Friday, June 6, 2014

නුඹ නැතිදා මට සතුටක් කොයින්දෝ

මන්නාරමට එනකොට හොඳටම හවස් වෙලා....ගිනි බෝලයක් වගේ ඉර මුහුදේ ගිලෙමින් උන්නේ.....දවල්ට හරිම චණ්ඩිකමින් කැලුම් විහිදුවන.....ඉර හරිම තැන්පත් කමකින් මුහුදේ ගිලෙන හැටි.....ඔහු ඉරයි ඇය මුහුදයි.......එත් ඒක ඇත්තක්ද...මිරිගුවක්ද......හිතලුවක්ද....
කවියෙකුට ඒක ලස්සන උපමාවක් උනාට හැබෑ ජීවිතයේ...ඉර කොහිද , මුහුද කොහිද.....එතරම් ඈත ඇති ඉරයි මුහුදයි අපට ලඟින් වගේ පෙනෙනවා....නමුත් ඔහුයි ඇයයි .මම වාහනේ වේලි මග උඩ නවත්තලා ඉර දිහා බලාගෙන උන්නා.....මම හේ කියන්න හදන කතාව මම කලින් කියපු කතාවක පෙරවදනක්ද...පසුවදනක්ද කියල මම දන්නේ නැහැ...නමුත් මොකක්දෝ පෑහීමක් තියනවා,
මේක දම්මිගෙයි සුගත්ගෙයි කතාවවත්...නොරිකෝ සං ගෙයි දෙවෙන්දොරා සං ගෙයි කතාවවත් නෙමේ....මේක ඉරේ හෝ මුහුදේ කතාව නොවේ...මේක මලක හෝ මල් මුවරදක කතාව නොවේ..............මේක.............

ඇය කියන කතාව ලියවුනේ ජගත් ගාමිණී මාවතගමගේ පන්හිඳෙන්.....හැඩවුනේ සමන්ත පෙරේරාගේ අතින් ඇහෙන්නේ සමිතා මුදුන්කොටුවගේ හඬ......මේ ඇගේ හඬද?

මලට හිරිහැරද මලේ මුදු මුවරද
විලට හිරිහැරද විලේ පිපි ඉදුවර
රැයට හිරිහැරද රැයේ පුන් පුරහද
නුබට හිරිහැරද කියන් මගේ සෙනෙහස ?

මල නැතිදා මල් මුවරද කොයින්දෝ
විල නැතිදා විල් ඉඳුවර කොයින්දෝ
රැය නැතිදා රෑ පුරහඳ කොයින්දෝ
නුඹ නැතිදා මට සතුටක් කොයින්දෝ

මලේ පැතුම මල් මුවරද නොවේදෝ
විලේ පැතුම විල් ඉඳුවර නොවේදෝ
රැයේ පැතුම රෑ පුරහඳ නොවේදෝ
මගේ පැතුම සුහදේ නුඹ නොවේදෝ

මේක මහා ලොකු උපහැරණ තියන පද මාලාවක් නෙමේ......මුළු ගීතයටම තියෙන්නේ උපමා තුනයි....නමුත් ඒ උපමා තුනෙන් කොච්චර නම් ලොකු කතාවක් කියනවද.....

මලට හිරිහැරයක්ද මුවරද....? මලට ආඩම්බරයක්ද......, මුවරද නැති මලකින් ඇති පලය කීම...නමුත් මලක් නැතිනම් මුවරද කොයින්ද.......විලක පිපුණු පියුමක් විලට ආඩම්බරයක් නොවේද........මලක් නැති කල විලක් වලක් පමණි.....නමුත් ඒ විලට මල නොවටී නම්.....
රැය සුන්දරවන්නේ සඳ කැලුම් ගලන විට නොවේද......රැයට සඳත්...සඳට රැයත් අවැසි නොවේද....නමුත් රැයට සඳ ඇවසි නැත්නම්.....සදාකල් අඳුර පමණි.....
දැක නැත්ද සඳ ඇවිත් හිරුට හිමි දිවාකල......
ඇතිද එහි ලස්සනක් දිවාකල දකිනු මෙන්.......

හ්ම්....................
දැන් ඉර බැහැල ගිහිල්ල....හඳ නම් ඇවිත් නැහැ......අහස පාලුයි...
මලානික ආකහේ කුරුල්ලෝ රංචුවක් ඉගිල්ලෙනවා......කාක්කෝ රංචුවක්.....
කාක්කෝ උනත් කොච්චර ලස්සනද.......
ඉරබටු තරුවවත් තියනවද කියල මම ආකහේ දිහා බැලුව....නෑ ......
අනේ ආකාසේ තනිවෙවිද..... සඳ කුමරිය මෙහෙම හිතනවා.......
.......
රෑ අකාසේට මම නැති උනත් කමක් නැහැ......ලස්සන ඉරබටු තරුවක් වත් හම්බවෙනවානම්...
නමුත් නමුත් ඒ ඉරබටු තරුව සමඟ මාගැන මතකයක් වත් ඒ අහසට නොආ යුතුයි...
එහෙමනම් ඇයට සතුටුයි.....ඔහුට දැන් මා මතක නැහැ....
නමුත් තරුවකට හැකි වේවිද සඳ නැති පාළුව මකන්න.....

මල් මකරන්දය මෙහෙම හිතනවා..... මලට මා නැතිවුවත්....රුවැති බඹරෙකුවත් ලැබුනොත්...මා මතක් නොවෙන්න...... නමුත් බඹරෙකුට හැකිද මකරන්දය නැති අඩුව පුරවන්නට.....

මල මෙහෙම හිතනවා.....විලට මා නැතිවුනත් මා නැතිබව නොදැනෙන්න ලස්සන මාළුවෙක්වත් ලැබුනොත්.....නමුත් මාලුවෙකුට පුලුවන්ද...........හ්ම්

ගීත කියන්නේ මහා පුදුම දේවල්.....මම නෙමේ කියන්නේ රෑ ඉරපානේ බන්දුල නානායක්කාරවසම්.......ඇත්ත
ගීතවල එන චරිත අපිට කොච්චරනම් හමුවෙනවද.....නමුත් ඒ චරිත දිහා විමසිල්ලෙන් නොබැලුවොත් හදුනාගන්න පුලුවන්ද....සමහර චරිත ගීත කීපයක් තුල ජීවත් වෙනවා.....ජීවිතයම ගීතයක්......
කොහොම හරි දැන් හොඳටම රෑ වෙලා.....
මට තවම රැය වෙනුවෙන් බලා ඉන්න හඳත් .....හඳ ගැන තැකීමත් නැති රැයත් පෙනෙනවා.....

මේ සටහන ඒ සඳට උපහාරයක් වේවා........



No comments:

Post a Comment