Friday, July 25, 2014

මාර්ග අංක හතර......


දවසේ වැඩ කටයුතු හමාර කරල රෝහල් ගේට්ටුවෙන් එලියට ආව . වෙලාව රෑ අටයි......වාහනේ ගෙදර තියන පැත්තට හරවන්නේ නැතුව අනිත් පැත්තට හැරෙව්වා.
සුපර් මාකට් එක පැත්තට...."ගෙදර යන ගමන් " බඩු ගොඩක් තියනවා අරන් යන්න......
කොහොමින් කොහොමින් හරි බඩුත් අරන් ගෙදර යන්න පිටත් උනා ..... වේගෙන් ආපු බස් එකක් මාව පහුකරන් ගියා .....දැකල පුරුදුයි වගේ බස් එක......


මාර්ග අංක හතර......මන්නාරම කොළඹ......මේ මන්නාරමින් හවස පහයි කාලට එන බස් එක.....ඕක අනුරාධපුරේට එනකොට අට හමාර විතර වෙනවා....හතිෆ් බස් එකක්.....මන්නාරමේ හිටපු අවුරුදු දෙක පුරාවට ගිය ආ බස්.....ඈතකදී උනත් අඳුන ගන්න පුළුවන්......

මිඩ් නයිට් එක්ස්ප්‍රස් බස් එක, සෙන්ට් ඇන්තනීස් බස් එක, විජේ ටුවර්ස් බස් එක, හතිෆ් බස්, ආශික් බස්.. එතකොට සඳ කුමාරි බස් එක.....ඔය විදිහට මන්නාරම් බස් හැම එකක්ම මගේ මතකයට ආවා .

ඩී . එස්. වටරවුමෙන් වාහනය හරවාගෙන මම කඩ පනහ පැත්තට ආවා .
පාරේ වම් පැත්තේ හැමදාම උදේ හවස දකින බෝඩ් එක.....
ලොකු අකුරින් FM 107.3.............
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය.......
මතකයේ සිද්දි එක දිගට පෙළ ගැහෙනකොට තවත් කතාවක් මතක් වෙන අපුරුව.
Rohan Dissanayake මල්ලි ආගිය කතාවක් ලියන්න කියල මතක් කරපු සින්දුවක් මතක් වුන....... ලියවුනේ සමුද්‍ර වෙත්තසිංහයන් අතින් .....සුනිල් දයානන්ද කෝනාරයන්ගේ සංගීතයෙන් හැඩවෙලා ....ඇහුනේ කරුණාරත්න දිවුල්ගනේ ගේ හඬ.......


“මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර වුණා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ”

“සංහිඳ ළඟ දේවාලේ යාතිකා ගොළුයි
චෙට්ටියාර්ගේ කඩේ රෑ පාන නිවෙයි
නූල් පොටක් නැති අහසේ
කළුවර පමණයි - රෑ කළුවර පමණයි”

“වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි
හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
රෑ කළුවර නපුරුයි”

මන්නාරම් බස් එක තවම ආවේ නෑ .... අප්පච්චි එන්නේ ඒ බස් එකේ.....රජරට සේවේ පිරිතුත් ගීහීන් ඉවරයි....ඒ කියන්නේ හොඳටම රෑ වෙලා....මැදියම් රෑත් උදාවෙලා අප්පච්චි තවම නැහැ.......සංහිඳ ළඟ දේවාලේ හවස ඇහුන යාතිකා ඉවරයි......ඒවත් ඇහෙන්නේ නෑ දැන්......ගමේ හැමෝම යන එන.......හැමෝගෙම ඕනෑ එපාකම් පිරිමහන චෙට්ටි යාර්ගේ කඩෙත් වහල...රෑ පහනත් නිවල දාල.....නිරුවත් ආකහේ හඳ තියා එක තරුවක් වත් නැහැ......කරුවල පමණයි..... අප්පච්චි නාවොත් මේ පුංචි පැටවුන්ට කරුවල විතරයි.....

ජීවිතේටම.................

වන්නි වනපෙතේ යුද්ධය ඇවිලෙනවා .........අප්පච්චි එන බස් එකට කරදරයක් වද්ද ..........බස් බෝම්බ හැම තැනම .....
අම්මා නැති පොඩි පැටව් බයෙන් ඉන්නේ අප්පච්චිට කරදරයක්වත්ද.......
මේ ගීතය මගේ ජීවිතයට ගොඩක් සමීපයි......මම මන්නාරමේ ඉන්න දවස්වල යුද්ධයක් තිබුනේ නැතත් ආදරණීය බිරිඳ පොඩි පැටව් දෙන්නත් එක්ක මන්නාරම් බස් එක එනකන් බලන් හිටිය හැටි සිහිවෙනවා.....හ්ම්
මම දන්න විදිහට සමුද්‍ර වෙත්තසිංහ කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ මේක ලිව්වේ.....දවසක් ඔහු එරික් ඉලෙයප්පආරච්චිගේ කෙටි කතාවක් .කියවනවා....එකේ එක තැනක තියනවා " කෝකිලායි බස් එක තවම අවේ නෑ " කියල...... ඉතින් සමුද්‍ර ලියනවා මෙහෙම.....
“කෝකිලායි බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර වුණා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ”

නමුත් මෙය ගීතයක් වෙද්දී අලංකරණ සඳහා සුළු වෙනස්කම් කීපයක් වෙනවා......කෝකිලායි...මන්නාරම් වෙන්නෙත් ඒ විදිහට.......
හ්ම්......
වෙලාව රෑ නමය හමාරයි.....බිරිඳයි ලේන් පැටවුනුයි මගබලාගෙන ඇති.....ඉතින් ඔබට ආයුබෝවන්......
 

No comments:

Post a Comment