Saturday, June 7, 2014

ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්............ හිතට තුරුළු වෙනවා................

මම මනසින් අතීතයට යනවා. අවුරුදු පහ හයකට, එහෙම නැත්නම් මගේ පුංචි කාලයට මීට කලින් මම ලියල තියනවා වගේ......
නැහැ.......
මම අවුරුදු දහස් ගණනක් අතීතයට යනවා.......
බුදු හාමුදුරුවෝ උපදින්නත් ඉස්සර කාලයට.....
මේ කුරුරට ඉඳිපත් නුවරට.....
ධනඤ්ජය කොරව්‍ය රජු දශරාජ ධර්මයෙන් රාජ්‍ය කරන කාලෙට ...
මේ රජ්ජුරුවන්ට හිටිය විදුර පණ්ඩිතයන් කියල ඇමති කෙනෙක්....

ඔයකාලෙ නගරෙ හිටිය කෙළෙඹි පුත්‍රයෝ හතර දෙනෙක් තාපසයන් හතරදෙනෙකුට ඇප උපස්ථාන කරල ....මිය ගියාට පස්සේ එක් කෙනෙක් ශක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉපදුන .....
අනිත් තුන්දෙනා පිලිවෙලින් නාග භවනේ, ගුරුළු රාජ භවනේ....සහ කොරව්‍ය රජුගේ අග බිසව කුසේද පිළිසිඳ ගත්තා- මේ කොරව්‍ය කුමාරය ලොකුවෙලා අන්තිමට රජවෙලා විදුර පඬිතුමාගේ උපදෙස් පිලි පදිමින් දැහැමෙන් සෙමෙන් රට පාලනය කරනවා...

දවසක් මේ රජතුමා උයනේ භාවනා කරමින් ඉන්නකොට ...ශක්‍ර දෙවෙන්ද්‍රයයි ...අර මුලින් කියපු නා රජ්ජුරුවොයි, ගුරුළු රජ්ජුරුවොයි හම්බවෙනවා. පෙර ආත්මයේ ඉඳන් දැන හැඳුනුම් කම් තියෙන හින්ද ඔන්න දැන් හතරදෙනා සතුටු සාමිච්චියක .....

දැන් ඔය වරුණ කියන නා රජ්ජුරුවෝ කියනවා මෙහෙම
" මේ ඉන්න ගුරුළු රජ්ජුරුවෝ හැමවෙලේම අපිට සතුරුයි.ඉතින් අපේ ජීවිත නසන මේ සතුරා දැක දැකත් ශීලය ආරක්ෂා කල නිසා මගේ ශීලය උතුම්....."

එතකොට ගුරුළු රජ්ජුරුවෝ කියනවා මෙහෙම....
" මට හොඳ කෑමක් වන මේ නා රජ්ජුරුවෝ දැක දැක ඉවසා වදාරගෙන ශීලය ආරක්ෂා කල නිසා මගේ ශීලය උතුම්....."

එතකොට ශක්‍රයා කියනවා
"...... දිව්‍ය ලෝකේ සැප අතහැරලා ඇවිත් මනුෂ්‍ය ලෝකේ සිල් රකින නිසා මගේ ශීලය උතුම්......."

එතකොට අපේ රජතුමා ඒ කියන්නේ ධනංජය කොරව්‍ය රජතුමා කියනවා මෙහෙම
"...මම වස්තු කාමය සහ දහසය දාහක් ස්ත්‍රීන්ගෙන් යුතු අන්තහ්පුරය අතහැර සිල් රකිමි. එනිසා මගේ ශීලය උතුම්......"

දැන් ඉතින් හැමෝටම ප්‍රශ්නයක්...කාගේ ශීලයද වඩා උතුම්.....දැන් කට්ටිය කතා වෙනවා මේ ගැන කාගෙන්ද අහන්නේ....එතකොට අපේ ධනංජය කොරව්‍ය රජතුමා කියනවා " මට අනුශාසනා කරන ශ්‍රේෂ්ට පඬිතුමෙක් ඉන්නවා, අපි එතුමාගෙන් අහමු"

එතකොට විදුර පඬිතුමා කියනවා " ඔබේ ශීලයේ වටිනාකම ඔබ විසින්ම ඔය ලස්සනට පැහැදිලි කරලා තියෙන්නේ...ඔබ හතර දෙනාගේම ශීලය උතුම්..."
මෙයින් සතුටු වුන මේ හතරදෙනා ශක්‍ර දේවේන්ද්‍රයෝ දිවහුලකින්ද, ගුරුළු රජ්ජුරුවෝ රන්මාලාවකින්ද වරුණ නා රජ්ජුරුවෝ කණ්ඨ මාණික්‍යයෙන්ද කොරව්‍ය රජ්ජුරුවෝ ගවයන් දහසක්ද ඇතෙකුද අජානීය න්‍ධෛව අශ්වයන් යොදන ලද රථ දහසක්ද ගම්වර දහසයක්ද තෑගි කරනවා.....

