Saturday, July 5, 2014

මලේ.............................

පුංචි පුතාල දෙන්න එකම ඇඳේ නිදි....
පුංචි පුතා අයියගේ අතිනුත් අල්ලාගෙන...මොනවා තේරෙනවටද ....තාම අවුරුද්දක්වත් නැහැ නොවැ .

ඊයේ කුෂාන් සුචරිත මගේ සරසවි සගයා තකහනියක් කෝල් කරලා මතක් කරපු සින්දුව මතක් උනා..... 
මගේ මිතුරන් මතක් කරන හැම ගීතයකටම වගේ මට කියන්න කතාවක් තියනවා. ඔබ හිතනවා ඇති මම බොරු කියනවා කියල.... නමුත් මේ ඔක්කොම සිද්ධි එක පුද්ගලයෙකුට ජීවිත කාලය තුල වෙන්න පුළුවන්. මම මේ කියන්නේ සහතික ඇත්ත. මේ සිද්දි මට වුන දේවල්...එහෙමත් නැත්නම් මගේ සමීපතමයෙකුට වෙනවා මම දැක්ක...
අත්වින්ද දේවල්.....

මගේ හිත දිවගියා අවුරුදු 27 ක් විතර ඈතට....මට අවුරුදු 6යි. ඉස්කෝලේ එක වසරේ..... අපේ අම්මයි තාත්තයි කිව්ව විදිහට මට සෙල්ලම් කරන්න මල්ලියෙක් එනවලු ළඟදීම ....... ඉතින් පුංචි මම ඇඟිලි ගැන ගැන උන්නේ.... සමහර දවස් වල මම අම්ම ලඟට ගිහින් අහනවා..."කෝ අම්මේ එනවා කිව්ව මල්ලි....තවම නෑනේ...."

ඔන්න දවසක් හැන්දෑවේ අම්ම ලැස්ති උනා මල්ලිව එක්කන් එන්න යන්න. ලඟම තියන රඹුක්කන ඉස්පිරිතාලෙට යන්නයි සූදානම..... ඔන්න අම්මයි තාත්තයි....මමයි...කිරි අම්මයි පිටත් උනා හවස දෙකට විතර..... හැබැයි මම ඔබට කලින් දවසක කියල තියන සුදු පාට එල්ෆ් වැන් එක නෙමේ ආවේ.... අළු පාටට හුරු පොඩි වෑන් එකක්..... ඔන්න අපි ගිහින් අම්මව ඉස්පිරිතාලේ නවත්තල ආව..... හිතකින් නෙමේ අම්ම නැතුව ගෙදර ආවේ.... අම්ම ළඟ නැතුව එක රැයක් වත් නිදාගෙන නෑ මේ පුංචි එකා.... 
හ්ම්.... 
රෑ වෙලා නිදාගන්න හැදුවට නින්ද යන්නේ නැහැ... 
අනේ අම්ම තනියම නේද....තාත්ත නම් ලඟට ඇවිත් මාව තුරුළු කරගත්ත.....
ඔන්න දැන් මම බොරුවට ඇස් වහගෙන.....
ඒත් කෝ නින්දක්.. ඇඳේ එහාට මෙහාට පෙරළෙනවා ඇරෙන්න...... බැරිමතැන ඔන්න තාත්ත අම්මගේ චීත්තයක්....ඔව් අම්මගේ සුවඳ තියන මල් මල් චීත්තයක් පෙරෙව්වා මට.....හ්ම් යන්තම් නින්ද ගියා.....

උදේටයි දවල්ටයි අම්මව බලන්න ගියේ කිරි අම්මයි, ලොකු නැන්දයි.... තාත්ත වැඩට යන්න එපායැ. මම දවල් කිරි අම්මත් එක්ක ගියා අම්මව බලන්න.....අම්මනම් ඉන්නවා...කෝ මල්ලි....තාම අවේ නැහැලු...... ටවුන් ගියාම මට හැමදාම ඕන වෙන කේක් කෑල්ලකුයි ශෑරෝනා බෝතලයකුයි බීල ආපහු ආව. හැබැයි තාත්ත එක්ක ගියා වගේ වාසී නෑ .... තාත්තනම් මට කේක් කෑලි දෙකක් කන්න කියනවනේ..... 

ආපහු එනකොට තාත්ත ගෙදර ඇවිත්....වෙනදනම් එන්නේ හවස් වෙලා. තාත්ත බඩු ගොඩක් ගෙනත් තිබුන....ලස්සන නිල්පාට නෙට් එකකුත් තිබ්බ....ඒවා ගෙනාවේ මල්ලිටලු.... මීට පස්සේ තාත්ත මට මොනවත් ගේන්නේ නැති වෙයිද.... හැම දෙයක්ම මල්ලිටම ගෙනෙයිද......
ඔන්න තාත්ත හවස ඉස්පිරිතාලේ යන්නයි ලෑස්තිය. මට නම් යන්න හිත දුන්නේ නැහැ. මල්ලි ඇවිත් හිටියොත් තාත්ත මල්ලිව වඩාගනියි . මාව අමතක වෙලා අවොත් එහෙම. මම යන්න බෑ කිව්වා.....
කොහොම හරි වදෙන් පොරෙන් තාත්ත මාව ලෑස්ති කර ගත්ත. 
ඔය ළමයට යන්න බැරිනම් තියල ගියානම් ඉවරනේ....මොකට අඬවනවද ...ඒ කිරි අම්මගේ හඬ.... 
ඒත් තාත්ත නෙමේ තනියෙන් ගියේ.....

