Saturday, June 7, 2014

මල් පවන මට තාම මතකයි........




මේ පොස්ට් කරලා තියන ෆොටෝ එක ගත්තේ පහුගිය සිංහල අවුරුද්දට ගමේ ගිය වෙලාවේ.....මේ පින්තුරේ ඉන්නේ මගේ පුංචි ලොකු පුතා..... බිනුල
එයාගේ අතේ තියනවා සෙල්ලම් බඩු, එතන හිටගෙන ඉන්නවා මගේ තාත්තා....පුංචි බිනුලගේ කිරි අත්තා....


පුංචි පුතාගේ අතේ තියෙන්නේ සුදු පාට කාර් එකක්. ඒක ඇම්බියුලන්ස් එකක්.... කාර් ඇම්බියුලන්ස් තියනවා යැ ..... ඒක ගොඩක් පරණ කතාවක්.....
ඒ මට මතක විදිහට නවසිය අසූ හතර අවුරුද්ද.....
මෙතන ඉන්න තාත්තාට එතකොට දැන් මගේ වයස විතර ඇති... මට අවුරුදු තුන පහුවුනා විතරයි.... දැන් අහන්න එපා මට මේවා මතක කොහොමද කියල.... මට තාම මතකයි....
මට සහලෝල උණ... දැන් මට බෙහෙත් ගන්න රඹුක්කන ටවුමට යන්නයි ලෑස්තිය. හවස දෙක හමාරට විතර ගෙදරින් පිටත් උනා. ඒ කලේ ප්‍රයිවට් බස් තිබුනේ නෑ අපේ පාරේ. ප්‍රයිවට් වෑන් නම් තිබුන. මට හොඳට මතකයි. දොඹේමඩ හරහා රඹුක්කන කියල කාඩ්බෝඩ් කැල්ලක ලොකු රවුම් අකුරෙන් ලියපු බෝඩ් එකක් දාගෙන (ඉස්සර කොහෙද ඉතින් ඩිජිටල් ප්‍රින්ටින් ) රතුපාට ඉරක් වැටිච්ච සුදු ඉසුසු එල්ෆ් වෑන් එකක් තමයි එදා ආවේ.... (ඒ පුරුද්දටද කොහෙද මට තාම ප්‍රයිවට් බස් වලට කියවෙන්නේ ප්‍රයිවට් වෑන් කියල )
එකේ නැඟල අම්මයි තාත්තයි එක්ක මම රඹුක්කන ඩී.ඇම් .ඕ බංගලාවට ගියා බෙහෙත් ගන්න. ඒ ඩීඇම්මෝ මහත්තය දැක්කත් ඇති ලෙඩ හොඳ වෙනවා කියල තමයි ගමේ මිනිස්සු කියන්නේ. ඩී.ඇම් .ඕ බංගලාවේ බෙහෙත් ගන්න ඉන්නකොට එහෙ සාලේ තිබුන රුපවාහිනී යන්ත්‍රය දිහා කට අරගෙන බලාගෙන හිටිය මම.....මට මතකයි.... මම ඉතින් ටීවී දැකල තියන එකක්යැ . අපේ ගෙදර තිබුනේ බැටරි කෑලි හයකින් වැඩකරන නැෂනල් ටූ ඉන් වන් සෙටප් එකක් විතරනේ...
ඔන්න ඉතින් බෙහෙත් අරගෙන ආපහු එන්න ලෑස්තිය. ආපහු එන ගමන චම්පා හෝටලේට ගිහින් අයිසින් කේක් කාල ඒ කාලේ තිබ්බ " ශැරෝනා " බීම බෝතලයක් බොන්න එපා යැ . නැත්තම් මගේ ලෙඩ හොඳ වෙන්නේ නැහැ. ඔන්න එතනදිත් මම ටීවී එක දිහා බලාගෙන ඉන්නවා......මීයෙක් පස්සේ පූසෙක් පන්නන කාටුන් එකක් තමයි එදා ගියේ....මන් හිතන්නේ ටොම් ඇන්ඩ් ජෙරී වෙන්න ඇති.....
ඔන්න ලොකු කේක් පිඟානක් මෙසේ උඩට ආව. කේක් කෑල්ල උඩ කහපාට අයිසින් තට්ටුවක්... ඒක උඩ රතුපාට අයිසින් මලක්.... ආයෙත් කියන්නම් මගෙන් අහන්න එපා මේව මතක කොහොමද කියල......මට තාම මතකයි......