දැන් වරුණ නා රජ්ජුරුවෝ නාගලෝකෙට යනවා. බෙල්ලේ දාගෙන හිටපු කණ්ඨ මාණික්‍යය නැහැ. දැන් නා රජ්ජුරුවන්ගේ බිසව විමලා දේවි අහනවා මැණික කෝ කියල.
ගෑනුන්ගේ හැටිනේ ..........................
වරුණ නා රජතුමා විදුර පඬිතුමා ගැන විස්තර කියනවා
ඔන්න.... දැන් විමලා දේවිටත් ආසයි විදුර පඬිතුමා ගෙන් බණ අහන්න....
විදුර පඬිතුමාව බණ අහන්න නාග ලෝකෙට එක්කන් එන්න කිව්වොත් ඒක නම් වෙන්නේ නැහැ කියල විමලා දේවි හොඳටම දන්නවා......
ඔන්න දැන් ගෑණු ගැටයක් ගහන්නයි කල්පනාව.
සිරියහන් ගබඩාවට වෙලා නිදාගෙන ඉන්නවා අසනීපෙන් වගේ.....වරුණ නා රජතුමා බිසවගෙන් අහනවා මොකද වෙලා තියෙන්නේ කියල....විමලා බිසව මෙහෙම කියනවා....
" අනේ මට දොළ දුකක් තියනවා....මට විදුර පඬිතුමාගේ හෘදය මාංශය ඕනෑ . ඒක ලැබුනොත් මම ජීවත් වෙයි.. නැත්නම් මැරෙයි."

එතකොට නා රජතුමා කියනවා ඒක නම් කරන්න බැහැ. දඹදිව රජවරු සියල්ලෝම විදුර පණ්ඩිතයන්ට රැකවල් දාල තියෙන්නේ..
......"එහෙනම් මම මෙතනම මැරෙයි..." බිසව කියනවා.

දැන් බිසවත් දුකින්, බිසවගේ දොලදුක සංසිඳවන්න බැරුව නා රජතුමාත් දුකින්....
ඔන්න එතකොට වරුණ නා රජතුමාගේ දුව ....එරන්දති නාග කන්‍යාවිය අහනවා මේකට හේතුව....
හේතුව දැනගෙන ඇය ලස්සන ආභරණ වලින් සැරසිලා හිමාලයේ කාලගිරි නම් පර්වතය අනෝතත්ත විලෙන් නෙලූ මල් වලින් සරසලා ...ලස්සන ගී කියමින් ඉන්නව.......බලන්න ලස්සනයි.....
මේ අවස්ථාව මම කියනවට වඩා හොඳයි සුනිල් සරත් පෙරේරාගේ වචන පණ්ඩිත් අමරදේවයන්ගේ සහ අමිතා වැදිසිංහගේ හඩින් කියනවනම්..... මෙන්න මේ විදියට......

අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරළස මල් ගවසාලා
නාග ලොවින් බැස නාළිය ගමනින්
වරඟන පිරිවරනා
එරන්දතිය එනවා

සිතක උපන් දොල සංසිඳුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
හිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා

කෝමළ ගමනින් කෝළ හැඟුම් හල
කාල ගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා

නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් නෙළාලා
පාද කිංකිණී සොළවා
එරන්දතිය එනවා

ඔන්න ඔය අතර පූර්ණක නම් යක්ෂ සේනාධිපති මෙතැනින් යනවා....පෙර ආත්මයක තමන්ගේ බිරිඳ වුනු ඇයගේ හඬ ඇසී ඇයකෙරෙහි වශී වෙනවා.ඇගේ රූපයට වශීවෙනවා. ඉතින් මේ පූර්ණක යක්ෂ සේනාධිපතියට එරන්දතිය කියනවා විදුර පඬිතුමාව නාග ලෝකෙට එක්කන් එන්න පුලුවන්නම් ඇය පූර්ණකත් එක්ක විවාහ වෙන්න කැමති බව.

ඔන්න දැන් පූර්ණක යක්ෂයා ලස්සන කුමාරයෙකුගේ වෙස් අරගෙන ඇවිත් ධනංජය රජතුමාත් එක්ක ඔට්ටුවට දාදු ක්‍රීඩා කරනවා..... රජතුමාට දෙවඟනකගේ ආධාර තියන නිසා හැමදාම දිනනවා. නමුත් පුර්ණක මේක දිවැසින් දැකල ඒ දෙව් දුවව බය කරලා පන්නනවා. අන්තිමේදී රජතුමා පරදිනවා.....ඔට්ටුවට ඉල්ලන්නේ විදුර පඬිතුමාව ....අන්තිමට දෙන්න වෙනවා.....

