඹ කෝච්චිය. ඔන්න ඊට පස්සෙ එනව හූ කියාගෙන නුවර කෝච්චිය.. අපි තුන්දෙනා තාත්තගෙ වොරන්ට් එකෙන් යන හින්ද අපිට අර ලස්සන කාඩ්බෝඩ් ටිකට් එක නෙමෙයි හම්බවෙන්නෙ.. කහපාට කොලයක්.. මොන හේතුවක් හින්දද දන්නෙ නැහැ මම අර කාඩ්බෝඩ් කෝච්චි ටිකට් එකට ආසයි.

ඔන්න බිං ගෙවල් පහු කරගෙන කෝච්චිය හැල්මෙ යනවා. කඩිගමුව, බලන, කඩුගන්නාව, පේරාදෙණිය ඉස්ටේෂන් පහුකරගෙන ඇවිත් 'සරසවි උයන' ඉස්ටේසමෙන් බැහැල..කහමල් බලාගෙන තාත්තගෙ ආගිය කතා අහගෙන, පේරාදෙණිය මල් වත්තටත් ගිහින්.. එතනින් දවල්ට කාල හවස දළදා වැඳල..හවස කෝච්චියෙ ආපහු එනවා. නුවර ඉස්ටේසමට යන පාර අයිනේ තියන කඩ වලින් මට මොනව හරි අරන් ඕනෑමයි. එහෙම අරන් ආපු පිත්තල කොක්කු දෙන්නෙක් තාම අපේ ගෙදර තියනවා.

හ්ම්ම්..

කාලය කොච්චර ඉක්මනට ගලාගෙන යනවද..

දැන් කියන කාලේ දෙදාස් එක අවුරුද්ද.......උසස් පෙළ ඉවරවෙලා මෙඩිකල් ෆැකල්ටි යන්න පුළුවන් උනත් මම පුදුම බයකින් හිටියේ.....පේරාදෙණි යන්න ලකුණු මදිවෙයි කියල.....අන්තිමේ ඔන්න මම පේරාදෙණියට තේරුණා.....ඔහොම කාලය ගතවෙලා ඔන්න කැම්පස් යන දවස උදාවුණා. දෙදාස් දෙකේ ජුනි තිස් වෙනිදා......ලොකුම ලොකු බෑග් එකකුත් උස්සගෙන තාත්තත් එක්ක මම පිටත් උනා...... රඹුක්කන ඉස්ටේසමෙන් නැග්ග කෝච්චියට.....කෝච්චියේදී මගේ පාසැල් මිතුරු එරංග හම්බවුනා ...එරන්ගයා හිටියේ සයන්ස් ෆැකල්ටි එකේ.......ඌ ෆස්ට් ෂයි එකෙන්ම සයන්ස් ගියා .... දැන් මම නතර වෙන්න යන්නේ එරංගගේ බොඩිමේමයි ...

ඔන්න ඉතින් කෝච්චිය කඩිගමුව ඉස්ටේසමට ඇවිත් කැඩුනා ....දැන් පැයක් විතර එතන......තව පරක්කු උනොත් තාත්තට ආපහු යන්න කෝච්චිත් නැහැ...බසුත් නැහැ.....ඔන්න වෙලාවට නුවර ඉඳන් කොළඹ කෝච්චිය ආවා . තාත්ත ඒ කෝච්චියට මාරු උනා ......හිතකින් නෙමෙයි......එත් අම්ම තනියම ගෙදර අසනීපෙන්......

කොහොමෙන් කොහොමෙන් හරි ඉස්සරවෙලාම මම කැම්පස් ගියේ මගේ යාළුවා...එරන්ගයත් එක්ක......ඔන්න ඉතින් දංගොල්ල පැත්තේ තිබුන බෝඩිමේ නතරවෙලා...පහුවදා උදෙන්ම කැම්පස් එකට ආවා. කහමල් නම් පිපිලා තිබ්බේ නැහැ. නමුත් රෝස පාට ටැබුබියා මල් ගලහ හංදියේ පිරිලා තිබ්බ......දෙමවුපියෝ එහෙමත් ඇවිල්ල අලුත් ළමයින්ගේ....අපේ අම්මයි, තාත්තයි දෙන්නත් පාන්දර කෝච්චියෙන් ඇවිත් තිබුන...... කලින් දවසේ හවස අම්ම තාත්තට හොඳටම දෙහි කපල තිබ්බ.....මාව තනියම එව්වා කියල ....පලවෙනි දවසෙම.......

