Saturday, June 7, 2014

වාංග ......උක්කාරුංග.......

ජීවිතයේ අත්දැකීම් එක්ක අපි කොච්චර දේවල් ඉගෙනගන්නවද..... සමාජයේ ගැටෙද්දී අපිට කොච්චර නම් දෙවල ඉගෙන ගන්න පුලුවන්ද.... ජීවිතයේ අවුරුදු දෙකක් උතුරු පළාතේ....සිංහල වචනයක්වත් ඇහෙන්නේ නැති පැත්තක ගෙවපු මට කොච්චර නම් දේවල් අලුතින් ඉගෙනගන්න ලැබුනද... දමිළ සංස්කෘතිය, සිරිත් විරිත්....කෑම බීම....සිතුම් පැතුම් ...කොච්චරක් දේවල්ද.....
ජිවිතයේ කවදාවත්ම අනුරාධපුරෙන් උඩට ගිහින් නැති...ඒත් පඬි ටෝක් දෙන කොච්චරනම් දෙනෙක් ඉන්නවද..හ්ම් ජීවිතය කියන්නේ විශ්වවිද්‍යාලයක් වගේ..
අද මං කතා කරන්නේ සංස්කෘතිය ගැනවත්, සිරිත් විරිත් ගැනවත් නෙමෙයි...ප්‍රේමය ගැන....සිංහල දෙමළ ප්‍රේමය ගැන... අපේ සාහිත්‍යයේ කොච්චරනම් එවැනි කවි, ගීත තියනවද..... මුලින්ම මට මතක්වුනේ ෆ්‍රෙඩී සිල්වාගේ "කුන්ඩුමනි ......"

"...මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
කුණ්ඩුමණී . . .

නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
කුණ්ඩුමණී . . ."

ප්‍රේමකීර්තිගේ පද වලට වික්ටර් රත්නායක එක්කල තනුවත් එක්ක කොච්චරනම් ලස්සන ගීතයක් වෙලාද මේක.....



ඔන්න තවත් කාලයක සිංහල තරුණයෙක් යනවා උතුරට .....මොකක්දෝ පුහුණු වැඩසටහනකට...ඔහුට නවතින්න වෙන්නේ ශාන්තිනීගේ ගෙදර.....කාටත් හොරා ඔන්න නෑඹුල් ප්‍රේමයක් විකසිත වෙනවා....පුහුණුවෙන් පස්සේ තරුණයා දකුණට එන්නේ ආයේ දවසක උතුරට ගිහින් ඇයව කැන්දන් එන්න.....නමුත් යුද ගිනිදැල් ශාන්තිනීලගේ ගම වෙලා ගන්නවා....ආයෙත් ඇයව දකින්න ගිය ඔහුට ඇයව හොයාගන්න බැහැ .... මේ තරුණයාගේ සිතුවිලි ලිව්වේ රත්න ශ්‍රී ....හැඩ වැඩ කපුගේගෙන්.....ඇහෙන්නේ දිවුල්ගනේගේ හඬ.....
මේ ඔවුනගේ කතාවයි....

"...........ශාන්තිනී තෙමා වැටී නලල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම්
ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං...."



තවත් ශාන්තිනි කෙනෙක් ගැන කියනවා අමරසිරි පීරිස් ...
"...... මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්න
ශාන්තිනි අපට හැකිද සඳ මඩලට යන්න...."


හ්ම්ම් තවත් කෙනෙක් මගේ මතකයට එනවා...ඒ සේනානායක වේරලියද්දගේ රාජිනි ...

"......නළල වියළවා විගසින් තිලකයක් තබා අතකින්
දොරකඩට ඇවිත් හිට ගෙන - හිනා වෙන නමුත්
තවම කෙහෙරැළින් දිය වෑහෙනව රාජිනී
ළපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී

දෙවොල් මඩුවෙ සුදු වැලි කැට පුරුද්දට වගේ ගැන ගැන
සීනු හඬට කන් දෙන විට පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැදින්
රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්
මුහුදෙ ගිලෙන විට සිහිලයි නොවෙද රාජිනී

මග වසන වළා තිර පට ඉරා ගෙන උජාරුවකින්
බක් මහේ නැවුම් සඳවත පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සඳ
කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදිත්
නුඹ තරම් සොඳුරු කවියක් නැහැනෙ රාජිනී......"

කොච්චර ලස්සනද මේ පද....



එතකොට දීපාවලී දාට දීපාවලී සඳ අරන් මාතර ගෙදර ගිය අසංක ප්‍රියමන්ත පීරිස් ......

දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
දැන් ගිනි අඩුවෙලා ගිහින්
පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්...."

තිස්සසිරි පෙරේරා තනුව දැම්මේ ආනන්ද හේවාරන්හිඳගේ ලියපු පද වැලකට 


තව ඉතින් කොච්චරක් නම් ගීත කවි තියානවද ...... ඒ එකකම වගේ සිංහල තරුණයෙක් පෙම් කරනවා දමිල තරුණියකට.... හැම එකකම එහෙමයි....නමුත් මම උතුරු කරේදී ගොඩක් දැක්ක සිංහල තරුණියන්ගේත් දමිල තරුණයන්ගේත් ආදර කතා.... හැබෑ ලෝකෙදි...
ඒත් ඒවගේ කතාවකට කවියක් හෝ ගීතයක් මට හොයාගන්න බැරිවුණා......
මම හැමතැනම හෙව්වා....
අන්තිමේදී හම්බවුනා ....... මගේම කරදාසියක.....මගේ පෑනේ තීන්ත වේලුණු පද පෙළක්.... මගේ අත් අකුරින්...

පුර සඳක් වෙන්න මට දීපාවලී අහස යට
මද නලක් වෙලා එක්වන්නට ඔබගේ සුසුමට
ගීතයක් වෙලා සසර තනුව වයන්න හිටි මට
හීනයක් වගේ සුවඳ පිරුනු යන්න ගියා ඔබ

නෑගම් යන යාල්දේවි පේදුරු තුඩුවට
පීලි දෙකකි අප කවදාවත් එක් නොමවන
මේ සිහින කන්ද යට තනිවී සිහින දකින්නට
මගෙ නෙතට නින්ද නෑ තනියට නුඹ ලඟ නැතිකොට

දෙවොලේ දිලෙනා පහනක් වී සැලෙන්න සුළඟට
මේ පුංචි සිතක් මඟ බැලුවත් පෙරුම් පුරාගෙන
මහ වැස්සක් වී වහින්න හිටියත් නුඹෙ දෙරණට
නිළි වැස්ස වෙලා යන්න වුනා පාවී අහකට

හ්ම් ........................

3 comments: