Sunday, June 15, 2014

වෙනකෙකු සමඟ අත් අල්ලා යුවති එම............ යනවා දුටිමි ඉවරයි මගෙ පළමු පෙම...........

මේ දෙදාස් එක අවුරුද්ද....සෙකන්ඩ් ෂයි එකෙන් උසස්පෙළ කරන්න රිවිෂන් යන කාලේ...මම...
මගෙත් එක්ක සහුර්දයෝ කීප දෙනෙක් හිටිය....අපි කට්ටිය ඔන්න යනව ටියුෂන්..කෙමිස්ට්‍රි...පිසික්ස්...බයෝ.... මමත් ඉස්සර අටට පටන් ගන්න පන්තියට හය හමාර වෙද්දී යනවා....හොඳ පේලියක් අල්ලගන්න...ඉස්සරහ නෙමේ අන්තිම හරියේ පේලියක් අල්ල ගන්න....මන් හිතන්නේ ඔබත් මෙන්න මෙහෙම කරලා ඇති...
අපේ සෙට් එකේ හිටිය පස් දෙනෙක්.... අපි ඉතින් ටිකක් විතර කටකාර උනාට නරක උන් නෙමේ.... ගොඩක් උන් ගෑණු ළමයෙක් දිහා කෙලින් බලල කතා කරලවත් නැහැ. අපි සෙට් එකම කුරුණෑගල ප්‍රධාන පිරිමි පාසලේනේ.....
ඔන්න අපෙන් එකෙකුගේ හිතගියා ඔය පන්තියට ආපු ගෑනු ළමයෙකුට...මූ කන්නෙත් නැහැ...ඔහේ බලාගෙන ඉන්නවා අර කෙල්ල දිහා... අපි දන්න සිංහලෙන් කියල දුන්න තව මාස 3යි විභාගෙට කියල....කෝ අහන එකක්යැ ... මෙන්න ඒ පාර මූ චිත්‍ර අදින්නයි....කවි ලියන්නයි පටන් අරන්.......
මුගේ කවියකට අපේ තවත් යාලුවෙක් කවියකින්ම පිළිතුරු දුන්න මෙන්න මෙහෙම....

දැක නැද්ද සඳු ඇවිත්....
හිරුට හිමි දිවාකල....
ඇත්ද එහි ලස්සනක්..
නිශායම දකිනු මෙන්...

දුරුතු සීතල මැදින් ....
කොවුල් ගී නෑසුනිද ....
ඇත්ද එහි ලස්සනක්...
බක් මහේ ඇසෙනු මෙන් .....

දුටුවෙහිද පිපුන මල්...
සිසිර සමයෙත් ශීත ....
දුටුවාද ලස්සනක් ...
වසන්තේ දකිනු මෙන්....

බොළඳ සිත දිව ගියත් ....
ආදරය සොයාගෙන
සුන්දරද ආදරය ...
වසන්තය ලබනතෙක්.....

මොකෝ කවි ලියල මූව නවත්තන්න පුළුවන් එකක්යැ .... මේ මනුස්සය කෙල්ලගෙන් අහන්නෙත් නෑ ..... මූකලන් බස්සා වගේ ඉන්නවා.... ඔන්න දැන් කෙල්ල පන්ති ඉවරවෙලා යනකොට පස්සෙන් යන්නත් ගත්ත. හැබැයි කෙල්ලට නොපෙනෙන්න....මාරම ආදරයක්....කෙල්ල බස් එකට නගිනකන් මූ බලාගෙන ඉන්නවා..... ඊට පස්සේ හැරිලා එනවා..... අපි හැමෝගෙම කරුමේ කියන්නේ මේ ගෑණු ළමය අපි ගිය ක්ලාස් තුනටම ආවා.....
ඔන්න ඔහොම පාඩම් වැඩත් අතපසු කරගෙන අපේ මිත්‍රයා මාසයක් විතර කල් ගෙව්වයි කියමුකෝ....
ඔන්න ඒ අඳුරු මූසල දවස උදාවුනා.... වෙලාව දවල් දොළහයි.... ඇතුගලට කෙලින්ම ඉහලින් ඉර.... ඔන්න පුරුදු විදිහට අපේ ඒක පාර්ශවික ප්‍රේමවන්තයා අර කෙල්ලගේ පස්සෙන් යනවා.....
එක පාරටම දැක්ක දෙයින් අපිට නම් හිනා.... අනේ ඒත් අපේ කතා නායකයාගේ ඇස් ඉස්සරහ නම් හෙණ ගෙඩියක් පාත් උණා .... කඳුළු ඇස් දෙකෙන් පැන්න .....මහ පාර මැදම ඔරලෝසු කණුව ඉස්සරහ කුරුණෑගල ......
අර කෙල්ල වෙන කවුද කොල්ලෙක්ගේ අතින් අල්ලන් යනවා....

හ්ම්.....
ඔන්න අපේ කොල්ල කවියක් ලියනවා....

දුටුවෙමි ගෑණු ළමයෙක් පන්තියෙදි මම
චාටර් කකා පෙරුවෙමි හැමදිනම මම
වෙනකෙකු සමඟ අත් අල්ලා යුවති එම
යනවා දුටිමි ඉවරයි මගෙ පළමු පෙම.

කිසිම කාව්‍යමය වචන නෑ තමයි....ඒත් මොකක්දෝ රසයක් තියනවා...
මමත් කවියක් ලිව්වා මගේ සහුර්දය වෙනුවෙන්....
මේ ඒක ........
මාතෘකාව " හිස්තැනක්....."

".....සඳ ආවෙ පරක්කුවෙලා,
ගිහින් ඉරේ මළගමට.....
හ්ම්...
දැන් ඉතින් කවුද ඉන්නේ...
මගේ මළගමට....,
අඬන්ට ,"

ඔය සිද්දිය මතක් වෙද්දී මගේ හිතට එන සින්දුවක් තියනවා.....එත් මේ සිද්දිය මතක් වෙලා නෙමෙයි මට දැන් ගීතය මතක් උනේ....
මම රුවන්වැලි සෑයේ සල පතල මළුවට වෙලා බලාගෙන ඉන්නවා.....මම දැක්ක...සුදුම සුදු මල් වට්ටියක් අරන් එන යොවුන් පෙම්වතුන් දෙපලක් ......
රඹුකන සිද්ධාර්ධ හාමුදුරුවෝ ලියපු වික්ටර් රත්නායක සන්ගීතවත් කරලා ගායනා කරන සිනහ මල් වට්ටිය මට මතක් උනා.

කඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහා මල් - සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...

සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...

උණු කඳුළු - උණු කඳුළු බත් මුලක්
මල් පැදුරු - මල් පැදුරු පන් මිටක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තියෙක් වුනාට කමක් නෑ නගේ...

නගේ මලේ ඔබට ගව් සියයක් වත් මේ සතුට හෝ දුක තුරුළු කරන් යන්නට බැරිනම්.....ඔබ කොහොමද ආදරයේ දුක සතුට විඳ දරා ගන්නේ.....


No comments:

Post a Comment