Friday, June 6, 2014

පොඩි උන්ගේ අවුරුදු

නිමිත්ත: ෆුඩ් සිටි එක ළඟ සිගන්නියක් දෙහැවිරිදි පමණ දරුවෙක් සමඟ සිගාකයි

පරසිඳු සුපිරි සල අසබඩ අනුරපුරේ
අවුරුදු ගන්න ජනයා පොරකන අතරේ
සිඟමන් යදින මව හා නිරුදක කතරේ
පුංචිම පුංචි පියුමක් රැඳී නෙත් අතරේ....

කිරි කැටි සිනා මුව මත මල් පිපේයා
මොළකැටි වදන් අප දෙසවන් පිරේයා
වැරහැලි රෙදි කඩින් විලි බිය වැසේයා
නිදිකුම්බා මලක් මහ මග පිපෙයා

දෙකන් පෙති වලින් දහදිය ගලන කොට
දූවිලි සුළඟ නෙත කඳුලැලි පනින කොට
අම්මා නොකා මගෙ කුසගිනි නිවන කොට
මොන අවුරුදුද කුසගින්දර දැනෙන කොට

වීදුරුවෙන් එහා අර සුර ලොවක් වගේ
වටිනා කෑම එහි අසුරා තියන රඟේ
දොරකොඩ ලඟින් යනෙනා විට වැදී ඇඟේ
සීතල සුළඟ වෙන රටකට ගියා වගේ

රෙද්දයි හැට්ටේ ඇඳ ලෙස ගැමි ලලනාවෝ
අවුරුදු විකුනනවා මෙහි සේවිකාවෝ
කැවුම් කොකිස් බීමද ගෙන මනාවෝ
යන එන පිරිස දැකුමට වාසනාවෝ

පොඩිපුතු සමඟ මම රියකින් එහි බැස්සා
දොරකඩ ලඟදි දිටි අර දරු ලෙස මැස්සා
මා පුතු සමඟ හිනැහෙන දරු දැක වස්සා
ලෙස මා ගියා ඇතුලට මූණම ගස්සා

කෑමද බීම මස් මාළුද අයිස් ක්‍රීම්
කූඩය පිරේ මා හට නැත ඉන් නිම්හිම්
පිළිගන්නට ළඟ එන අවුරුද්ද නොනිම්
ඇතුලේ තරඟයකි සිත් තුල නැතේ සුසුම්

චොකලට් ගොඩක් මා පුතු දෝතට ආවා
හිනැහී මෙන්න සේරම කූඩෙට ආවා
කැෂියර් යුවති මුහුණට සිනහව බෝවා
අතින් කටින් බඩු ගෙන එලියට ආවා

වැරහැලි ඇඳන් අම්මෙක් දොර අසල සිටී
පොඩි පැටවෙකුගේ මුහුණක් අසලින්ම දිටී
නෝනා මහත්වරු ගස්සන් යනෙන සැටී
දැක අම්මාගේ නෙත් අග පොඩි කඳුළු කැටී

මාපුතු දෝත එක මල්ලක් තුලට ගියා
චොකලට් ගොඩක් අර දරුවගේ අතේ තියා
වැඩිහිටි අපට නැති මදහස මුවේ තියා
සුබ නව වසර වේවා යයි නෙතින් කියා

දුප්පත් කම නැති බැරිකම නැතිවීයන්
හැම ගෙදරකම අවුරුදු බත ඉදීයන්
පොඩි උන් සැමට අවුරුදු සිරි දැනීයන්
ලැබූ නව වසර කිරි පැණියෙන් ඉතිරීයන්

No comments:

Post a Comment