කොහොම හරි මම බයෙන් බයෙන් තමයි ඇතුලට ගියේ......එත්...අපේ සීනියර් බැච් එකේ අයියල අක්කල ආදරෙන් අපිව පිළිගත්තා.........කොහොම හරි .........

මොන බොරුද...රැග් එක තියනවා කියන්නේ........මගේ හිත කිව්වා....පොඩි දුකකුත් තිබ්බ......මොකද මම රැග් වෙන්න රෙඩි වෙලා ගියේ.........

හන්තාන වෙදපියස .......කොච්චර ලස්සනද...........ඈතින් හන්තාන බලාගෙන ඉන්නවා.....අපි දිහා....හරියට කහමල් ගස්වල අලුත් පොහොට්ටු පිපෙද්දී ඒ දිහාවේ බලාගෙන ඉන්නවා වගේ......දිනය හරියටම කියන්නම්....දෙදාස් දෙකේ ජුලි පළවෙනිදා.......ඔව් ඊයේට හරියටම අවුරුදු දොළහයි......මම මේක පොස්ට් කරන්න තිබ්බේ ඊයේ....නමුත් වැඩ නිසා ඉවර කරන්න බැරි උනා........

හ්ම්.......මගේ 2002/2003 බැච් එකේ...සහුර්දයිනේ මතකද අවුරුදු දුසිමකට එහා...ඊයේ වගේ දවස.........

හන්තාන බලන් හිටියා......මහවැලිය පුරුදු විදිහට සිසිල් කළා මේ ප්‍රේමයේ නිම්නය.......

ඔන්න ලොකු රැස්වීමක් තිබ්බ පිසියෝලොජි ලෙක්චර් හෝල් එකේ.....මුලසුන ඩීන් ...... මහාචාර්ය මාලනී උඩුපිහිල්ලේ මැඩම් .....ඇය මවක් වගේ අපිව පිළිගත්තා .....ඊට පස්සේ යුනියන් එකෙන් පසන් අයියා කතාකලා ......එකී මෙකී නොකී අය ගොඩක් කතාකලා......මට හොඳට මතකයි.....මල්කාන්ති මැඩම් සහ ගවරම්මන සර් ලෙක්චස් දෙකක් කළා.....පේරාදෙණි කැම්පස් එකේ ජීවිතය ගැන....ඒවා අහන් ඉන්න කොට මට හිතුන හරි තැනටම තමයි ඇවිත් තියෙන්නේ කියල...... මම හෝල් එක පුරාම බැලුව.....දන්නා අඳුනන මූණු කීපයක් තිබ්බ......

හ්ම්......බැච් එකෙන් හරියටම බාගයක් කෙල්ලෝ...... බැච් එක 174යි....කෙල්ලෝ 93යි.......

මගෙන් අහන්න එපා කොහොමද කියල......මට මතකයි......


පුරුදු විදිහටම මට හරියටම ගැලපෙන ගීත මතක් වෙන්නේ නැහැ........
නමුත් පේරාදෙණි දරුවන්ගේ ජාතික ගීය වගේ හදවත් වල තැන්පත් වෙලා තියන ගීතය මට මතක් වෙනවා....... 
පද ඇමිණුවේ .....ආචාර්ය අජන්තා රණසිංහ......
හන්තානේ දෝංකාර දෙන්නේ අමරදේවයන්ගේ හඬ.......
ඔව්.....මේ පේරාදෙණි දරුවන්ගේ ජාතික ගීය.....


හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //

තුන්මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැඟුනු සතුටු රළ
මිරිඟු සයුර විනි අතීතයේ //

පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳුනු ඇසේ.....


No comments:

Post a Comment