ඔන්න අපි ගියා කියමුකෝ ඉස්පිරීතාලෙට....කෝ මල්ලි නෑනේ.... තාත්ත අරන් ගිය අඩුමකුඩුම ටික අම්මට දුන්න......
ඊට පස්සේ අපි ආපහු එන්නයි සූදානම.... මම චම්පා හෝටලේ දිහා බැලුවේවත් නැහැ... තාත්ත මට ආදරේ නැතුව ඇති....
ඒත් තාත්ත මාව එක්කරන් ගිහින් කේක් කෑලි දෙකක් එක්ක බීම අරන් දුන්න වෙනද වගේම...
ඒ විතර යැ.....ලොකු චොකලට් එකකුත් අරන් දුන්න....තව සෙල්ලම්බඩු ගොඩාරියක්...... 

තාත්ත මට තාම ආදරෙයි වගේ.......

කොහොම හරි අම්මගේ දින පහුවෙලා ටිකක් දවස් ගියා.... ලොකු ඉස්පිරිතාලෙකට යන එක හොදයි කිව්ව නිසා අපි අම්මව කුරුණෑගල ඉස්පිරිතාලෙට එක්කගෙන ආවා .... අම්මව වාට්ටුවේ නවත්තල ආපහු ගෙදර ආවා . ඒ අතරමඟ ඉස්පිරිතාලේ ඉස්සරහ විමලනි හොටෙල් එකෙන් කේක් සහ බීම අරන් දෙන්න තාත්ත අමතක කලේ නැහැ....

ඔන්න ටික දවසක් ගිහාම මල්ලි ආව කියල ආරංචි උනා...ඒත් රඹුක්කන වගේ හිතෙන හිතෙන වෙලාවට යන්න පුළුවන් තැනක් නෙමේනේ කුරුනෑගල ඉස්පිරිතාලේ....
දොළහට පෝලිමේ ඉඳල තාත්තයි මමයි ඇතුලට ගියා. අම්මයි මල්ලියි වාට්ටුවේ නැහැ. කොහේ ගිහින්ද.... මල්ලි බේබි කාමරේට දැම්මලු....ඔන්න අපි එතනටත් ගියා.... මල්ලිව නම් දැක්ක කෝ අම්ම..... මට කරකැවිල්ල වගේ අම්ම නැහැනේ.....ඇස් දෙක කලුපාට උනා විතරයි මතක. ඇස් ඇරලා බැලුවාම මම අම්මගේ ඔඩොක්කුවේ......


ඔන්න අපේ ගෙදරට මල්ලි ආවා .... ඔව්...සමීර විජයරත්න මල්ලි......


ඒත් ......මල්ලි මගෙත් එක්ක සෙල්ලං කලේ කොච්චර ටික කාලයක්ද..... හ්ම්..............................................
කොච්චර ලස්සන හිනාවක්ද මල්ලිගේ තිබුනේ......
ඒත් .......
මගේ අත් දෙක වෙවුලනවා...මට ටයිප් කරන්න බැහැ ......
.......
............................
.........................
.................................
අවුරුදු හයක හතක විතර පුංචි කැලුම් බලන් ඉන්නවා මල්ලි දිහා....මල්ලි සාලේ නිදි .....හැබැයි අම්මගේ අතේවත් තාත්තගේ අතේවත් නෙමේ...... පුංචි හුරුබුහුටි පෙට්ටියක....සුදු පාට සැටින් රෙද්දෙන් වැඩ දාපු..... මල්ලිගේ දෙපැත්තෙන් ලොකු ඇත්දළ දෙකක් තියල තිබ්බ..... ඒත් මල්ලි හිනාවෙලා මගේ දිහා බැලුවේ නැහැ..... මම දැන් හිනාවෙයි...දැන් හිනාවෙයි කියල බලන් හිටිය..... ඇස් රිදෙනකන්ම...... මම යන්තමින් දැක්ක අම්ම කලන්තේ දාල වැටෙනවා.......


මගේ මල්ලි තාම ඉන්නවා....අපේ ගමේ ගෙට පිටිපස්සේ වත්ත පහල.......මම නම් දැන් ගෙදරින් හැතැප්ම සියගණනක් ඈත..... පුටුවක් උඩට වෙලා මගේ පැටවූ දෙන්න දිහා බලාගෙන ඉන්නවා..... ඒත් මල්ලි අම්මලට මට වඩා ලඟින් ඉන්නවා......මීටර් විස්සක් විතර වත්ත පහල....දැන් රූස්ස ගහක් වෙලා තියන අවුරුදු 26ක් පරණ අරලිය ගහ ළඟ........ මගේ ඇස් තෙමීගෙන ආපු කඳුළු බින්දුවක් වැටුන පුංචි පුතාගේ මූණට ...... ඒ පුතාගේ බාප්පා වෙනුවෙන් කියල පුතාලට තේරෙන එකක්යැ .........


මට ඇහෙනවා පණ්ඩිත් අමරදේවයන්ගේ හඬ.....රෝහණ වීරසිංහයන්ගේ සංගීතය එක්ක..... කුලරත්න ආරියවංශ ඇමිණු පද....

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා

දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා



2 comments: