Thursday, June 5, 2014

පිදුරු සෙවිකල පැල්පතේ



පිදුරු සෙවිකල පැල්පතේ ඇති..සාමෙ නැත මහ මන්දිරේ..... //

ටිකිරි හසරැලි බොලඳ සතිවිලි...


මෙහි තිබේ හොඳ ආ....දරේ... //




කැලෑ මල් වල සුවඳ බීගෙන හමන මද නල වාසනාවන්....

දුරින් ඉඳ එන කුරුළු ගී හඬ නැති කරයි හද වේදනාවන්..

අහිංසක ගැමි ජීවිතේ.. මැනෙයි පියවර මේ බිමේ...




වියෝ ගිනි මැද දැවෙන ජීවිත... අද වගේ හෙට හමු නොවේවා...

සමාදානය... සැබෑ ආලය.. දිනෙන් දින මතුවී පෙනේවා...

මේ බිමට නොවෙනස්ව ඉර හඳ සැමදා රැස් කිරණ දේවා...




සිසිර සේනාරත්නගේ හඬ මගේ දෙසවනට වැටෙනවා. මම නොදැනීම මගේ හිත අවුරුදු 30ක් විතර ආපස්සට යනවා.... සාලේ මැද්දේ කනප්පුව උඩ තියල තියන බැටරි කෑලි 4 කින් වැඩ කරන 2 in 1 රේඩියෝ එකේ මේ සින්දුව හයියෙන් යනවා. බිම එලපු තුන් ඉරියා පැදුරක කිරි අම්මගේ ඔඩොක්කුවේ ඉදගෙන අවුරුදු 3ක විතර පුංචි එකෙක් මේ සින්දුව අහනවා. ඒ මම නේද?. ඇරලා තියන දොර පියන් දෙකෙන් ඉස්තෝප්පුවේ පිල් කන්ඩියට හඳ එලිය ගලනවා.




කැලෑ මල් වල සුවඳ බීගෙන හමන මද නල වාසනාවන්....

දුරින් ඉඳ එන කුරුළු ගී හඬ නැති කරයි හද වේදනාවන්..

අහිංසක ගැමි ජීවිතේ.. මැනෙයි පියවර මේ බිමේ...




ගේ ඉස්සරහ වෙල් යාය පිසගෙන එක හුළඟ ඇඟේ හිරිගඩුවක් දෙකක් පිපෙව්වා තමයි...වලාකුලක් වත් නැති නිරුවත් ආකහේ ලොකුම ලොකු පපඩමක් වගේ හඳ . රන් පිඟාන ලෙස වටකුරු නොවේ...පපඩමක් වගේ. මන් ඉතින් රන් පිඟන් දැකල තියන එකක්යැ . මිදුලේ අඹ ගහේ හෙවනැලි රටා තියල ඇමදපු මිදුලේ අලුත් රටා මවනවා, කුරුල්ලොනම් නෑ . එත් මා වවුල්ලු කෑගහනවා. වවුලා කියන්නේ කුරුල්ලෙක් නෙමේ කියල අවුරුදු තුනේ පොඩි එකෙකුට තේරෙන එකක්යැ . ඇහෙන සින්දුව මගේ ඉස්සරහ සිතුවම් වෙනවා.




වියෝ ගිනි මැද දැවෙන ජීවිත... අද වගේ හෙට හමු නොවේවා...

සමාදානය... සැබෑ ආලය.. දිනෙන් දින මතුවී පෙනේවා...

මේ බිමට නොවෙනස්ව ඉර හඳ සැමදා රැස් කිරණ දේවා...




මේ ටිකනම් පොඩි එකාට හරියට තේරෙන්නේ නෑ . " කිරි අම්මේ.. ඒ කියන්නේ මොකක්ද?" " ඒ කියන්නේ සුදු පුතේ අපි හැමෝම සතුටින් සමාදානයෙන් ඉර හඳ පවතින තාක් කල් ඉන්න ඕන කියල "

ඒ කියන්නේ ඉර හඳ නැති කාලෙකුත් තියනවද?.... ඔන්න මට තියන ප්‍රශ්න. දීපල්ලකො උත්තර.........




මම ඒ ප්‍රශ්නේ අහල දැන් අවුරුදු 30ක් ගතවෙලා. මන් දෙදරු පියෙක්... අපේ අම්මයි තාත්තයි දැන් කිරි අම්මල කිරි අත්තල . මාව ඔඩොක්කුවේ තියන් හිටපු කිරි අම්මා නැතිවෙලා අවුරුදු 13ක් ගෙවිල..එදා මන් සින්දු අහපු ඉස්තෝප්පුවේ ඉඳන් කිලෝමීටර් 300ක් විතර ඈත මන්නාරමේ නිල නිවාසයේ කාමරයක බැල්කනියේ ඉඳන් අහස දිහා බලන් ඉන්නවා.... තාමත් ඒ හඳ මයි . පිම්බිච්ච පපඩමක් වගේ. හෙට උදේ ඉරත් පායයි . එත් අර සින්දුව FM එකක ඇහේවිද ? කිලෝමීටර් 100ක් විතර ඈතින් දුකෙන් ඉන්න බිරිදගේ ඔඩොක්කුවේ ඉඳන් දෙහැවිරිදි පුංචි පුතා මේ සින්දුව අහනවා ඇත්ද?

................

මම android phone එකේ රේඩියෝව කරකවනවා. මෙන්න යනවා සින්දුවක්.......

".........අයි අයි අයියෝ අයියෝ අම්මියෝ ....මෙන්න තාත්ත ගහනෝ......."

......................

..........හ්ම්



1 comment:

  1. මේ සින්දු රසවිඳපු අන්තිම පරම්පරාව අපි වෙන්න ඇති,දැන් පරපුරේ රසවින්දනය හුදෙක්ම ශබ්ද රසයට පමනක් සීමා වෙලා,ඇත්තටම කනගාටුයි.

    ReplyDelete