දැන් විදුර පඬිතුමාව නාගලොවට අරන් යන අතරතුර හෘදය මාංශය ගන්න මරන්නයි පූර්ණකගේ කල්පනාව....
ඒත් විදුර පඩිතුමාගෙන් බණ අහල හොඳ කෙනෙක් වෙනවා පූරණක ..... නාග ලොවේදී නා රජ්ජුරුවොයි විමලා බිසව ඇතුළු පිරිසයි පඬිතුමා ගෙන් බණ අහනවා. ඊට පස්සේ විදුර පඬිතුමාව ආපහු මිනිස් ලෝකෙට එක්කන් එනවා....
එරන්දතිය සහ පූර්ණක කසාද බඳිනවා.....ඔවුන්ගේ පුතා තමයි දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේ.....අර බුදුවෙන මොහොතේ බෝසතාණන් වහන්සේ මාර පරාජය කරන්න ටිකකට කලින් අනිත් දෙවිවරු බයේ පැනල දුවද්දී බය නැතුව බුදු හාමුදුරුවෝ ලගට වෙලා හිටපු දැඩිමුන්ඩ දෙවියෝ.....

ඕක තමයි කතාව.... Sameera දිල්හාන් සහෝදරයා ගොඩක් කල් මගෙන් මේ සින්දුවේ තේරුම අහල....පරක්කු වුනාට සමාවෙන්න.....

සුනිල් සරත් පෙරේරා මේ සින්දුව ලියපු සිද්දියත් මට සම්බන්දයි වගේ....මොකද මගේ උපන් ගම රඹුක්කන නේ.....

සුනිල්ගේ වචන වලින්ම කියනවනම්
".....රඹුක්කන සිව්කෝරලයට අයත් නියම් ගම් පියසකි. රඹුක්කන නගරද්වාරයට ඉස්මත්තෙන් ප්‍රතාපවත් යෝධයෙක් බඳු වූ අලගල්ලේ කන්ද ඈතින් දිස්වෙයි. කඳු පාමුල මිටියාවත මවන්නේ පුබුදු සිරියාවකි. බෙලිගොඩපිටිය වෙල්යායට පසුබිමින් නිලව නැමී ගිය තවත් කඳු පෙළකි.
සති අන්ත නිවාඩුවක් ගතකිරීමට රඹුක්කන ගිය මට පුරදොර බස් නැවතුම්පොළට යාබද කඩ එළිපතක දී පොත් වෙළෙන්දෙක් මුණගැසුණි. යසෝදරාවත - තුන්සරණය – කාපිරි හටන – විදුර ජාතක සින්දුව වැනි චූල සම්ප්‍රදායේ කවීන්ගේ කවිපොත් ඔහු ඉදිරියේ ගොඩගැසී තිබුණි. ඔහු මහලු වියට පත් කුඩා කොණ්ඩ ගැටයක් හිස බැඳි අයෙකි. ඔහු ළඟ තිබූ පතපොත අතර වූ විදුර ජාතක කවිපොත මම තෝරා බේරා මිල දී ගතිමි. කෑගලු බසය එනතුරු බස් නැවතුම්පොළේ රැඳී සිට එක හුස්මට කියවූ විදුර ජාතක කවියෙන් අප්‍රමාණ වූ රසයක් මා වින්දෙමි...."

නිවාඩුව ගෙවා කොළඹ ආපු සුනිල්ගේ හිතේ නිම්නාද දුන්නේ විදුර ජාතකේ කවි...එවකට ඔහු වැඩකලේ ගාලුමුවදොර මහ හෝටලේ....සඳුදා දවසක උදේ කිරුලපන ඉඳන් ගාලුමුවදොරට එන්න තට්ටු දෙකේ බස් එකක නැග්ග.... වෙනදට පෙම්වතුන්ගේ පාරාදීසයක් වෙච්ච උඩ තට්ටුවේ පිටුපස කොනේ සීට් එක හම්බවුනා ...
ටික දුරක් යනකොට ලස්සන පදවැලක්.....දවසක ජනප්‍රිය ගීයක් වෙන පද වැලක් බස් ටිකට් එකේ පිටිපස්සේ ලියවුන........

අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරළස මල් ගවසාලා.................
.......................................
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
හිතට තුරුළු වෙනවා........................හ්ම්


No comments:

Post a Comment