Thursday, June 5, 2014

ඈතින් හිඳිමි මා පන නල ඔබගේය....................



මොනවහරි කුරුටුගාන්න කියල හිත හිත උන්නේ ටික දවසක ඉඳං. කෝ ඒකට වෙලාවක්. මම මෙතන කුරුටු ගාන දේවල් ගැන Sameera දිල්හාන් දුන්න අවවාදත් එක්කම ටික දවසක් කුරුටු ගාන්නේ නැහැ කියල හිතන් උන්නේ... ඒත් අද හවස අහම්බෙන් වගේ ඇහුන මේ ගීතය මගේ ස්වයං වාරණය යටපත් කරගෙන මාව ලැප්ටොප් එක ඉස්සරහ ඉන්දෙව්වා........


ගීතයක් රසවත් වෙන්නේ එහි තේමාව තම ජීවිතයට සමීප දෙයක් උනාම කියල කිව්වට මට හිතුන ඒක මොන බොරුවක්ද කියල. වෙනද සින්දුවලට අතීත කතා , සිද්ධි , කතන්දර කොච්චර තිබුනත් අද මේ සින්දුවට කියන්න කතාවක් මම ළඟ නෑ . එත් මේක දෙපාරක් ඇහුව....තුන් පාරක් ඇහුව......හතර පාරක්.....පස් පාරක්.......
සින්දුවක් ඇහුවම පපුව රිදෙන්න ගන්නේ කලාතුරකින්...... ඒත් .....
දීපිකා ප්‍රියදර්ශනි පීරිස්ගේ ශෝකී හඬ මගේ දෙසවන් තුල දෝංකාර දෙනවා........රෝහණ වීරසිංහයන්ගේ මදුර මනෝහර සංගීතය........කව්ද මේක ලියල තියෙන්නේ....... ආදරණීය බන්දු අයියා ...... බන්දුල නානායක්කාරවසම්......
බන්දුල නානායක්කාරවසම් එක්ක මගේ හිතේ තිබුනේ ලොකු තරහක්.....හරියට දරුවෙක්ගෙන් දෙමවුපියන් වෙන්කළ කෙනෙක් එක්ක තියන තරහ වගේ. ඒ රෑ ඉරපාන නවත්තල දැම්මට. ඒ තරහ දැවෙන හේනකට මල් වැහි පොදක් වැටුන වගේ නිමිල ගියා... හෝස් ගාල නෙමේ. දැවෙන හේනකට වැස්සක් වැටුනහම දැනෙන අලුත් සුවඳත් එක්ක.

ඈතින් ඇසෙන ඝන්ටා නාදයක් ලෙස
රැකින් මිදෙන අවපස සදවතක් ලෙස
දෝතින් එදා පුද දුන් හද මඩල යස
තාමත් මගේ ලගයි සිහිනයක් ලෙස

ඔබ වෙන් වුනේ ඔබ වට බැඳී පවුරින්ය
මා තනි කලේ කල හැකිවාක් නැතියෙන්ය
කිසිවෙකු නමින් නොපිදුනු හිත එලෙසින්ය
ඔබ දැන් මට පෙනෙන්නේ පෙර මතකෙන්ය

ආලය අයිති වී ඉන්පසු නිමවේද
මාහට අයිති නැති ඔබ අද ඇයගේය
සෝබර හිතට මේ කිසිවක් නොහැගේ ය
ඈතින් හිඳිමි මා පන නල ඔබගේය



දෙයියනේ බන්දු අයියේ... කොහෙන්ද මේ වචන....මේ වචන දිව්‍ය ලෝක රහයි.
මම ඇස් පියාගෙන ආයෙත් අහනවා . අපේ ගමේ කන්ද උඩ පන්සලේ ඝන්ටා නාදය ඇහෙනවා වගේ ඈතින්.....එත් ඒක ප්‍රේමයට විරහවට උපමා කරගන්නේ කොහොමද......ඈතින් ඇහෙන ඝන්ටා නාදය ඇහෙන නෑහෙන දුරට ගියාම ඒ උපමාව හොඳට තේරුම් ගන්න පුළුවන්......රැයින් දුරස්වෙලා යන අවපස සඳක් .....ඝන අඳුරක් ඔබ අත්විඳ ඇත්නම් එය තේරුම් ගන්න පුළුවන්......
පළමු පද පේළිවල නැති රහක් අන්තිම පද පේලි වල තියනවා.....

ආලය අයිති වී ඉන්පසු නිමවේද
මාහට අයිති නැති ඔබ අද ඇයගේය
සෝබර හිතට මේ කිසිවක් නොහැගේ ය
ඈතින් හිඳිමි මා පන නල ඔබගේය

විරහව......ආලය .............වේදනාව............කොච්චර ගීතවල තියනවද.......
සෝබර හිතට මේ කිසිවක් නොහැගේ ය......
බන්දු අයියාම රෑ ඉර පානේ කියන විදියට ගීත කියන්නේ මහා පුදුම දේවල්...
ඒවාට පුළුවන් අපිව වෙනම ලෝක වලට අරන් යන්න.....
මම දහවෙනි වතාවටත් සින්දුව අහනවා....හීන් රිදීමක් ඔලුවෙන් පටන් අරන් පපුව හරහා ඇට මිඳුළු දක්වාම යනවා......




No comments:

Post a Comment