ඔන්න එක කේක් කැල්ලක් කාල මම තාත්ත දිහා බලනවා....තාත්ත දන්නවනේ මගේ හැටි....තව එකක් කන්න කියනවා.....
කේක් කෑලි දෙකකටයි " ශැරෝනා " බීම බෝතලයකටයි වග කියල එක පැත්තකින් අම්මගෙයි අනිත් පැත්තෙන් තාත්තගෙයි අත් අල්ලාගෙන දැන් බස්ටෑන්ඩ් එක පැත්තට එනවා ....
ඒ අතර මඟ රඹුක්කන කෝච්චි ඉස්ටේසමට හැරෙන පාර හරියේ පෙට්ටි කඩේක සෙල්ලම් බඩු පුරවල.... ඉස්සරහින්ම තිබුන ලාබ සෙල්ලම් බඩු වලට මගේ හිත ගියේ නැහැ. එතන තිබුන ලස්සන සුදු පාට ඉබ්බා කාර් එකක්. ඇම්බියුලන්ස් කියල ගහපු.... ඒක වයින් කරාම "කීක්... කීක්..." ගාල සද්දෙකුත් එනවා. මම ඒක උස්ස ගත්ත.... මං හිතන්නේ තාත්තගේ අතේ යන්තමට බස් එකේ ගාන ඉතුරු වෙන්න ඇති.....
ඔන්න දැන් කාර් එකත් උස්සගෙන බස්ටෑන්ඩ් එකට ආව....ආයේ තිබ්බෙත් අර ඉසුසු එල්ෆ් වෑන් එකමයි. ඒකෙ නැගල ඉන්නවා දැන්. "සිරි සිරි " වැස්සකුත් වැටෙනවා .වෑන් එක නවත්තල තිබ්බේ "චම්පිකා ස්ටෝර්ස් " කඩේ ඉස්සරහ.... ඒ කඩේ පැත්තෙන් සින්දුවක් ඇහෙනවා....හරියට තේරුනේ නැතත් මට ඒ සින්දුව මතක හිටිය.... පස්සේ තමයි දැනගත්තේ ඒක කියන්නේ ඉන්ද්‍රානි විජේබණ්ඩාර කියල.....

රතු පාට මල් මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු
මල් පවන මට තාම මතකයි

සුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
වැහිදාට තෙත බරිත වීදෝ
හුණු කූරු ගෙවිලා සිතුවම් පොතේ
ඇඳුනේම බලි රූප නේදෝ

ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ
මගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝ
මොනවා උනාදැයි නොතේරේ

අවුරුදු තුන හමාරේ පොඩි එකාට මේක හරියට තේරුනේ නැතත්....රතු පාට මල්, ගුරු පාර ,සුදු පාට රැලි ගවුම, බලි රූප වගේ වචන තේරුණා.....
ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම්.....
පුංචි පුතා දිහා බලාගෙන මම ආයෙත් ඒ කාලෙට ගියා ..... අවුරුදු තිහක් පරණ මගේ සෙල්ලම් බඩු අරන් සෙල්ලම් කරන මුණුපුරා දිහා බලාගෙන ඉන්න මගේ තාත්තත් ඒ කාලෙට ගියා කියල මට තේරුණා.....තාත්තගේ ඇස් තෙත් වෙනව දැක්කම ....


1 comment:

  1. me taran kalayak sellanm badu parissan karala tibbe kohomada ?

    ReplyDelete